ශ්‍රී ලංකාවට නිල වශයෙන් ණය ලබා දී ඇති රටවල කමිටුව ලබන සතියේ දී රුස්වීමෙන් අනතුරුව රට බංකොලොත්භාවයෙන් සම්පූර්ණයෙන් ඉවත් වීමට හැකියාව ලැබෙන බවත්, වසර දෙකක් යාමට පෙර මේ තත්ත්වය උදා කර ගැනීමට හැකිවීම පිළිබඳ ආඩම්බර වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
එයින් පමණක් සෑහීමකට පත්විය නොහැකි බවත්, ජාත්‍යන්තර අරමුදලේ එකඟතා මත ඉදිරියට යා යුතුව තිබෙන බවත් පැවසූ ඔහු තමන් බාරගනු ලැබුවේ බංකොලොත් රටක් වුවද මේ වන විට රටේ ආර්ථිකය ඉදිරියට රුගෙනවිත් ඇති බවද තව වසර දෙකකින් විරුකියාව සියයට 5ක් දක්වා අඩුකර ගැනීමට කටයුතු කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය. රටේ ආදායම් වැඩිකර ගත යුතු වන අතර ඒ වෙනුවෙන් වැඩසටහනක් ඉදිරිපත් කර ඇති බවද රට දියුණු කළ හැකි වන්නේ එම වැඩසටහන ඉදිරියට ගෙන ගියහොත් පමණක් යැයි ද ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බව 2022 අප්‍රේල් 12 වැනිදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. ශ්‍රී ලංකාව විසින් ගෙවීමට නියමිත විදෙස් ණය පියවීමට මේ අවස්ථාවේ හැකියාවක් නොමැති බව 2022 අප්‍රේල් 12 වැනිදා පැවති මාධ්‍ය හමුවක දී භාණ්ඩාගාර ලේකම්වරයා හා මහ බැංකු අධිපතිවරයා වෙතින් අනාවරණය කිරීමත් සමඟම ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය කඩිනමින් පහළ දමන්නට කටයුතු කළේය.
රටක් බංකොලොත්භාවයට පත්වීම යනු රජයක් නියමිත කාලය තුළ සිය ණය සහ පොලී ගෙවීමට අසමත් වීමය. රට බංකොලොත් කිරීමට වගකිවයුත්තන් ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා පුරවැසියන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය බංකොලොත්භාවය පිළිගත්තා පමණක් නොව හිටපු ජනාධිපති, මහ බැංකු අධිපතිවරුන්, ප්‍රධාන දේශපාලනඥයන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගේ නම් පවා ප්‍රකාශ කරමින් ඔවුන් රට බංකොලොත් කිරීමට වගකිවයුතු බවට නියෝගයක්ද නිකුත් කළේය.
මහ බැංකු අධිපතිවරයා රට බංකොලොත් බැවින් ණය ගෙවීමට ක්‍රමයක් නොමැති බව පවසා ණය ගෙවීම නැවැත්වීමට පියවර ගත් අතර ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කරන බවට විදේශීය රටවලට පැවසීය. ඉන්පසු මෙරට ණය හිමියන්ටද එය පවසමින් පොලී අනුපාතය සියයට 33 ඉක්මවා ඉහළ නැංවීමට පියවර ගත්තේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 145 වගන්තිය අනුව මුදල් බලය ඇත්තේ පාර්ලිමේන්තුවටය. මෙවැනි ප්‍රකාශයක් කරනවා නම් ඒ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුම්වත් කළ යුතු වුවද මහ බැංකුව ඒකපාර්ශ්විකව එය නිවේදනය කළේය.
රට බංකොලොත් වූ පසු එහි පීඩාව වැඩියෙන්ම දැනුණේ මහජනතාවටය. රටේ විදේශ සංචිත ශීඝ්‍රයෙන් පහත වැටිණි. මෙරටට ආනයනය කරනු ලබන ඉන්ධන, ගෑස්, ඖෂධ ඇතුළු සෑම භාණ්ඩයක් සඳහාම ගෙවීමට ප්‍රමාණවත් ඩොලර් මෙරට බැංකු පද්ධතිය තුළ නොමැතිවීමේ අවසාන ප්‍රතිඵලය වූයේ ඉන්ධන පිරවුම්හල්, ගෑස් අලෙවිසල් අසල දිගු පෝලිම් දක්නට ලැබීමය. ආණ්ඩුව අත දිගහැර විවිධ බදු පනවා ජනතාව පීඩාවට පත් කළ අතර විදුලිය, ජලය වැනි විවිධ ගාස්තු ද විශාල ප්‍රමාණයකින් ඉහළ දැම්මේය. ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් දක්වා ඔඩුදුවගොස් රට පුරා අඛණ්ඩ ජන අරගල සිදුකෙරෙන තැනකට මහජනතාව තල්ලු වූයේ එම පීඩාව තවදුරටත් දරාගත නොහැකි වූ බැවිනි.
