වගා අස්වනු නෙලන ඍතුව සලකා බලා අලුත් බද්දක් ලබන 2025 වසර ජනවාරියේ සිට හඳුන්වා දෙනු ඇත. විශේෂ පාරිභෝගික භාණ්ඩ බද්ද අහෝසි කරන අතර ඒ වෙනුවට මෙම වගා අස්වනු නෙලන කාලවකවානුව සඳහා වූ බද්ද පැනවෙන බව දැක්වේ. කෘෂිකාර්මික කටයුතුවල නිරත ගොවියන්ගේ අස්වැන්න සඳහා උසස් මිලක් සැපයීම මෙහි අරමුණ බව කියැවේ. නම වෙනස් කරන පමණකින් ගොවියන්ට වාසියක් ලැබෙන්නේ නැත. මෙතෙක් පැවැති ආණ්ඩු අර්තාපල්, ලොකු ලූනු හා වියළි මිරිස් වැනි ද්‍රව්‍ය අස්වනු වෙළෙඳපොළට එන වකවානුව සලකා එම ද්‍රව්‍ය පිටරටවලින් ගෙන්වන අවස්ථාවේ දී අතිරේක ආනයන බද්දක් අය කළේය. පාරිභෝගිකයන්ට අනුව අත්‍යවශ්‍ය භාණ්ඩයකට පනවන බදු ජීවත් වීම තවත් අපහසු කරවයි. එම අපහසුව පදනම් කරගෙන වගා කරන ගොවියන්ගේ ජීවිත උසස් තැනකට ළඟා කෙරෙන්නේ නම් එය ඉතා යහපත්ය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ගොවිතැන සංකීර්ණ ගැටලු සහිතය. වගා කරන ගොවියාගේ අතට යමක් ලැබෙන්නේ නැත. පසුගිය කාලයේ කැරට් හා බෝංචි මිල ගණන් කිලෝව රුපියල් තුන් දහස ඉක්මවා ගියේය. එම ආදායම ගොවියන්ට ලැබුණේ නැත. අතරමැදියෝ වාසි අත්පත් කර ගත්හ. කැරට් කිලෝවේ මිල ගොවියා අතට පත්වූයේ නම් අද ඔවුහු බදු ගෙවිය යුතු ජන කොටසකි. ගොවියන් අසරණ කරන අතර පාරිභෝගිකයන් ද අපහසුවට පත් කරන බදු නම වෙනස් කරන නමුත් ගෙවන්නේ මෙරට දුප්පත් ජනතාව බව අවධාරණය කළ යුතු වේ.
පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කළ අධික ලාභ ඉපැයීම
පසුගිය අප්‍රේල් හතරවැනිදා මුණගැසුණු ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට කරුණු දැක්වූ පාඨලී චම්පික හිටපු අමාත්‍යවරයා බදු කෙසේ වෙතත් ආනයනය කරන වෙළෙඳුන් අති විශාල වාසි සහිතව භාණ්ඩ අලෙවියෙන් දැවැන්ත ලාභ අත්පත් කරගෙන ඇති බව පෙන්වා දුන්නේය. අනිවාර්ය බදු අංක නියම කරන නමුත් මෙම විශාල බදු අය කරන සුළු පිරිසක් නොසලකා සිටීම හිටපු අමාත්‍යවරයාගේ කනස්සල්ලට හේතු වී තිබුණි. ආණ්ඩුව වරින් වර බදු වෙනස් කරන අතර ඒවායෙන් ලාභ ලබන්නේ අතරමැදියන් බව විශේෂඥ වාර්තා දක්වයි. සුප්‍රකට සීනි බදු වංචාව එයින් එකකි. සහල් ආනයනයට පනවන බදු තීරණාත්මක අවස්ථාවල වෙනස් කරන අතර එය ආනයනය කළ පිරිසට අධික ලාභ උපයා ගැනීමේ මාර්ගයක් වී තිබේ.
