ඔහු නමින් ජූඩ් ප්‍රසන්න ප්‍රනාන්දු ය. කුඩා කල සිටම ප්‍රසන්න සංගීතයට ඇළුම් කළේය. හලාවත වට්ටක්කල්ලිය ප්‍රදේශයේ ජීවත් වූ ප්‍රසන්න අද වෙද්දී ගිටාර් නිර්මාණකරුවෙකි. ප්‍රසන්නගේ සහෝදරයා ද සංගීතයට හැකියාවක් ඇති අයෙකි. මේ නිසාම තම සහෝදරයාට හිමි සංගීත භාණ්ඩ කුඩා කල සිටම අතපත ගාන්නට ප්‍රසන්නට අවස්ථාව ලැබුණි. ඒ අනුව කුඩා කල සිටම සංගීත භාණ්ඩ ඇසුරේ ජීවත් වන්නට ප්‍රසන්නට හැකියාවක් ලැබුණි.
ප්‍රසන්නට ගිටාර් වාදනය ඉගෙන ගන්නට ගුරුවරයකු සිටියේ නැත. ඔහු තම සහෝදරයාගෙන් ගිටාර් වාදනය ටිකෙන් ටික ඉගෙන ගත්තේය. ගිටාරයට තිබුණු ආසාව, කැමැත්ත, නිසාම ගිටාරයක් නිෂ්පාදනය කරන්නට ප්‍රසන්නට සිතක් පහළ විය. එය ලෙහෙසි පහසු වූයේ නැත. හිතේ කැමැත්ත තිබුණ ද ඒ සඳහා අවශ්‍ය මෙවලම් ප්‍රසන්නට තිබුණේ නැත. නමුත් ඔහු තම උත්සාහය අතහැරියේ ද නැත. ඔහු පළමුව ගිටාරයක් හොඳින් අධ්‍යයනය කළේය. පසුව එහි ආකෘතියට අනුව ප්‍රසන්න ගිටාරයක් නිර්මාණය කළේය. ඒ ප්ලයිවුඩ් වලිනි. ඒ සඳහා අවශ්‍ය නිසි මෙවලම් සහ යන්ත්‍ර සූත්‍ර ඔහුට තිබුණේ නැත. නමුත් ඔහු තමන්ට පහසුවෙන් සොයාගත හැකි කියත, නියන, යතු කැටය වැනි සීමිත මෙවලම් භාවිත කොට පළමු ගිටාරය නිර්මාණය කළේය. එහි යම් යම් අඩුපාඩු පැවතිය ද තම පළමු අසීරු උත්සාහය සාර්ථක වූවා යැයි ප්‍රසන්නට සිතුණි.
එතැන් සිට මේ සාර්ථක නිර්මාණය වර්ධනය කර ගන්නට ප්‍රසන්න ඒ සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ සොයා බැලුවේය. පළමු ගිටාරය සාදා අවසන් කිරීමේදී ඔහුට එය ඔප දැමීම (polish) සඳහා යන්ත්‍රයක් හෝ තිබුණේ නැත. ප්‍රසන්න ඒ සියල්ල සිදු කළේ පින්සලක් ආධාරයෙනි. තම පළමු උත්සාහය සාර්ථක වීමත් සමඟ ඔහුට ඒ සඳහා වැඩි වැඩියෙන් නැඹුරු වෙන්නට කැමැත්තක් ඇතිවිය.
ප්‍රසන්න තම පළමු ගිටාරය නිර්මාණය කළේ තම නිවෙස තුළය. කුඩා කල සිටම මෙවැනි නිර්මාණ කිරීමට ප්‍රසන්න තුළ තිබූ කැමැත්ත හා හැකියාව දැන සිටි ඔහුගේ පවුලේ පිරිස ප්‍රසන්නව දිරි ගන්වමින් මේ නිර්මාණය එළි දක්වන තුරු බලා සිටියහ. ඔහු ගිටාරය සම්බන්ධයෙන් අන්තර්ජාල තොරතුරු හා විවිධ අත්හදා බැලීම් ඔස්සේ වැඩිදුරටත් කරුණු එකතු කර ගත්තේය. මෙය ආවාට ගියාට කළ හැකි නිර්මාණයක් නොවන බැවිනි.
“ලංකාවට හොඳ ප්ලයිවුඩ් එන්නේ නැහැ. ඒ නිසා මම ලීය ඉරපු සොලිඩ්වලින් ගිටාර් හදන්න තීරණය කළා. එහි හඬත් වැඩියි. ඒ නිසාම මම ලීයෙන් ගිටාර් හැදුවා. ඒකට ඉරපු මහෝගනී, නැදුන් එකතු කළා. මේ වෙනුවෙන් මේරියන්ස් සංගීත කණ්ඩායමේ රුවන් අයියා, කීබෝඩ් වාදක විජිත් අයියා මට උදව් කළා. ඒ වගේම ගමේ පන්ති කරන තුෂාර සර්, බිමල් සර් මට ගොඩක් උදව් කළා. ඔවුන් මාව වගේම මගේ නිර්මාණයත් විශ්වාස කළා." යැයි ප්‍රසන්න දේශයට අදහස් දක්වමින් පැවසීය.