2021 මැයි 17 දින එක්සත් ජනපද ඩොලරයක අගය ස්ථාවර මට්ටමක තබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය. ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රු. 198 වැනි අගයකත් විකුණුම් මිල රු. 203ක් වැනි අගයකත් තබා ගැනීමට මහ බැංකුව තීරණය කළේය. මෙම තත්ත්වය තවදුරටත් ඉදිරියට ගෙන යමින් 2021 සැප්තැම්බර් 02 දින සිට ඩොලරයක ගැනුම් මිල රු. 198.50 ක් සහ විකුණුම් මිල රු. 202.99 ක් ලෙසින් ඒකීය ස්ථාවර අගයක පවත්වා ගැනීමට මහ බැංකුව තීරණය කරනු ලැබීය. එම තීරණයේ ප්‍රතිඵලයක් ලෙසින් එතෙක් මාසිකව ශ්‍රී ලංකාවට ගලා ආ ඩොලර් මිලියන 500 ක් පමණ වූ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 2022 පෙබරවාරි වන විට ඩොලර් මිලියන 205 වැනි පහළ අගයකට ඇද වැටිණි. මීට මූලික හේතුව විදෙස්ගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය හරහා මෙරටට මුදල් එවීමෙන් වැළකී උන්ඩියල්, හවාලා වැනි අවිධිමත් ක්‍රම ඔස්සේ එවීමට පියවර ගත් හෙයින් බැංකු පද්ධතියට ලැබුණු ඩොලර් සංචිත අවම වීමය.
2020 ජනවාරි මාසය වන විට මෙරට පැවැති රන් සංචිතය ඩොලර් මිලියන 955ක් විය. 2021 අගෝස්තු වන විට එය ඩොලර් මිලියන 390ක් දක්වා පහත වැටිණි. 2022 මාර්තු වන විට එය පැවතියේ ඩොලර් මිලියන 29.30 වැනි අගයකය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මේ වන විට අවස්ථා තුනකදී ඇමෙරිකානු ඩොලර් බිලියනයක් පමණ හිමි වී තිබේ. ආණ්ඩුව කියන්නේ රට බකොලොත්භාවයෙන් මිදෙමින් සිටින බවටය. ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදි ශ්‍රී ලංකාවට නිල වශයෙන් ණය ලබා දී ඇති රටවල කමිටුව ලබන සතියේ දී රුස්වීමෙන් අනතුරුව රට බංකොලොත්භාවයෙන් සම්පූර්ණයෙන් ඉවත් වීමට හැකියාව ලැබිය හැකි යැයි කියන ප්‍රකාශය සත්‍ය ප්‍රකාශයක් දැයි අප විමසා සිටියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල ගෙනි.
මහාචාර්යවරයා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය.
''රටක් බංකොලොත්භාවයට පත්වෙනවා කියන්නේ ණයක් අරන් ගෙවන්නට නොහැකි වීමයි. පැරිස් සමුළුව හෝ අපට ණය ලබා දී තිබෙන පිරිසක් එකට එකතු වුණා කියලා අපිට ණය ගෙවීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. බංකොලොත්භාවයෙන් මිදෙන්නට නම් මේ වෙනකොට පැහැර හැර ඇති ණය සහ ගෙවීමට ඇති ණය ගෙවන්නට හැකි පරිදි රට පරිවර්තනය කරන්නට රජයට හැකිවෙන්න ඕනෑ. එහෙම නැතිව කමිටුවක් රැස්වූ පමණින් අපට බංකොලොත්භාවයෙන් මිදෙන්නට හැකියාවක් නැහැ. මේ වන විට ශ්‍රී ලංකාව බිලියන 5.8ක් ණය පැහැර හැර තිබෙනවා. මහ බැංකුව සතු සංචිත ප්‍රමාණය බිලියන 5.4 යි. අපිට ණය දීපු අය රුස්වෙලා කුමන තීරණයක් ගනීද කියලා අපි තවම දන්නේ නැහැ. ඔවුන් රුස්වෙලා ශ්‍රී ලංකාවේ ණයවලින් කිසියම් ප්‍රමාණයක් අඩු කරයිද? එහෙම නැතිනම් ණය ගෙවීමට ඇති කාලය දීර්ඝ කරයිද? පොලී අනුපාතිකය වෙනස් කරයිද? කියල අපිට තවම කියන්න බැහැ. ඔවුන් රුස් වෙන්නේ මෙවැනි කරුණු සම්බන්ධයෙන් තීරණය කිරීමටයි. එම ක්‍රියාදාමය තුළ ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදීමක් සිදු වන්නේ නැහැ. නමුත් අපිට තාවකාලික සහනයක් ලැබෙනවා එම ණය ගෙවන්න. එම ණය තොගය අනාගතයේ කවද හරි ගෙවිය යුතුයි.''