රටට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වන අතර අස්වනු නෙලන වකවානුව සලකා විශේෂ පාරිභෝගික බද්ද පැනවීමෙන් ද අකටයුතුකම් වාර්තා වී ඇති බව පෙනේ. අස්වනු නෙලන කාලය හා වෙළෙඳ භාණ්ඩ හිඟ කාල වකවානු හොඳින් අධ්‍යයනය කර ඇති වෙළෙන්දෝ ඒ අනුව ආනයන ලිපි විවෘත කර වෙළෙඳපොළ හසුරුවති. ලොකු ලූනු අස්වැන්න නෙලන කාලයට ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් ආනයනය කළ ලොකු ලූනු දඹුල්ල හා ගලේවෙල ප්‍රදේශවල ද තොග පවතින අතර ගොවියන්ට ඔවුන්ගේ නිෂ්පාදනවලට මිලක් ලබාගත නොහැකි වේ. නුවරඑළිය, වැලිමඩ හා බණ්ඩාරවෙල ප්‍රදේශවල අර්තාපල් වගා කරන ගොවියන්ට ද මෙම ඉරණම අත්ව තිබේ. අස්වනු නෙලන කාලයේ ආනයනික ද්‍රව්‍ය හේතු කොටගෙන මිල පහත වැටෙන අතර අඩුම මිලට තොග මිල දී ගන්නා අතරමැදියෝ වගා ඍතුව අවසන් වූ පසු ඔවුන්ගේ තොග වෙළෙඳපොළට නිකුත් කරති. මුදල් අමාත්‍යංශය බදු පනවන අතර ගොවියන්ගේ නිෂ්පාදන අඩු මිලට ගත් අතරමැදියන් පමණක් නොව නියම වකවානු බලා ආනයනය කරන ලද ව්‍යාපාරිකයන් ද වාසි අත්පත් කරගෙන හමාරය.
ආනයනික ව්‍යාපාරිකයන්ගෙන් හා දේශීය නිෂ්පාදන මිල දී ගෙන තොග පාලනය කරන සූර වෙළෙඳුන් යන දෙපැත්තකින් අසරණ වෙන පාරිභෝගිකයන් සඳහා වගකිවයුතු අංශ ගන්නා පියවර කුමක්ද? ජීවන වියදම ගැනත්, මහජනතාවගේ ප්‍රශ්න ගැනත් දේශපාලන වේදිකාවේ දී වේදනාවෙන් කතා කරන දේශපාලනඥයෝ පසුව මෙම පසුබිම අමතක කරති.
කෘෂිකර්මයට ලබාදුන් පස් වසරක බදු සහනය අවසන්
2018 අයවැය සමඟ කෘෂි අංශයට විශේෂ බදු සහන ප්‍රකාශයට පත් කරන ලදී. පරිභෝජනය හා අපනයනය අරමුණු කරගත් කුඩා හා මධ්‍ය පරිමාණ කෘෂි ව්‍යාපෘතිවලට අවුරුදු පහක බදු සහනයක් නිකුත් කළ අතර ඒවාට අය කරමින් තිබුණු ආදායම් බදු ප්‍රතිශත සියයට විසි අටක සිට දහහතර දක්වා පහත දැමීය. අතිරේක සේවා බද්ද සඳහා වන ප්‍රතිපාදන ලබාගත හැකි සීමාව රුපියල් 12.5 ක සිට මිලියන 50 දක්වා ඉහළ නැංවීමෙන් සැලකිය යුතු වාසියක් ද පිරිනැමීය. තේ, රබර්, පොල්, අතිරේක ආහාර බෝග, අපනයන බෝග හා පළතුරු සඳහා ලැබුණු මෙම ආවරණය පසුව තවත් සරල බදු ක්‍රමයක් දක්වා මාරු කිරීම පසුගිය අයවැය මගින් කෙරිණ.
