2024 ජුනි 15 වන සෙනසුරාදා

තද වැස්සට වෙලක් වන කඩුවෙල

 2024 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 56

නගරයෙන් නගරයට ඇවිද යන චාරිකාවේ මෙවර අපේ නවාතැන කොළඹට තරමක් ඈතිනි. එහෙත් මෙම නගරය කොළඹ තදාසන්න නගර පමණටම අතිශය වැදගත් පුරවරයකි. මේ කඩුවෙල පුරවරයයි. සරලව හඳුන්වා දෙතොත් කඩුවෙල යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි අර්ධ නාගරික ප්‍රදේශයකි. කොළඹ අගනගරයේ සිට කි.මී. 16 ක් පමණ දුරින් කඩුවෙල පුරවරය පිහිටා ඇත.

මෑත ඉතිහාසය තුළ අනන්‍ය ගැටලු රුසක් නිසා කඩුවෙල මුළු රටේම ප්‍රසිද්ධියට පත් වූ ප්‍රදේශයක් විය. විටෙක පාතාලය, විටෙක ගංවතුර කඩුවෙල පීඩාවට පත් කළේය. පාරිසරික මෙන්ම සංවර්ධන ගැටලු රුසක් ද කඩුවෙල කේන්ද්‍ර කරගෙන නිර්මාණය විය. කෙසේ වෙතත් මෑත කාලීන අධිවේගී මාර්ග නිර්මාණය ආදී කටයුතු නිසා කඩුවෙලට නව හැඩයක් ලැබෙමින් පවතී.

එසේ වුවද කතාව ඇරුඹිය යුත්තේ කඩුවෙල ඉතිහාසය පිළිබඳව කියවා ගැනීමෙනි. කඩුවෙල ප්‍රදේශයට නම් ලැබීම පිළිබඳ ඓතිහාසික පුරාවෘත්ත සීතාවක රාජධානි සමයට දිව යයි. මායාදුන්නේ සහ සීතාවක රාජසිංහ වැනි රජවරුන් පරංගින්‍ට එරෙහිව දියත් කළ සංග්‍රාමවලදී මෙම ප්‍රදේශයේ ප්‍රබල සටන් පැවති බව කියැවෙයි. 

රාජධානියේ සශ්‍රීකත්වය වෙනුවෙන්  වී ගොවිතැන සිදුවූ මෙම ප්‍රදේශයේ එවක වෙල් පැවැති බව කියැවෙයි. මේ වෙල් යායේ දී පරංගින් කඩුගෑම නිසා "කඩු ගෑ වෙල" යන නමින් ප්‍රදේශය හැඳින්වූ බවත් පසුව එය කඩුවෙල බවට පරිවර්තනය වන්නට ඇති බවත් ඇතැම් පිරිස් පෙන්වා දෙති.

මෙම පුරවරය ඓතිහාසික පුරවරයක් බව කීමට සාක්ෂි සාධක අපමණය. මුල්ලේරියා සටනේ ද මෙය තීරණාත්මක ප්‍රදේශයක් වූ බව ඉතිහාසඥයන් පෙන්වා දී තිබේ. පැරුණි හේවායන් ඇතුළු බොහෝ දෙනකුගේ විශ්වාසය දිනූ මෙරට කීර්තිමත්ම රන්කඩු පත්තිනි දෙවොල පිහිටා ඇත්තේ ද කඩුවෙල කේන්ද්‍ර කර ගනිමිනි. කඩුවෙල කීර්තිය ප්‍රකට වන තවත් සුවිශේෂී අංගම්පොර ගුරුකුල කිහිපයක් ද ආසන්න ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන නිර්මාණය වී ඇති බව සඳහන් කළ යුතුය.

කීර්තිමත් පුරවරයක් වූ කඩුවෙල අතීතයෙන් මිදී දැන් කඩුවෙල වර්තමානය පිළිබඳ විමසීමට අපි උත්සුක වෙමු. ගෙවී ගිය මාසය තුළ කඩුවෙල පිළිබඳ පුවත් මැවුණේ ගංවතුර හේතුවෙන් බව සිහිපත් කළ යුතුය. සැබැවින්ම මෙම ප්‍රදේශයේ ජනතාව වර්තමානයේ මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව නිරන්තර ඔවුනට මුහුණ දීමට සිදුවන ගංවතුර තත්ත්වයයි.

මෙම මස ආරම්භයේ දී ඇතිවූ ගංවතුර තත්ත්වය නිසා කඩුවෙල අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරුව ද ජලයෙන් යට විය. ඒ හරහා ජන ජීවිතයට සිදුවූ බලපෑම සුළුපටු නොවේ. මේ අතර ප්‍රදේශයේ පහත් බිම් රුසක සිටි ජනතාව ගංවතුර හේතුවෙන් අවතැන් වූහ. සැබැවින්ම එය සිදුවූයේ පළමු වරට නොවේ. ගෙවී ගිය දශක කිහිපය පුරාවටම මෙම ඛේදනීය තත්ත්වයට මුහුණ දීමට කඩුවෙල ප්‍රදේශවාසීන්ට සිදුව තිබේ.

