ජංගම දුරකථන මිල ඉහළ යද්දී මිල ඉහළ ගියද එහි මිල නැවතත් පහළ ගිය විට එයට සාපේක්ෂව මිල පහළ ගොස් නැති බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා දේශයට පැවසීය.
මේ දිනවල ජංගම දුරකථනවල පමණක් නොව ජංගම දුරකථන පැකේජවල මිලද පෙර දැනුම් දීමක් සිදු කිරීමෙන් තොරව වෙනස් වීම සිදුවේ. මීට පෙර බදු වැඩිවීමත් සමඟ ඒවායේ මිල 3% කින් වැඩි කිරීමට අවසර හිමිවිය. එලෙස වැඩිවීම සිදුවුවද නැවතත් කුමන පදනමකින් හෝ පෙර දැනුම් දීමකින් තොරව පැකේජවල මිල වැඩි වී ඇත. මීට පෙර එක්තරා සමාගමක් විසින් පාරිභෝගිකයන්ට ලබාදුන් රුපියල් 168/- ට තිබූ පැකේජය දැනුම් දීමකින් තොරවම රුපියල් 198/- ක් දක්වා ඉහළ දමා ඇත. එමෙන්ම රුපියල් 455/- ට තිබූ පැකේජය රුපියල් 549/- ක් දක්වා ඉහළ දමා තිබේ. එවැනි වැඩි කිරීම් කිහිපයක් සිදු කරද්දී එය කුමන පදනමකින් සිදුකළේ දැයි සමස්ත ලංකා කමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය ප්‍රශ්න කරයි.
“මාසයකට යැයි දුරකථන සමාගම් පැකේජ හඳුන්වා දී තිබෙනවා. නමුත් දවස් විස්සක් පමණ ගත වෙද්දි ඒවායේ දත්ත (Data) වැඩ කරන්නේ නැහැ කියලා පාරිභෝගිකයන් අපිට පැමිණිලි කරනවා. ඒ අය හදිසි ඇමැතුම් අංශයට (Hot line) කතා කරද්දි "අමතර තව GPG ප්‍රමාණයක් ඇතුළු කර ගන්න" කියලා කියනවලු. මාසයක් තියෙන පැකේජයක් එහෙම අතරමගදී නතර වෙන්න පුළුවන්ද? මේ වගේ දුරකථන සමාගම් කරන දේවල් දැනුම් දීමකින් තොරව කරන්නේ ඇයි කියලා අපි දන්නේ නැහැ." යැයි සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා පැවසීය.
රටේ පිළිගත් එක්තරා දුරකථන සමාගමක් විදේශ සමාගමක් යටතට ගැනීමට සූදානමක් පවතින බවට රාවයක් පවතී. සමස්ත ලංකා කමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසන්නේ මොවුන් මෙලෙස පාරිභෝගිකයන්ගෙන් මුදල් අනවශ්‍ය ලෙස සූරාකමින් විදේශ සමාගමට වැඩි ලාභයක් පෙන්වීමට උත්සාහ දරන බවය. ඒ අනුව ඉදිරියේදී සිම්පතක් ලබා ගැනීම සඳහා තමන් වෙතට එන පාරිභෝගිකයන්ගේ තොරතුරු ගෙන එම දත්ත සටහන් කොට සිම්පත ලබාදීමේදී මෙම සියලු තොරතුරු එවැනි විවිධ සමාගමට ලබා දීම සම්බන්ධයෙන් දෙවරක් සිතා බැලිය යුතු බවද එම සංගමය පෙන්වා දෙයි.
“කිසිම වෘත්තීය සමිතියක් අපි කියන දේවල් ගණන් ගන්නේ නැහැ. හැබැයි අපි ගාවත් හැන්දක් තියෙනවා. මෙලෙස පාරිභෝගිකයන්ට දුරකථන සමාගම දිගින් දිගටම අසාධාරණයක් සිදු කරයි නම් ඉදිරියේදී අපේ සේවය දුරකථන සමාගම්වලට ලබා දෙන්නේද නැද්ද කියන දේ අපි තීරණය කරනවා. අපි ළඟට එන පාරිභෝගිකයන්ගේ හැඳුනුම්පතට අනුව ගනු ලබන තොරතුරු මේ විදෙස් සමාගම්වලට ලබා දෙන්නේද යන්න පිළිබඳව අපි තවදුරටත් හිතල බලනවා. මේවා ටෙන්ඩර් දාලා සිදු කරන දේවල් නෙවෙයි." යැයි ඉන්ද්‍රජිත් පෙරේරා මහතා වැඩිදුරටත් චෝදනා කරයි.