කෙසේ වෙතත් මහ බැංකුවේ අලුත් විවරණිකාව දක්වන දත්ත අනුව කෘෂිකාර්මික කටයුතු සියයට 2.6ක වර්ධනයක් 2023 වසරේ දී වාර්තා කර ඇත. පොහොර, වෙනත් කෘෂි රසායනික යෙදවුම් සහ ඉන්ධන ආදී සැපයුම් මෙයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව කියයි. වී අස්වැන්නෙන් ලැබෙන වාසිය සියයට විස්සකින් ඉහළ නැග ඇත. පළතුරු, එළවළු සහ ධීවර කටයුතු යන උප අංශවල ද සැලකිය යුතු වර්ධනයක් පවතී. අපනයන ආදායමට හේතුවන තේ, රබර්, පොල් හා කුළුබඩු අංශය සලකා බලන වසර තුළ දී පහත වැටී ඇත. අනෙක් අතට දළ දේශීය නිෂ්පාදිතය සඳහා කෘෂි අංශයේ දායකත්වය සියයට 8.3 දක්වා 2023 වසරේ දී අඩු වී තිබේ. දශක හයකට කලින් මෙම ප්‍රතිශතය සියයට විසි පහ ඉක්මවා තිබුණි.
බදු සහන, දිරිගැන්වීම් හා කෘෂි අංශයේ නවීකරණයට කරන ලද ආයෝජනවලින් ලැබී ඇති වාසිය සීමිතය. මෙම පසුබිම අවබෝධ කරගෙන ඇති මූල්‍ය විශේෂඥයන් කෘෂි සංවර්ධනය පැත්තකට විසිකර ඇති අතර බදුවලින් ආණ්ඩුවේ ආදායම ඉලක්ක කර තිබේ.
ඉලක්කය අසාර්ථකයි තවත් බදු ඉදිරියට
මුදල් අමාත්‍යංශ වාර්තා දක්වන පරිදි 2023 වසරේ රුපියල් බිලියන 3,104 ක බදු ආදායමක් රජය ඉලක්ක කරන ලද නමුත් ලැබී ඇති ප්‍රමාණය රුපියල් බිලියන 2,635 කි. වැඩිම අවාසිය රේගු බදු ආදායම අහිමිවීම බව දැක්වේ. ඉලක්කය රුපියල් බිලියන 246 කින් මගහැරී ඇත. මෙවැනි පසුබිමක් තුළ 2024 වසරේ රුපියල් බිලියන 3,784 ක ආදායමක් අපේක්ෂා කරන බව වාර්තා දක්වයි. ආර්ථික වර්ධනයක් රහිත පසුබිම තුළ ආදායම් ඉලක්ක සපුරාගත නොහැක. 2025 වසරේ සිට වත්කම් මත තවත් බද්දක් පනවන බව ආණ්ඩුව ප්‍රකාශ කරයි. පුරවැසියන්ගේ වත්කම් හෙළිකළ යුතු බවට වන ගැසට් නිවේදනයක් පසුගියදා නිකුත් කෙරිණ. මෙම සියලු පැතිවලින් ජනතාවගෙන් අය කරන බදු තවත් වටයකින් වැඩි කරන බව පැහැදිලිය.
කෘෂි භෝග සඳහා ඍතුව සලකා අලුත් බද්ද එයට අමතරව බව පෙනේ. මෙතෙක් අය කරන ලද විශේෂ ආනයනික බද්ද ඉවත් කරන අතර එයට විකල්පයක් වශයෙන් අස්වනු ලැබෙන කාලය සලකා මෙම බද්ද පනවන බව ප්‍රකාශ වී ඇත. සාමාන්‍යයෙන් අල, ලූනු වැනි ආහාර ද්‍රව්‍ය සඳහා කිලෝවකට රුපියල් තිහක බද්දක් පැනවේ. වියළි මිරිස් සඳහා ද රුපියල් හැටකි. සහල් ආනයනයේ දී විවිධ පරාස යටතේ බදු අය කෙරේ. සාධාරණ පාරිභෝගික සේවා පවතින රටවල් ජනතාවට අත්‍යවශ්‍ය ආහාරවලින් විශාල පරාසයකින් බදු අය කිරීමක් නොකෙරේ. ශ්‍රී ලංකාව අනුගමනය කරන පිළිවෙළ අනුව ගොවියන් ආරක්ෂා කිරීම සඳහා යන වගන්තියක් නිර්මාණය කර ඇත. අලුතින් පනවන ඍතුව සලකා පනවන බදු ද කෘෂි භෝග වගා කරන ගොවියන්ගේ යහපතට බව ප්‍රකාශ කෙරෙන නමුත් ඇත්ත එය නොවේ. මෙම බදු ආණ්ඩුව එකතු කරගන්නා අතර බදු රහිත කාලවල ගෙන්වන ද්‍රව්‍ය රුස්කර තබාගෙන අතිවිශාල ලාභ උපයන බව පාර්ලිමේන්තුවේ දී පවා හෙළි වී ඇත.
