2024 ජුනි 22 වන සෙනසුරාදා

දකුණු මුහුදේ දැලක් නැතිව අදින කුඩු

 2024 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 154

2023 වසරේදී රුපියල් බිලියන 27 ක මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බවත් පසුගිය මාස හයක කාලය තුළ රුපියල් බිලියන 13 ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බවත් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා පසුගියදා සඳහන් කළේය. නාවික හමුදාපතිවරයා එලෙස ප්‍රකාශ කළේ පසුගියදා නාවික හමුදාව විසින් කෝටි 325 ක මත්ද්‍රව්‍ය තොගයක් සිය බාරයට ගෙන එය නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේය. එම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබුණේ දකුණු මුහුදු ප්‍රදේශයේ දෙවුන්දර ප්‍රදේශයට ආසන්නවය.

මත්ද්‍රව්‍ය ජාවාරම නැවතීම සඳහා විශාල වැඩසටහන්, අත්අඩංගුවට ගැනීම්, වැටලීම් සහ දැනුවත් කිරීම් සිදුවන රටට මේ ආකාරයෙන් තවත් හොරොයින්, කොකේන්, අයිස්, කංසා පැමිණෙන්නේ කෙසේද? මෙය හැම දෙනාටම ඇති ප්‍රශ්නයකි. ඒ ප්‍රශ්නයට තවමත් පිළිතුරක් නැත. ඒ සඳහා දේශපාලනඥයන්ට ඇඟිල්ල දිගු කරන විට එක් වරම ආරක්ෂක අංශයේ පිරිසකුත් ඊට ගෑවී සිටිති. ආරක්ෂක අංශයේ අයට ඇඟිල්ල දිගු කරන විට ඇතැම් ධනවත්හු කොටුවෙති. අවසානයේ දී එකකු දෙන්නකු කොටු කර ගත්තත් හරියටම මත්ද්‍රව්‍ය ගෙනෙන්නේ කවුදැයි නිශ්චිත පිළිතුරක් ලැබෙන්නේ නැත. එසේ නිශ්චිත තොරතුරක් නොලැබීම අදාළ ජාවාරමේම සංවිධානාත්මක කොටසක් නම් එය නිවැරදි ලෙස අදාළ වගකිවයුත්තන් උපරිමයෙන් සිදු කරන බව කිව යුතුමය. ඒ කිමද යත් තවමත් මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම ඉහළින්ම සිදුකෙරෙන බැවිනි.

දැනට කේරළ කංසා සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම දකුණු ඉන්දියාව සහ තලෙයිමන්නාරම හරහා සිදුවෙයි. දකුණු ඉන්දියාවේ බන්ධනාගාරය තුළ සිටින කිඹුලාඇළේ ගුණා, පූකුඩු කන්නා වැනි අයත් එරට ජාවාරමුත් එක්ව මත්ද්‍රව්‍ය සහිත ධීවර බෝට්ටු මුහුද මැදදී මෙරට ධීවරයන්ට ලබාදීම හරහා අදාළ ජාවාරම සිදු කරගෙන යති. එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවුණ ද දැනට සිදුවන ක්‍රමය එයයි.

එහෙත් මත්කුඩු ජාවාරම එවැනි සරල මෙහෙයුමක් නොවේ. මෙරට සිට ඩුබායි සහ අනෙකුත් රටවලට ජීවිත ආරක්ෂාව පතා පැන ගිය පාතාලයන් සියල්ලෝම ජීවත් වීම සඳහා මෙම මත්කුඩු ජාවාරමේ නිරත වෙමින් සිටිති.

ඩුබායි සිටින ඇල්ටෝ ධර්මේ, ප්‍රංශයේ සිටින කුඩු අංජු, සිරාන් බාසික්, කංජිපානි ඉම්රාන්, මොහොමඩ් සිද්ධික්, අන්නාසි මොරිල්, කෙහෙල්බද්දර ධර්මේ ආදී එකී මෙකී නොකී සියල්ල අඩු වැඩි වශයෙන් මෙම ජාවාරමේ නිරත වෙමින් සිටිති. ඊට අමතරව මොහොමඩ් මූජහිඩීන් නැමැත්තා මෙම ජාවාරමේ දැවැන්තයෙක් ලෙස කටයුතු කරයි. මෙරටදී මුජහිඩීන්ව අත්අඩංගුවට ගැනීමේ අවස්ථාව මගහැරුණු අතර කාලයක් ඔහු මෙරට පැමිණියේ රාජ්‍ය අනුග්‍රහය ඇතිවය. කෙසේ වෙතත් කාලයක් තිස්සේ වෙලේ සුදා, මදූෂ් ඇතුළු අය විසින් ඒකාධිකාරයක් ලෙස පවත්වාගෙන ගිය ජාවාරම කඩා වැටීමෙන් පසු මොවුහු එය සිදු කරගෙන යමින් සිටිති.