ශ්‍රී ලංකාවට සමස්තයක් ලෙස ණය දෙන ආයතන කොටස් තුනකට බෙදිය හැකිය. එකක් බහුජාතික සමාගම්ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන එම කාණ්ඩයට අයත්ය. මෙම ආයතනවලින් ලබාගත් ණය ගෙවීම ශ්‍රී ලංකාව පැහැර හැර නොමැත. මෙම ණය කෙටි කාලීන ණය නොවන අතර ඒවා ගෙවීමට වසර 30ක් 40ක් වැනි කාලයක් හිමි වේ. එවැනි ණයවලින් රටට එතරම් බරක් පැටවෙන්නේ නැත. රටට බරක් වන්නේ ද්විපාර්ශවීය ලබාගත් ණයයි. චීනය, ජපානය වැනි රටවලින් මෙලෙස ද්විපාර්ශවීය ණය ලබා ගනී. මොවුහු පැරිස් සමාජයේ සහ පැරිස් සමාජයට අයත් නොවන ණය හිමියෝ වෙති. මේ හැර ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය වෙළෙඳපොළින් ද ස්වෛරී බැඳුම්කර යටතේ ණය ලබා ගනී. මේ වන විට පැහැර හැරීමට ලක්ව ඇත්තේ ද්විපාර්ශවීය ණය සහ ස්වෛරී බැඳුම්කර යටතේ ලබාගත් ණයයි. ලබන සතියේ රුස්වන්නේ මෙම සාමාජිකයන්ය.
ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමට තවදුරටත් ණය අවශ්‍ය නොවන බව මහාචාර්ය වසන්ත අතුකෝරලගේ අදහසය.
''අපේ රටේ තිබෙන සම්පත් ප්‍රශස්ත අයුරින් උපයෝජනය කොට රට ඉදිරියට ගෙන යාමට සැලසුමක් ආණ්ඩුවට තිබිය යුතුයි. සාමාන්‍යයෙන් ඕනෑම රටක් අන්තර්ජාතික ණය ගැනීමේදී ප්‍රථමයෙන් කරන්නේ රටේ ආර්ථිකයේ පදනම සකස් කර ගැනීමයි. අවශ්‍යතාව අනුව යම් යම් ආකාරයෙන් සුළු වශයෙන් ණය ලබාගත හැකියි. එවිට ණය ගෙවීම සඳහා අපට පදනමක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළට ගන්නට තවම නිසි පරිදි පදනමක් වැටිල නැහැ. අපේ ප්‍රතිපත්ති සම්පාදකයන් විදේශ වෙළෙඳාම, විදේශ අරමුදල්, විදේශ ණය වැනි දේවල් මත පදනම්ව කටයුතු කරනවා විනා දේශීය ආර්ථිකය ගොඩනැංවීම පිළිබඳව, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නගා සිටුවීම පිණිස දේශීය ව්‍යවසායකයන් දිරිගැන්වීමට, මානව ප්‍රාග්ධනය උපරිම කාර්‍යක්ෂමතාවෙන් ප්‍රයෝජනයට ගැනීම පිළිබඳව කටයුතු කරන්නේ නැහැ. පසුගිය කාලයේ රටේ පැවැති අධික බදු හා ගාස්තු නිසා කර්මාන්ත දෙලක්ෂ හැට දහසක් වැසී ගිහින්. පාස්කු ප්‍රහාරයෙන් පසු හා කොවිඩ් වසංගතයෙන් පසු ආර්ථික අර්බුදයකට ගමන් කරලත් අපේ ප්‍රශ්න ගැන නිවැරදි අවබෝධයක් ලැබී නැහැ. 2022 - 2023 වන විට බොහෝ දකුණු ආසියානු රටවල් ධන ආර්ථික වර්ධනයක් කරා යොමු වුණා. ඒත් ලංකාව තවමත් සිටින්නේ ඍණ ආර්ථිකයකයි. එය ධන ආර්ථිකයක් බවට පරිවර්තනය කර ගැනීමට තවමත් පදනමක් දාගන්න බැරිවෙලා තිබෙනවා. නිවැරදි සැලසුම් ක්‍රියාත්මක කළොත් රටේ බංකොලොත්භාවයෙන් මිදීම අසීරු නැහැ.'' යනුවෙන් සඳහන් කළේය.
• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා