2024 ජුනි 22 වන සෙනසුරාදා

ආරෝපිත කුලී ආදායම් බද්දෙන් ජනතාවට තවත් කැපිල්ලක්

 2024 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 37

යෝජිත ආරෝපිත කුලී ආදායම් බද්ද පිළිබඳ මේ දිනවල රටේ දේශපාලනඥයන් මෙන්ම පොදු මහජනතාව ද විවිධ අදහස් පළ කරන්නට පටන්ගෙන ඇත. මෙවැනි බද්දක් පැනවීමට යන බවට මෙතෙක් ජනතාව දැනුවත් කර නොතිබුණු අතර බලධරයන් පැවසුවේ ධන බද්දක් හෙවත් මරාල බද්දක් පනවන්නට යන බවයි. මේ ගැන මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය මගින් ජනතාවට පැවසීමට පටන්ගෙන තිබුණේ දැනට දීර්ඝ කාලයක සිටය. ධන බද්ද හෙවත් මරාල බද්ද අද ඊයේ පැනවූවක් නොව එදා සිංහල රජ දවස සිට දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූවකි. එහෙත් පසුගිය දින කිහිපය තුළ මෙම ධන බද්ද අහෝසි වී ඒ වෙනුවට ආරෝපිත කුලී ආදායම් බද්දක් ස්ථාපිත කිරීමට කටයුතු යෙදෙමින් පවතී.

මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත යෝජනා කළ බද්දක් වන අතර එය ක්‍රියාත්මක කිරීමට ආසන්නව තිබියදී රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පවසා ඇත්තේ ඇතැම් නීතිමය කරුණු හා ප්‍රායෝගික තත්ත්වය මත බද්ද පැනවීමට අපහසු බවය. පසුව මූල්‍ය අරමුදල ඒ වෙනුවට ආරෝපිත කුලී ආදායම් බද්දක් පැනවීමට නිර්දේශ කර ඇත. මෙය පනවන්නට යන්නේ පාරිභෝජනය කරන නිවාස සඳහා පමණි. මෙම නිවාසවල වටිනාකම ගණනය කර ඒ අනුව බදු ප්‍රතිශතය පැනවේ. මෙහි ආරෝපිත යනුවෙන් අදහස් කරන්නේ සත්‍ය ලෙස ලබාගන්නා ආදායම නොව ආරෝපණය කරන ලද හෙවත් විය හැකි යැයි ගණන් ගත් බද්ද මත බදු ගෙවීම් සිදු කළ යුතු වීමය. එය සත්‍ය ආදායම නොවන අතර මනඃකල්පිත ආදායමකි. මෙලෙස බදු අයකිරීම කොතරම් දුරට යථාර්ථවාදීද යන්න සොයා බැලිය යුතුය. ජනතාව මේ පිළිබඳව විවිධ අදහස් පළ කරනුයේ මෙම අවුල් සහගත තත්ත්වය නිසාය.

එක ගෙදරක් හිමි එහි පදිංචිව සිටින අයටද මෙම බද්ද ගෙවන්නට සිදුවේදැයි යන සැක සංකාව මේ වනවිට පැතිර පවතී. මේ වනවිට පළාත් පාලන සීමාවල ජීවත් වන ජනතාවගේ දේපළ සඳහා වරිපනම් බද්දක් ගෙවනු ලැබේ. එය සියයට 5 – 6 - 7 ආදී වශයෙන් එම පළාත් පාලන ආයතන මගින් අතුරු ව්‍යවස්ථා අනුව පනවන ලද බද්දකි. මෙම යෝජිත කුලී ආදායම් බද්දගෙවීමට සිදුව ඇත්තේ වරිපනම් බද්දට අතිරේකව නිසා එක දේපළක් සඳහා බදු දෙකක් ගෙවීමට ජනතාවට සිදුවේ. මෙම බද්ද යෝජනා කරන විට ඒ පිළිබඳ සැලකිල්ලක් දක්වා නොමැති බව පෙනෙන්නට තිබේ.