මේ සියල්ලන්ටම ඉහළින් ගෝඩ් ෆාදර්ලා දෙදෙනෙකි. ඔවුහු මෙම ජාවාරමේ කලාපීය බලවත්හු වෙති. පාකිස්ථානයේ ජීවත් වන මොවුන් දෙදෙනාගෙන් එක් අයකු සලීම් ඛාන් වන අතර අනෙක් තැනැත්තා හාජි ඛාන් නැමැත්තෙකි. මොවුන් දෙදෙනා ඉන්දියන් සාගරයත් අරාබි මුහුදත් හරහා යන හෙරොයින් ජාවාරමේ ප්‍රධානීහු වෙති.

සාමාන්‍යයෙන් කොකේන්, හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කෙරෙන්නේ පාකිස්ථාන දේශ සීමාවට ආසන්නව පිහිටි ඇෆ්ගනිස්ථානයේය. එහිදී නිෂ්පාදනය කරන කුඩු ගොඩබිම හරහා රුගෙනවිත් නැව්වලට දමන අතර එම නැව් බලුචිස්ථානයට අයත් නැව් බව කියති. එම නැව් ඉන්දියන් සාගරය හරහා දකුණු මුහුදු තීරය ඔස්සේ අරාබි මුහුද වෙත ගමන් කරයි. එලෙස මෙහෙයුම ආරම්භ වන අතර මෙරට දකුණු මුහුද තීරයෙන් ධීවර කටයුතු සඳහා පිටත් වන අහිංසක ධීවරයන් වෙත මෙම පාර්සල් ලබාගැනීමේ කාර්යය බාර වෙයි. ආර්ථික වශයෙන් කඩා වැටී සිටින ධීවරයන් වෙත විශාල මුදලක් යෝජනා කළ විට ඔවුන් මත්ද්‍රව්‍ය බව දැන දැනත් මේ සඳහා යොමුවන්නේ දුප්පත්කම හේතුවෙනි. ඒ අනුව මුහුදු ගොස් එන අතරතුරදී හොරොයින් කොකේන් ගොඩබිමට රුගෙන ඒම එම ධීවරයෝ සිදු කරති.

ශ්‍රී ලංකාවේ නීතිය අනුව මත්ද්‍රව්‍ය ජාවාරමට දඬුවම් කළ හැක්කේ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමට එරෙහිවය. එසේ නොමැති නම් මුදල් විශුද්ධිකරණය හරහා මත්ද්‍රව්‍යවලින් අයථා ලෙස දේපළ රුස් කිරීමේ චෝදනාව යටතේ නඩු පැවරේ. මේ නිසා බොහෝ අවස්ථාවල දඬුවම් ලබන්නේ මෙකී අහිංසක ධීවරයන්ට පමණි. මීට සම්බන්ධ තෝරු මෝරුන් සොයා ගැනීමට නැත. සොයා ගැනුණද දැවැන්ත නීතිඥ මඬුලු වෙතින් ලැබෙන සහාය මත ඔවුහු නිදොස් කොට නිදහස් වෙති. ඒ නිසා මෙකී ජාවාරමේ තෝරු මෝරු නිදහසේ ඇති පදමට නීතියෙන් රිංගා ජාවාරම සිදු කරගෙන යති. මේ නිසාම තෝරු මෝරුන්ගේ දේපළ රාජසන්තක වුවත් ඔවුහු තව තවත් ජාවාරමේ නිරත වෙති.

නාවික හමුදාව ප්‍රකාශ කරන පරිදි මෙලෙස මුහුදු මාර්ගය ඔස්සේ එන ධීවර බෝට්ටු හරහා ඔවුහු අත්අඩංගුවට පත්ව සිටිති. එහෙත් මුහුදු මාර්ගයෙන් පමණක් සියල්ලන්ම පැමිණෙන්නේ නැත. පාකිස්ථානයේ සිට අල, ලූනු ගෝනි ගණන් මෙරටට ලැබෙයි. ඒ සියල්ල පරීක්ෂා කොට බැලිය යුතුය. එපමණක් නොව ශ්‍රී ලංකා තැපෑල පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය. මේ අනුව ජාවාරම සුළු පටු නැත. ජාවාරම නැවැත්වීමද පහසු නොවේ. පාතාලය බැඳී පවතිනුයේ කුඩු ජාවාරම සමඟය. කුඩු ජාවාරමුන් විවිධ පුද්ගලයන් හරහා මේ රට තුළ විවිධාකාරයෙන් ආයෝජනය කරමින් සිටින මොහොතක එය දකුණට පමණක් සීමා වේද? නැත. මෙය බූවල්ලකු මෙන් රට දැනටමත් වෙලාගෙන හමාරය.

• ගයාන් ගාල්ලගේ