මෙලෙස ටෙන්ඩරයක් හෝ නොදමා හිතුමතේට මෙවැනි දේ සිදු කරනුයේ ප්‍රබල දේශපාලන හිතුවතුන්ට මෙය ලබාදීමේ සූදානමක් පැවතීම හේතුවෙන් බව සංගමය චෝදනා කරයි. එසේත් නැතිනම් මේ රටේ ප්‍රබල දේශපාලන පවුල්වල අයට හවුල්කාර ලෙසින් මුදල් යෙදීමට හැකි සේ මෙය ලබාදීමට උත්සාහ දරන්නේද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතින බවද ඔවුහු පවසති. කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසන්නේ මුලින් රීලෝඩ් දැමීමේදී ඔවුන්ට 6% ක කොමිස් මුදලක් ලබා දී ඇති බවය. එයින් ඔවුන් රීලෝඩ් මැෂිම මෙන්ම බිල්පත වෙනුවෙන් මුදල් වෙන් කළ යුතුය. මුල් කාලයේදී රීලෝඩ් මැෂිම සඳහා යොදවන බිල්පත් රෝලක් සඳහා රුපියල් 27 ක මුදලක් වැය වුවද පසු කාලයේ දී එහි මිල රුපියල් 210/- දක්වා ඉහළ ගියේය. වර්තමානයේ දී එහි රුපියල් 90 ක පමණ අඩුවක් වීමක් සිදුවුවද මේ සියල්ල කොමියුනිකේෂන් හිමිකරුවන්ට දරා ගැනීමට නොහැකිය. මේ අතර 6% ක්ව තිබූ කොමිස් මුදල 4% ක් දක්වා පහළ දැමීය.
“පාරිභෝගිකයන් ඩේටා කාඩ් පතක් මිලදී ගත්තා නම් එය භාවිත කරන වෙලාවල් දුරකථන සමාගම් තීරණය කරන්නේ ඇයි? එය දහවල් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී පරිහරණය කිරීම පාරිභෝගිකයාගේ අයිතියයි. අපි පාන් රාත්තලක් ගත්තොත් එය කන වේලාවන් බේකරියට තීරණය කරන්න බැහැ. එහෙම නම් ඩේටා පරිහරණය කරන වේලාවන් දුරකථනය සමාගම් තීරණය කරන්නේ කොහොමද? නමුත් අද වෙද්දි මේ කිසිම දේක නියාමනයක් නැහැ. මේ ගැන අපි විදුලි සංදේශ නියාමන කොමිසම් සමාගමට ලිඛිතව දැනුම් දුන්නා. අපි සමාගමක් වශයෙන් ලියාපදිංචි වූ සමාගමක්. නමුත් එයින් කිසිම ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. අපි දුරකථන සමාගම්වලට මේ සම්බන්ධයෙන් කතාබහ කරන්න වේලාවන් ඉල්ලා සිටියා. නමුත් මේ වනතුරු ඒ සඳහා අවස්ථාවක් අප සංගමයට ලැබිලා නැහැ. මේ අතර අපි ආරංචි මාර්ගවලින් දැනගත්ත දෙයක් තමයි මේ තරම් මිල වැඩි කරලා, මිනිසුන්ගේ මුදල් මංකොල්ලකෑම් කරලා, මෙලෙස අංක එකේ දුරකථන සමාගම මිලදී ගනු ලබන්නේ මේ රටේ ප්‍රභූ පුතෙක් කියලයි. මේ රාජකීය පවුල තමයි අවසානයේදී මෙය මිලදී ගන්නේ." යැයි සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා පැවසීය.
අද වෙද්දී ජංගම දුරකථනය අත්‍යවශ්‍යම භාණ්ඩයක් වී හමාරය. එදිනෙදා අදහස් හුවමාරුව, අධ්‍යාපන කටයුතු සඳහා පමණක් නොව එකල කුඩා දරුවන්ට බත් කැවීමට කවියක් කතාන්දරයක් කීවද වර්තමානයේදී කුඩා දරුවන්ට මව්වරුන් බත් කවන්නේද ජංගම දුරකථනය අතට ලබා දෙමිනි. නමුත් අද වෙද්දී එකම වර්ගයේ දුරකථන විවිධ තැන්වල විවිධ මිල ගණන් යටතේ අලෙවි වෙයි. පසුගිය කාලයේදී කුඩා සාමාන්‍ය ජංගම දුරකථනයක් රුපියල් 1600/- කට මිල වුවද අනතුරුව රු. 5600/- 10000/- දක්වා එකවර මිල ඉහළ ගියේය. එලෙස මිල ඉහළ දැමුණේ කෙසේද? එම මිලෙහි යම් අඩුවීමක් සිදුවුවද අදටත් වෙළෙඳපොළේ විවිධ මිල ගණන් යටතේ එය අලෙවි වෙයි.
“මීට පෙර අපි රුපියල් ලක්ෂයකට ගෙනාපු බඩුම අද වෙද්දී ගන්න දෙලක්ෂ විසි දහසක් පමණ අවශ්‍ය වෙලා තියෙනවා. ඇත්තටම මේ දුරකථන ක්ෂේත්රයේ අද පවතින්නේ මාෆියාවක්. ඔවුන් අපි හරහා පාරිභෝගිකයන්ව සූරාගෙන කනවා. ඒ නිසා මේවාට විසඳුමක් නොලැබුණහොත් අපි මේ වෙනුවෙන් යම් තීරණයක් ළඟදීම ගන්නවා." යැයි සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.
• දිශානි ජයමාලි කරුණාරත්න