ආරෝපිත කුලී ආදායම් බද්ද ගෙවල් හිමියන්ට ගෙවන්නට සිදුවීම ඉතාම අසාධාරණ වන්නේ තමන් ඉතාම දුක් මහන්සියෙන් ගොඩනගාගත් නිවෙසකට වුවද ආණ්ඩුවට බදු ගෙවීමට සිදුවීමය. මෙය විශාල අපරාධයක් යැයි කියති. මෙම බද්ද නොගෙවන අයට අත්වන ඉරණම පිළිබඳ පනතේ සඳහන්ව ඇති නමුත් ඒ පිළිබඳ ජනතාව දැනුවත් කර නොමැත. වරිපනම් බදු නොගෙවන විට නම් නගර සභා මගින් චංචල හා නිශ්චල දේපළ තහනමට ගන්නා නමුත් කුලී ආදායම් බද්ද පිළිබඳ කිසිදු සඳහනක් නැත. මෙම බද්ද ගෙවිය යුත්තේ එක් නිවෙසකට වැඩි නිවෙස් ප්‍රමාණයක් හිමි අයට එම අතිරේක නිවෙස්වලට පමණක්ද යන්න පිළිබඳ ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයකි. පසුගිය සතියේ පාර්ලිමේන්තුවට සපැමිණි ජනාධිපතිවරයා පැවසුවේ බද්ද උරුම වන්නේ එක නිවෙසකට වඩා අයිති, එම නිවෙස් බද්දට හෝ කුලියට දී ඇති අයට බවය. එහෙත් ඔහුට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී එසේ පැවසුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එකඟ වී ඇති කොන්දේසි සටහන අනුව එක් නිවෙසක හිමිකරුවකුට වුවද මෙම බද්ද ගෙවන්නට වන බවය. මෙම තත්ත්වය මත සියල්ල අවිනිශ්චිත තත්ත්වයේ පවතී.

කෙසේ වුවද මෙලෙස වසර හතරක් ගතවන තුරු දිගටම බදු ගෙවීමට සිදුවන අතර, බදු කුලිය මත පදනම්ව බද්ද ගණනය නොකරන අතර අය කරනු ලබන්නේ ආරෝපිත බද්ද මතය. ආරෝපිත බද්දේ ප්‍රමාණය සත්‍ය වශයෙන් කුලීකරුවා ගෙවන බදු මුදලට වැඩි වුවහොත් එයින්ද හිමිකරුට සිදුවන්නේ අසාධාරණයකි. එසේම මෙම බද්ද ගණනය කිරීම පිළිබඳ පාරදෘශ්‍යභාවයක් නොමැති නිසා තමන්ට අසාධාරණයක් විය හැකි බවට පාරිභෝගිකයෝ සැක පහළ කරති.
ජනතාව අතර මේ පිළිබඳ ඇතිවූ කුතුහලය ඉවත් කිරීම සඳහා මුදල් හා ආර්ථික ස්ථායිකරණ අමාත්‍යංශය මේ වනවිට නිවේදන දෙකක් නිකුත් කර ඇත. එකකින් කියැවෙන්නේ මෙම බද්ද අය කරනුයේ ඉහළ වත්කම් සහිත පුද්ගලයන්ගෙන් පමණක් බවය. මෙහිදී සාමාන්‍ය ආදායම් ලබන පුද්ගලයන් විෂයෙහි අවධානය යොමු කර නැත. දේපළ අයත් ධනවත් පුද්ගලයන් මත පමණක් බද්ද පනවා ඇති බව කියයි. අනාගතයේදී ඒ සඳහා බදු නිදහස් සීමා පනවන අතර බද්ද ක්‍රියාත්මක කිරීමේ නෛතික ක්‍රියාදාමය ලබන වසරේ ඔක්තෝබර් සිට ක්‍රියාත්මක කෙරේ. මෙය අලුත් බදු ක්‍රමයක් නොවන අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබා දෙනු ලබන සිව් අවුරුදු මූල්‍ය පහසුකම් වැඩසටහනේ දෙවැනි සමාලෝචනය යටතේ නිකුත් කරන ලද වාර්තාවේ මෙම බද්ද ගැන යෝජනා කර තිබූ බව අමාත්‍යංශ නිවේදනයේ සඳහන්ය. නිවෙසක හිමිකරුවන් සිය නිවෙස කුලියට ලබා දෙන්නේ නම් ඔහුට ලැබෙන ආදායම අනුව එහි වටිනාකමට බදු අය කරන බවද මෙම නිවේදනයේ දැක්වේ.
මෙම බද්ද පිළිබඳ ජනතාව තුළ ඇතිව ඇති දුර්මත පහ කිරීමට යැයි දක්වමින් මුදල් අමාත්‍යංශය දෙවැනි නිවේදනයක්ද පසුගියදා නිකුත් කළේය. එහි සඳහන් වන්නේද මෙය හදිසියේ පැනවූ බද්දක් නොවන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මුලින් එකඟ වූ ක්‍රමවේදය අනුව පදනම් වූ බවකි. 2025 වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.2ක් සහ 2026 දී සියයට 0.4 ක ආදායමක් මෙම බද්ද තුළින් අපේක්ෂා කරන බවද බදු අය කරනුයේ ධනපතියන්ගෙන් පමණක් බවද යළිත් වරක් අවධාරණය කෙරේ.

