2024 ජුනි 15 වන සෙනසුරාදා

තිරය පිටුපස බල අරගලය

 2024 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 23

දැන් ඔන්න මෙන්න කියා ඇත්තේ ජනාධිපතිවරණයයි. බොහෝ දෙනා ලක ලෑස්ති වන්නේ ජනාධිපතිවරණයේදී තම තමන්ගේ ශිල්ප දැක්වීමටය. සමහර අය කැමති තමන්ගේ වටිනාකම දැන ගැනීමටය. තවත් අය කැමති තමන්ගේ කෙනකු ජනපති කර ගන්නටය. තවත් අය කැමති තමන්ගේ පක්ෂය දිනවන්නටය. මේ හැමදේම එකතුව බලාපොරොත්තු සහගතව සිටින්නන්ද නැතුවාම නොවේ. කෙසේ වෙතත් වෙනදාටත් වඩා මැති ඇමැතිවරුන්ගේ ක්‍රියාශීලී බව ඉහළය.

මේ වනවිට ලොකුම ප්‍රශ්නය උද්ගත වී ඇත්තේ ආණ්ඩුව තුළය. ජනාධිපතිවරයා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ ද නැද්ද යන්න බොහෝ දෙනාට ප්‍රශ්නයක් වී ඇත. ජනාධිපතිවරයා කිහිප වතාවක් තමන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව කීවත් ඔහු නිල වශයෙන් ජනතාව ඉදිරියේ තම කැමැත්ත ප්‍රකාශ කර නැත. මේ නිසාම ඔහු වෙනුවෙන් පෙළගැසෙන මැති ඇමැතිවරුන් සිටින්නේ කකුල් දෙපැත්තක තබාගෙනය. විශේෂයෙන් පොහොට්ටුව නියෝජනය කරන අයයි.

පසුගිය කාලයේ ජනාධිපතිවරයා වෙනුවෙන් පෙළගැසුණු ලංසා ප්‍රමුඛ කණ්ඩායමේ බැටරිය හදිසියේම බැස්සේ ජනාධිපතිවරයා හරි ප්‍රකාශයක් සිදු නොකළ බැවිනි. ඔවුහු පැමිණි වේගය හා සමානව පහළට බැස ගියහ. එහෙත් දේශපාලනයේ පැවැත්ම රඳවාගත යුතුය. මේ නිසාම ලංසා ප්‍රමුඛ පිරිස පසුගියදා ශ්‍රීලනිප නිමල් සිරිපාල ද සිල්වා පාර්ශ්වය විසින් හම්බන්තොට සූදානම් කළ රුස්වීමට ගොඩ වැදුණෝය. එහිදී ඔවුන් එළිපිට කීවේ දෙපිරිස එක්ව කටයුතු කරන බවය. මේ අනුව ලංසා ඇතුළු කණ්ඩායම ශ්‍රීලනිපයට එකතු වීමට වඩා ශ්‍රීලනිපය නිල නොලත් ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන්නට එකඟ වූ බව ප්‍රදර්ශනය විය.

මේ අතර පොහොට්ටු පක්ෂයේ වැට උඩ සිටින පිරිස තවමත් සටන් කරන්නේ කෙසේ හෝ පොහොට්ටුවේ සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමටය. එහෙත් රාජපක්ෂ පවුලේ මතය වී ඇත්තේ කවුරුන් හෝ අපේක්ෂකයකු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය යුතු බවය. ඒ අනුව රාජපක්ෂ හිතවාදීන් වන ආණ්ඩුවේ ඇමැති පට්ටම් නොලැබුණු අය ද ඊට එකඟ වී ඇත. එහෙත් ආණ්ඩු හිතවාදී සහායකයන්ගේ මතය වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ හැර වෙනත් විකල්පයක් නොමැති බවය. ඒ අනුව ඔවුන් තවමත් සිටින්නේ එම සටනේය.

විශේෂයෙන් පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ තවමත් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමීපව ගනුදෙනු සිදු කරගෙන යන අතර ඔහුගෙන් මේ පිළිබඳව ඇසූ විට දැන් ඔහුගේ ජනප්‍රිය පිළිතුර වී ඇත්තේ "ඔහෙලට අපි ඉක්මනින් කියන්නම්" යන්නයි. එහෙත් මහින්ද රාජපක්ෂත්, නාමල් රාජපක්ෂත් රනිල් වික්‍රමසිංහ මහතාව දැඩි විවේචනයකට ලක් කරමින් සිටින අතර ඔවුන් පවසන්නේ රනිල් වික්‍රමසිංහගේ ආර්ථික සැලැස්මට තමන් එකඟ නොවන බවය.

මේ අතර සමගි ජන බලවේගය ද මේ වනවිට ගමින් ගමට යමින් පාක්ෂිකයන් විසි ලක්ෂයක් එක්කර ගැනීමේ මෙහෙයුම පසුගිය සතියේ ආරම්භ කළේය. පසුගිය කාලය පුරාවට විවාදයක් කිරීම සඳහා වාද කළ මොවුන්ගේ සහ ජාතික ජන බලවේගයේ සටන අන්තිමේදී අවසන් වුණේ අනුර කුමාර තනියම රාජ්‍ය මාධ්‍යයකට පැමිණ සංවාද කිරීම හරහාය. ඒ සජිත් නොපැමිණි බැවිනි. කෙසේ වෙතත් සජිත් පාර්ශ්වය කීවේ මෙය අනුර සහ රනිල් වික්‍රමසිංහ එක්ව ගැසූ ගැටයක් බවය. ඒ සඳහා ඔවුහු විවිධ චෝදනා ද එල්ල කළහ. එහෙත් ඒ සියල්ල ජාතික ජන බලවේගය ප්‍රතික්ෂේප කළේය. අනුර කුමාර දිසානායක පැවසුවේ තමන්ට මෙය හිසරදයක් බැවින් එය අවසන් කිරීමට පැමිණි බවය. එහෙත් මෙතැන ඇති පුදුමය නම් මෙම සංවාදය ස්වාධීනව පැවැත්විය යුතු බවට දෙපාර්ශ්වය විසින් එකඟ වී තිබියදී ආණ්ඩුවේ රෑපවාහිනී ආයතනයකට පැමිණි අනුර කුමාර දිසානායක, ඔහු ඇතුළු පිරිසගේ ඍජු විවේචනයට ලක්වූ නිවේදකයකු සමඟ අදාළ සංවාදය සිදු කිරීමය. එය කොතරම් දුරට ස්වාධීන ද යන්න ගැටලුවකි. එහෙත් දැන් එය අවසන් වී තිබේ. දැන් කුමක් පැවසුවද අනුර කුමාර මහතා සංවාදයට පැමිණියේය. සජිත් පැමිණියේ නැත.

මේ අතර සමගි ජන බලවේගය පාර්ශ්වයෙන් ලැබෙමින් ඇත්තේ එතරම් සතුටුදායක ආරංචි නොවේ. සජබයේ දරදිය ඇදි ඇතැම් අය පසුගිය දිනෙක අවස්ථා ගණනාවකදී ජනාධිපති කාර්යාලය තුළ දැකගත හැකි විය. ඒ පිරිස නිශ්ශබ්ද පිරිසක් වන අතර ඒ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට බව පැවසේ. ඒ අනුව පිල් මාරු වන පිරිසක් පිළිබඳ ආරංචියක් රට පුරා පැතිරී යමින් තිබේ. එහෙත් අපි මෙහි ඇත්ත නැත්ත නොදනිමු. පිල් මාරුවක් ගැන ද නොදනිමු. එලෙස සිදු වුවත් ඒ මේ රටේ දේශපාලන ක්‍රමය මිස විශේෂ සිදුවීමක් නොවේ.  

මේ අතර සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් එහි ප්‍රධානම ගැටලුව නිර්මාණය වී ඇත. ඔහු මේ වනවිට ජනාධිපති අපේක්ෂකයකු වීම සඳහා සිහින දකිමින් සිටී. එපමණක් නොව ඔහුව නැවත පක්ෂයේ ක්‍රියාකාරිත්වය සඳහා එක්කර ගැනීමට ගත් උත්සාහයේ දී තමාව හමුවීමට ගිය අයට පවා එම යෝජනාව ඉදිරිපත් කර ඇත. එහෙත් ඊට කිසිවකු සහාය දෙන බවක් පෙනෙන්නට නැත.

සියල්ල කරට කර සිදුවන මොහොතේ පසුගියදා ජාතික ජන බලවේගයේ විශේෂ සිදුවීමක් වී තිබිණි. එනම් විශ්‍රාමික පොලිස් නිලධාරින් කණ්ඩායමක් ජාතික ජන බලවේගය සඳහා සහාය දීමට තීරණය කිරීමය. එහි විශේෂත්වය වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ඊට සහාය දීමය. මේ දෙදෙනාම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ දෙදෙනෙකි. එසේම පසුව විවිධ දේශපාලන චෝදනාවලට ලක්වූ දෙදෙනකි. කෙසේ වෙතත් ඔවුන්ගේ සහාය දැක්වීම පිළිබඳව විවිධ මත පළ වූ අතර ඊට එරෙහිව හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූහ. එහිදී ඔහු පැවසුවේ මේ ක්‍රියා කලාපය ඔවුන්ට කළ අපහාසයක් බවය. කෙසේ වෙතත් මේ වන විට විශ්‍රාමික පොලිස් නිලධාරින් බෙදී ගොසිනි.

ජනාධිපතිවරණය ළං වෙත්ම මෙලෙස දේශපාලන භූමිය එන්න එන්නම උණුසුම් වෙමින් තිබේ. එය කොයි තරම් උණුසුම් වේද යත් ඉදිරියේදී හොඳ හොඳ දේශපාලන පෙරුළි මෙම භූමිය තුළ දැකගත හැකිවනු ඇත.


• ගයාන් ගාල්ලගේ