සකුරා මලින් පිරි සුන්දර ජපානය වරෙක හිරෝෂිමා නාගසාකි බෝම්බයෙන් සුන්නද්ධූලි වී ගියේය. එහෙත් ගල්පර දැක නොනවතින ගඟක් සේ යළි සංවර්ධිත රටක් ලෙස නැගී සිටීමට තරම් ඔවුහු ශක්තිවන්ත වූහ. එබඳු සුන්දර ජපානයට අපේ රටේ බොහෝ දෙනා මෙන්ම ලෝකයේ වෙනත් රටවල්ද ආදරය දක්වනුයේ එහි ඇති සුන්දරත්වය සහ විනයවත් බව නිසාමය. එවන් රටක රුකියාවක් ලැබේ නම් ප්‍රතික්ෂිප්ත කරන්නකු සිටී යැයි විශ්වාස කළ නොහැකිය.
තරුණයකු ජපානයේ රුකියාවක් සොයා එරට ගුවන් යානයකට හොරෙන් නැගි පුවතක් පසුගිය කාලයේදී වාර්තා විය. එම තරුණයාගේත් තිබෙන්නට ඇත්තේ එවන් වූ සිහිනයක් විය හැකිය. එහෙත් හොර පාරෙන් නොව හරි පාරෙන් ජපන් යන්නටත් එරට රුකියාවක් කරන්නටත් ඕනෑම කෙනකුට මග විවර වී තිබේ. මේ කියන්නට යන්නේ එරට රුකියා කරන ශ්‍රමිකයන්ට ජපානයෙන් ලබාදීමට නියමිත තෑග්ගක් සම්බන්ධයෙනි. කෙතරම් හදිසි වුවත් ඒ තෑග්ග ලබාගැනීමට වසර 3 ක් බලා සිටීමට සිදුවනු ඇත.
වෙනත් රටවල සිට පැමිණ ජපානයේ රුකියාවල නියුතු ශ්‍රමිකයන්ට ජපානයේ ස්ථිර පදිංචිය ලබාදීමට මේ වනවිට එරට බලධාරීන් තීරණය කර ඇත. මේ වෙනුවෙන් ජපාන පාර්ලිමේන්තුව විසින් විදෙස් ශ්‍රමිකයන්ගේ කුසලතා වර්ධනය ඉලක්ක කරගත් තාක්ෂණික සීමාවාසික පුහුණු ප්‍රතිස්ථාපන පනතක් පසුගියදා සම්මත කර තිබේ. ජපාන අගමැති ෆුමිඕ කිෂිඩා පසුගියදා මෙම පනත් කෙටුම්පත ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ කටයුතු කමිටුවේදී ඉදිරිපත් කළේය. මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ප්‍රධාන පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය සහ එහි සභාග හවුල්කාර කොමේටෝ මෙන්ම ජපන් නවෝත්පාදන පක්ෂය ඇතුළු පක්ෂ පනතට සහාය දක්වා ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ජපන් කොමියුනිස්ට් පක්ෂය ඇතුළු පිරිසක් පනතට විරුද්ධව ඡන්දය භාවිත කර ඇත.
කෙසේ වුවද මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර ඒ අනුව ඔවුන්ගේ මූලික අරමුණ වනුයේ ජපානයේ ශ්‍රම හිඟයට විසඳුමක් සොයාගැනීමත් පිටරටවලින් පැමිණ සිටින එරට ශ්‍රමිකයන්ගේ කුසලතා සංවර්ධනයත්ය. පනත පසුගියදා සම්මත කරනු ලැබුවද මෙම තීරණය පිළිබඳ සමාජ කතිකාව ඇරඹුණේ 2018 වසරේ සිටය. එහිදී මෙරට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසූයේ විදෙස් ශ්‍රමිකයන් සම්බන්ධයෙන් ජපාන රජය ගෙන ඇති තීරණය ශ්‍රී ලංකාවට ද අදාළ බවයි.
ජපන් ජාතිකයන්ගේ ජනගහනයේ අඩුවීමත් වයස්ගත ජනගහනය ඉහළ යාමත් ජපන් රජය මෙම තීරණය ගැනීමට හේතුවක් වී ඇතැයි අනාවරණය විය. 2019 අප්‍රේල් 1 වැනිදා සිට විශේෂ නිපුණතා සහිත පුහුණු සේවක අවස්ථා (SSW) යන වීසා කාණ්ඩ 2 ක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මකය. මේ යටතේ හෙද සත්කාර, ගොඩනැගිලි පිරිසුදු කිරීම, ඉදිකිරීම් කර්මාන්තය (නිවාස, ගොඩනැගිලි සහ වෙනත් ඉදිකිරීම් කරන රුකියා), යන්ත්‍ර කොටස් සහ මෙවලම් කර්මාන්ත, කාර්මික යන්ත්‍රෝපකරණ කර්මාන්ත, විදුලි, ඉලෙක්ට්‍රෝනික හා තොරතුරු කර්මාන්ත, නැව් තැනීම සහ නැව් යන්ත්‍රෝපකරණ කර්මාන්ත (නැව් තැනීමේ රුකියා), මෝටර් රථ අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම, ගුවන් සේවා කර්මාන්තය, හෝටල් කර්මාන්තය, කෘෂිකර්මාන්තය, ධීවර හා ජලජීවී වගාව, ආහාර හා බීම නිෂ්පාදනය, ආහාර සේවා කර්මාන්තය ආදී ක්ෂේත්‍ර ඇතුළත් රුකියා ලබාගැනීමට විශේෂ නිපුණතා අංක 1 යටතේ අවස්ථාව සලසා ඇතැයි ජපාන තානාපති කාර්යාල වෙබ්අඩවිය සඳහන් කරයි.