කෙසේ නමුත් මෙම යෝජිත බද්ද අද හෙට ක්‍රියාත්මක නොවන අතර 2025 වසරේ අප්‍රේල්වල සිට පියවරෙන් පියවර ක්‍රියාත්මක වන බවද අමාත්‍යංශය කියයි. අනාගතයේදී මෙයට අවශ්‍ය සංශෝධන එකතු කිරීමට සිදුවනු ඇතැයි සිතෙන්නේ දැනටමත් මේ කෙරෙහි ජනතාව දක්වන ප්‍රතිචාර හේතුවෙනි.

ආරෝපිත කුලී ආදායම් බදු පනත පිළිබඳ කරුණු දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල පවසන්නේ මේ පනත පිළිබඳ ජනතාව කලබල විය යුතු නොවන බවයි. යම් ලෙසකින් මේ පනත අනුමත කරගෙන ක්‍රියාත්මක කරන්නට යන්නේ නම් එය ඉක්මනින් කළ හැකි දෙයක් නොවන අතර ඒ සඳහා වසර කිහිපයක් ගත විය හැකි බව ඔහු කියා සිටී. යෝජනා කරන හැටියටම නීතිගත කරන්න හැකිවේද යන්නද අවිනිශ්චිතය.

''ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුලදී පැවසුවේ දේපළ ආදායම් බද්දක් ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය බවයි. ඒ සඳහා අවුරුදු හතරක් තුළ බදු අය කරගත යුතු බවද පැවසුවා. එයින් ලැබෙන ආදායම රුපියල් බිලියන 1974ක් බවද ඇස්තමේන්තු කර තිබෙනවා. 2025 දී බිලියන 436ක් 2026 දී බිලියන 472ක් 2027 දී බිලියන 512ක් හා 2028 දී බිලියන 553ක් වශයෙන් ක්‍රමයෙන් ලැබෙන බදු ආදායම වැඩි වෙනවා.

දැන් රජය කියන්නේ දේපළ බද්ද ක්‍රියාත්මක කිරීමට අපහසු බවයි, පවතින නීතිරීති හා ක්‍රම අනුව. මෙම දේපළ බද්ද අනුව ඉඩකඩම්, ගෙවල් දොරවල්, යාන වාහන, බැංකු තැන්පතු සහ මුදල්ද ඇතුළත් වෙනවා. රජය ඇතැම් වෙලාවට තමන්ට අවශ්‍ය ඇතැම් පුද්ගලයන් අවිධිමත් ලෙස එකතු කළ ධනය මෙම ධන බද්ද තුළින් අනාවරණය වන බව දැනගෙන එයින් ගැලවීම සඳහා දේපළ බද්ද ක්‍රියාත්මක කිරීමට බැරි බව පවසනවා යැයි මේ පිළිබඳ ඇතැමුන් සැක පහළ කරනවා. ඒ නිසා ඒ වෙනුවට මූල්‍ය අරමුදලේ උපදෙස් පරිදි මෙම කුලී ආදායම් බද්ද ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. හැබැයි මෙයින් බදු අයකිරීම ධන බද්දට වඩා අමාරුයි. සංකීර්ණයි. එසේම මෙය කරන්නේ පදිංචි ගෙවල්වලට පමණයි. එකකට වැඩියෙන් තියෙන ගෙවල්වලට පමණක් බදු වදින බව ජනාධිපති ප්‍රකාශ කළා. අයි.එම්.එෆ්. වාර්තාවේ තියෙන්නේ වටිනාකම අනුව බදු අය කරන බවයි. එහෙත් ඒ පිළිබඳ පැහැදිලි නිගමනයක් නැහැ.