අහිතකර ආහාරවලට ද පනවන බද්දක් තිබේ
මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කරන බව දක්වා තවත් ආහාරපාන ගණනාවකට බදු අය කරයි. එය මෙරට පමණක් නොව ජාත්‍යන්තර සමාජය ද අනුගමනය කරන ක්‍රමයකි. පැණි බීම වර්ගවලට ඒවායේ ප්‍රතිශතය අනුව බදු නියම කර තිබේ. මස් හා කිරි නිෂ්පාදනවලට ද අධික බදු අය කරන ක්‍රම ඇතැම් බටහිර රටවල් අනුගමනය කරයි. සත්ව පාලනය හා මාංශ නිෂ්පාදන ක්‍රමවල අධික ජල ප්‍රමාණයක් භාවිත වීම එයට බලපා ඇති කරුණකි. හරිතාගාර වායු විමෝචනය වැඩිම ප්‍රතිශතයකින් සිදුවන අංශයක් ලෙස ගව හා බැටලු පාලනය හඳුනාගෙන තිබේ. සෞඛ්‍ය හා පරිසර සාධක සලකා මෙම නිෂ්පාදනවලට බදු පැනවීම කෙරෙන අතර අය කරන මුදල් කෙළින්ම අභිලාශයන් සඳහා වෙන් කිරීමට මෙම රටවල් පියවර ගෙන ඇති බවද සඳහන් කළ යුතු වේ.
පැණි බීම වර්ග, දුම්කොළ හා මත්පැන් සඳහා ශ්‍රී ලංකාව අතිරේක අධික බදු අය කරයි. සෞඛ්‍ය පිරිවැය වෙනුවෙන් මෙම මුදල් වැය කරන බව අදාළ බලධාරීන් දක්වන්නට ඉඩ තිබේ. පාරිභෝගිකයන්ගෙන් අයකර ඔවුන්ගේ සෞඛ්‍ය වියදම් පියවීම ආණ්ඩුකරණයේ දී අනුගමනය කළ හැකි ක්‍රමයකි. කෙසේ වෙතත් ගොවියන්ගේ නිෂ්පාදන ලැබෙන වකවානුවේ දී ඍතු බද්දක් මගින් තවත් බරක් ජනතාවට පැනවීම යුක්තිසහගත ද යන්න ගැටලුවකි. අවසානයේ දී සියලුම දෙනා පාරිභෝගිකයෝය. අල වගා කරන ගොවියන්ට ලූනු මිල දී ගැනීමේ දී බද්දක් ගෙවන්නට සිදුවෙන අතර එයින් ගොවියෝ වක්‍රව පීඩාවට පත් වෙති. ගතානුගතික ක්‍රමවලට එපිටින් ක්‍රියාත්මක වී සංවර්ධන වේගය නැංවීමට පියවර ගත යුතු අතර එයින් රජයේ ආදායම වැඩි කරගත හැකි වේ. මහජනතාව ගෙවන බදු සැලකිය යුතු ප්‍රතිශතයකින් පාලනය කිරීමට එය ප්‍රධාන සාධකයක් වනු ඇත.
• සාරා කන්දෙගොඩ