විදේශිකයන්ගේ හැකියා උපරිමයෙන් ප්‍රයෝජනයට ගෙන සියල්ලන්ගෙන් පිරි සමාජයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය. එසේම තම රටේ සිටින විදේශික දක්ෂ ශ්‍රමිකයන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව මෙහිදී ජපාන අගමැති වැඩිදුරටත් අවධාරණය කර සිටී. වසර 3 ක් ඇතුළත නිශ්චිත පුහුණු සේවකයකු ලෙස ජපානයේ රුකියා කිරීමට විදෙස් සීමාවාසිකයන් පුහුණු කිරීම මෙහි අරමුණ බව එරට බලධාරීහු පවසති. මේ අනුව කොන්දේසිවලට අනුව එකම ක්ෂේත්‍රයේ සේවා යෝජකයන් මාරු කිරීමට ද විදෙස් ශ්‍රමිකයන්ට අවසර ලැබෙනු ඇත. මෙම පනත 2027 වසරේ සිට බලාත්මක අතර මෙමගින් ජපානයේ ස්ථිර පදිංචියට අවසර හිමි විදෙස් ශ්‍රමිකයන් විසින් රජයට අය විය යුතු බදු සහ අනෙකුත් මහජන ගෙවීම් පැහැර හැරි අවස්ථාවකදී ඔවුනගේ පදිංචිය අවලංගු කිරීමටත් එම පනත ප්‍රකාරව නීති සම්පාදනය කර ඇත. එහෙත් අග්‍රමාත්‍යවරයා පවසනුයේ ජපානයේ ස්ථිර පදිංචිකරුවන් සඳහා සාධාරණ ප්‍රමාණවත් අවධානයක් සැලකිල්ලක් දක්වමින් මෙම පනත සම්පාදනය කිරීමට කටයුතු කර ඇති බවයි. හෙද, ඉදිකිරීම්, කෘෂිකර්මාන්ත ආදී මේ වනවිට ජපානය ශ්‍රම හිඟයෙන් පීඩා විඳින ක්ෂේත්‍ර සඳහා විදෙස් රටවලින් අභ්‍යාසලාභීන් මෙහිදී බඳවාගන්නා බව එහි සඳහන්ය.
පනත සම්මත කර ගැනීම සඳහා වූ ඡන්දය විමසීමට පෙර පැවති විවාදයකදී ව්‍යවස්ථාදායක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නීති සම්පාදක මකියාමා හිරෝ තර්ක කළේ ස්ථිර පදිංචිය අවලංගු කිරීමේ ප්‍රතිපාදන එහි අඩංගු බැවින් මෙම පනත මිනිසා විසින් මිනිසාටම කරනු ලබන විනාශයක් බවයි. එසේම ජපාන නවෝත්පාදන පක්ෂයේ නීති සම්පාදකයකු වන ෂිමිසු ටකයුකි පැවසූයේ මෙහි මානව හිමිකම් සම්බන්ධයෙන් ගැටලු කිහිපයක් මතුවන බැවින් කඩිනමින් මෙම පනත සංශෝධනයක් කළ යුතු බවයි.එයින් සර්ව සම්පූර්ණයෙන් අඩුපාඩු විසඳේ යැයි තමා නොසිතන බවත් එහෙත් උපරිම තරමින් හෝ අඩුපාඩු අවම පනතක් බලාත්මක විය යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. නව පනත අනුව කාණ්ඩ 2ක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර පළමු කාණ්ඩය සදහා වසර 3 ක තාක්ෂණික පුහුණුව හා ජපන් භාෂාව හදාරා තිබිය යුතු බවත් ඔවුන් සඳහා වසර 5 ක නේවාසික වීසා කාලයක් හිමිවන අතර, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සඳහා මෙය වලංගු නොවන බවත් ජපන් කම්කරුවන්ට සමාන වැටුප් තලයක් සහිත බවත් සහ විවිධ සහාය සමාගම හරහා ලබාගත හැකි බවත් ජපාන රජය දන්වා තිබේ. එසේම වසර 5 ක වීසා කාලයක් හිමිවන එම ශ්‍රමිකයන්ට වසර 10ක් දක්වා එරට සේවය කිරීමට අවස්ථාව සැලසෙයි.
දෙවැනි කාණ්ඩය සඳහා ජපානයේ රුඳී සිටිමේ නිශ්චිත කාලයක් සීමා නොකෙරෙන බව ජපාන රජය දන්වා ඇති අතර ඔවුන් සඳහා ස්ථිර නේවාසික පහසුකම් ලබාදෙන අතර ඔවුන්ගේ පවුලේ ඥාතීන්ට ද ජපානයේ රුඳී සිටීමේ අවස්ථාව හිමිවෙයි. එහෙත් එම අවස්ථාව හිමිවන්නේ ඉහළ මට්ටමේ වෘත්තියවේදීන් සඳහා ද එසේත් නැතිනම් සැම දෙනාටම ද යන්න පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කරන බවත් එහි සඳහන්ය. මේ සම්බන්ධ වැඩි විස්තර මෙරට පිහිටි ජපාන තානාපති කාර්යාලය මගින් හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබාගත හැකිය.
මේ ආකාරයට බලන කල ජපානයේ රුකියාවක් කරන විදේශික ශ්‍රමිකයන්ට ජපන් රජයෙන් ලැබෙන තෑග්ග සුළුපටු නොවේ.
• සසංක චලන ගිම්හාන