මේ සියලු ගිටාර් නිෂ්පාදනය වනුයේ ප්‍රසන්නගේ අතිනි. ඔහු සෑම දෙයක් ගැනම ඉතා අවධානයෙන්, ඉතා පරිස්සමට සොයා බලා කටයුතු කරයි. ප්‍රසන්න පවසන පරිදි ඔහුට "වේගයෙන් ගමනක් යන්නට අවශ්‍ය නැත." ඔහුගේ නිෂ්පාදන පිළිබඳ විශ්වාස කොට ඔහු සොයා පැමිණෙන පාරිභෝගිකයන්ට හැර ඔහුගේ නිෂ්පාදන වෙනත් අලෙවිසලකින් මේ දක්වා මිලදී ගන්නට අවස්ථාවක් නැත. ඒ සියලු නිෂ්පාදන මිලදී ගත හැකි වනුයේ ප්‍රසන්නගේ වඩු මඩුවෙන් පමණි. තම නිවෙසට යාබද කොටසේ ඔහු තම නිෂ්පාදන අංශය පවත්වාගෙන යයි. ගිටාරයක් අවශ්‍ය කෙනකුට ප්‍රසන්නගේ නිෂ්පාදන අංශයෙන් තමන් කැමති වර්ණයට හා හැඩයට අනුව තමන්ට කැමති ලෙස තම ගිටාරය නිර්මාණය කර ගැනීමට හැකිය. වෙනත් අලෙවිසල්වලින් තමන්ට අවශ්‍ය ගිටාරය ඒ අන්දමින් නිෂ්පාදනය කර ගැනීමට නොහැකි වුවද මේ පහසුකම ප්‍රසන්න වෙතින් ලබා ගැනීමට හැකිය.
ප්‍රසන්න සියලු ගිටාර් වර්ග නිෂ්පාදනය කරයි. විද්‍යුත් ගිටාර්වලට වඩා බොක්ස් ගිටාරය සඳහා ඔහුට වැඩි ඉල්ලුමක් පවතී. රුපියල් තිස්පන් දහසේ සිට ප්‍රසන්නගෙන් ගිටාර් මිලදී ගැනීමට හැකි අතර සංගීතයට වැඩි ඇල්මක් දක්වන කුඩා දරුවන් වෙනුවෙන් රුපියල් විසිපන් දහසකට ගිටාරයක් මිලදී ගැනීමට හැකිය.
විදෙස් රටවලින් විශාල ලෙසින් ආනයනය කරන ගිටාර් මිලදී ගන්නවාට වඩා අපේ රටේ නිෂ්පාදකයකු විසින් නිර්මාණය කරන සාර්ථක ගිටාරයක් මිලදී ගෙන අපේකම අගය කිරීම වටිනා දෙයකි. ප්‍රසන්න පවසන පරිදි ඔහුගේ ගිටාරයට විදෙස් රටවලින් ගෙන්වන ගිටාරයට වඩා වැඩි ආයු කාලයක් පවතී.
සංගීතය සම්බන්ධයෙන් ප්‍රසන්න අමතර පන්ති ගොස් තිබුණේ නැත. නමුත් සංගීතය පිළිබඳව දැනුමලත් තම වැඩිහිටි සහෝදරයන් වෙතින් ඔහු මේ විෂය පිළිබඳ කුඩා කල සිටම අසා දැන සිටියේය. පාසල් අධ්‍යාපනයෙන් පසුව ගමේ කුඩා සංගීත කණ්ඩායමකට එකතු වුණු ප්‍රසන්න පළමුව රිදම් ගිටාරය වාදනය කළේය. ඒ "සෝබෝස්" නම් සංගීත කණ්ඩායම වෙනුවෙනි. පසුව ඔහු තම සහෝදරයාගේ ඉල්ලීම පරිදි බේස් ගිටාරය වාදනය කළේය. එතැන් සිට ඔහු නිත්‍ය බේස් ගිටාර් වාදකයෙක් විය.
පසුව ඔහු "මාත්‍රා" සංගීත කණ්ඩායමකට ද එකතු විය. එකල ස්වාධීන රෑපවාහිනී සේවය විසින් පැවැත්වූ "ITN රන් තරු" තරගාවලියේදී සංගීත කණ්ඩායම් පන්සියයකටත් වැඩි ප්‍රමාණයකින් "හොඳම බේස් ගිටාර්" වාදකයා ලෙස ප්‍රසන්න තේරී පත් විය. ඒ වෙනුවෙන් ඔහුට කුසලානයක් සහ TVS මෝටර් බයිසිකලයක් තෑගි වශයෙන් ලැබුණි. අදටත් ඒ මෝටර් බයිසිකලය ඔහු ළඟ සුරුකිව පවතී. "මාත්‍රා" සංගීත කණ්ඩායම වෙනුවෙන් වසර ගණනාවක් ගිටාර් වාදනය කළ ප්‍රසන්න, නීල් වර්ණකුලසූරියගේ දෙවැනි සංගීත කණ්ඩායමට ද එකතු විය. එහි වසර කිහිපයක් කටයුතු කිරීමත් සමඟ ඔහුට ගිටාර් නිෂ්පාදනයට වැඩි කාලයක් යෙදවීමට අවශ්‍ය විය. ඒ අනුව ප්‍රසන්න සංගීත කණ්ඩායම් වාදකයාගෙන් ඈත්ව පූර්ණ කාලීන ගිටාර් නිෂ්පාදකවරයෙක් බවට පත් වී සිටී.
• දිශානි ජයමාලි කරුණාරත්න