සෑම වර්ෂයකම වර්ෂාධික කාලසීමාව තුළ කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් කොළොන්නාව, කඩුවෙල, වැල්ලම්පිටිය, අවිස්සාවේල්ල ඇතුළු කැලණි ගං මිටියාවතේ දිවි ගෙවන ජනතාව දැඩි පීඩාවට ලක්වීම දැන් සාමාන්‍ය තත්ත්වයක්ව තිබේ. අප කළ සොයා බැලීම්වලට අනුව ගංවතුරෙන් කොතෙකුත් පීඩා එල්ල වුවද තමන්ට පදිංචි වීමට සුදුසු ඉඩම් සහ නිවාස රජයෙන් ලබා දෙන තෙක් මේ නිවාස අත්හැර යාමට හැකියාවක් නැතැයි කඩුවෙල ඇතුළු තදාසන්න පීඩාවට පත් වූ ජනතාව පවසති.

මෙම ගංවතුර තත්ත්වය වර්ධනය වීමට අවිධිමත් නාගරික ඉදිකිරීම් සහ නිසි ඇගයීමකින් තොර සංවර්ධන ව්‍යාපෘති ද හේතු වූ බව නොරහසකි. එසේ හෙයින් කැලණි ගං මිටියාවතේ සාමාන්‍ය තත්ත්වයක් ලෙස මෙය සලකමින් ගැටලුව මගහැර යාම යුක්ති යුක්ත නොවේ. වගකිව යුත්තන් කඩිනමින් මෙම ගැටලුවට අවධානය යොමු කිරීමේදී ඒ ආශ්‍රිතව දිවි ගෙවන ජනයාගේ මානසික සංවර්ධනය හා ගැටලුවට ලබා දිය හැකි තාක්ෂණික පිළියම් ක්‍රමානුකූලව අධ්‍යයනය කළ යුතු වේ.

මෙම ජල ගැලීම් සහ වර්ෂා තත්ත්වයන්ද හේතු කොටගෙන මේ වන විට කඩුවෙල අවට අතුරු මාර්ක රුසක් අබලන්ව පවතී. පළාත් පාලන ආයතන මහජන නියෝජිතයන්ගෙන් තොරවීම හේතුවෙන් මෙම මාර්ග නිසි පරිදි නඩත්තු නොවන අතර යටිතල පහසුකම් පිළිබඳ ගැටලු ද නිර්මාණය වී ඇතැයි දැන ගැනීමට ලැබේ. මෑතකාලීනව අබලන් වූ බොහෝ ස්ථාන නිසි පරිදි නඩත්තු නොවන බවට ප්‍රදේශවාසීහු මැසිවිලි නගති.

එසේම වේගයෙන් සිදුවන අවිධිමත් නාගරික ක්‍රමය සහ බොහෝ ස්ථානවල ඉදිවෙන අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් ද ගැටලු නිර්මාණය වී ඇති බව දැන ගැනීමට ලැබේ. කොළඹින් පිටත පවතින ප්‍රධානතම නගරයක් ලෙස විධිමත් නාගරික සැලසුමකින් යුතුව මෙම ප්‍රදේශය සංවර්ධනය කිරීමට කටයුතු කළ යුතු බව පැහැදිලිය. දේශපාලනඥයන් රුසක් මෙම ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන දේශපාලනයේ නියුතු වුවද ඔවුන් කිසිවකු වෙතින් නිසි සැලසුමක් කඩුවෙල වෙනුවෙන් ඉදිරිපත් වී ඇත්දැයි සැක සහිතය.
මීට වසර කිහිපයකට ඉහත දී කඩුවෙල පැවති ප්‍රධානතම තර්ජනය පාතාලය වූ බව නොරහසකි. මිනීමැරුම්, කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රුසක කේන්ද්‍රස්ථානයක් බවට මෙම නගරය පත්ව තිබුණි. එහෙත් ක්‍රමයෙන් මෙම පාතාල ක්‍රියාකාරකම් මර්දනය කෙරුණු අතර සැලකිය යුතු මට්ටමේ සහනශීලී පරිසරයක් කඩුවෙල ප්‍රදේශයේ නිර්මාණය විය.

එහෙත් මේ වන විට විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගෙන් ද මේ ප්‍රදේශයේ ජන ජීවිතය කෙරෙහි තර්ජන එල්ල වෙමින් පවතින බව අකැමැත්තෙන් වුවද සඳහන් කළ යුතුය. ඉතා කඩිනමින් මෙම තත්ත්වය පාලනය කළ යුතුව තිබේ. නැවතත් අපරාධ සඳහා මෙම නගරය කේන්ද්‍රස්ථානයක් බවට පත් නොවන තැනට වැඩ කිරීමේ වගකීම ඇත්තේ පොලිසිය ඇතුළු වගකිව යුත්තන්ටය.

කඩුවෙල යනු ඓතිහාසික පුරවරයකි. සැබැවින්ම කීර්තිමත් ඉතිහාසයක්, කීර්තිමත් ආගමික පසුබිමක් මෙම ප්‍රදේශයට පවතී. එම අනන්‍යතා ආරක්ෂා කර ගනිමින් වඩාත් සුරක්ෂිත සංවර්ධිත අනාගතයක් කරා කඩුවෙල රුගෙන යාම කාගේත් වගකීමයි.


• චමිඳු නිසල් ද සිල්වා 

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05