කොහොම වුණත් මේ බද්ද ක්‍රියාත්මක වන්නේ 2025 සිටයි. එනම් ජනාධිපතිවරණයෙන් පසුවයි. බලයට පත්වන ආණ්ඩු මෙය කෙසේ ක්‍රියාත්මක කරයිද කියලා දැන්ම සිට කියන්න බැහැ. කෙසේ වුණත් මෙය හරියට කළොත් අවිධිමත් ලෙස මුදල් ඉපැයූ අයත් මෙමගින් අනාවරණය කරගත හැකියි.

මේ බද්ද සමඟ තවත් බදු වර්ග හතරක් අවුරුදු හතරක් තුළ ක්‍රියාත්මකයි. ඒ සියල්ලෙන් රුපියල් බිලියන 1500 – 2000 අතර ආදායමක් අපේක්ෂා කරනවා. සේවා අපනයන බද්ද ක්‍රියාත්මක වෙනවා. ඔට්ටු, ක්‍රීඩා, දුම්කොළ බදු අද පවතින සියයට 40 ප්‍රමාණය 45 බවට පත් කරන්නට යෝජිතයි. පවතින විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වැට් බද්ද බවට පරිවර්තනය කිරීමට ඉල්ලීම් කර තිබෙනවා. එසේම ඩිජිටල් සේවාවලට වැට් බදු පැනවීමට මෙන්ම වාහන සහ සේවා බදුවල උපරිම සීමා ඉවත් කරන ලෙසද යෝජනා කර තිබෙනවා. මේ සියල්ල මගින් අපට අහිමිවන දේපළ බද්දට සමාන ආදායමක් උපයාගත යුතු වෙනවා.

මෙලෙස වසර 4ක් තුළ බිලියන 4000ක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කළත් මෙය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකිද යන්න පිළිබඳ ගැටලු තියෙනවා. අපේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහ මෙයට වගකිවයුතු රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව අනුව මෙම ආදායම් අපේක්ෂිත ඉලක්කවලට ළඟා කරගත හැකිද යන්නද සැක සහිතයි. මොන බද්ද පැනවුවත් එය එකතු කර ගැනීමයි ගැටලුව වන්නේ. දැනටමත් පවතින බදු නිසි පරිදි එකතු වන්නේ නැහැ. එසේ තිබියදී අලුත් බදු ක්‍රියාත්මක කිරීම එම ආයතනවලට තවත් බරක් එල්ලීමක් පමණයි වෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බදු ආදායම ඉහළ නංවන්න කියනවා මිස අලුත් බදු වර්ග පනවන ලෙස උපදෙස් දෙන්නේ නැහැ. එය කරන්නේ අපේ ආණ්ඩුවයි. ඒ අය කරන්නේ හිඟ බදු අයකර ගැනීමට උත්සාහ නොකර අලුතෙන් බදු වර්ග නිර්මාණය කිරීමක්. පවතින බදු නිවැරදිව එකතු කරගෙන අපේක්ෂිත බදු ඉලක්කවලට ළඟා වන්න පුළුවන් නම් අරමුදල එයින් සෑහීමකට පත් වෙනවා. පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය වූයේ හිඟ බදු බිලියන ලක්ෂ 100ක් පමණ ඇති බවයි. රජය මේවා අයකර ගන්න උනන්දු වන්නේ නැහැ. බදු වැඩියෙන් හිඟ තබා ඇත්තේ මහා ධන කුවේරයන්. ඒ සමහර අය ආණ්ඩුවට සම්බන්ධ කොටස්. ඉතින් ආණ්ඩුව කැමති නැහැ ඒ අයට රිද්දවීමට. අලුත් බදු පැනවූ විට එයින් හිරිහැරයට පත්වන්නේ දුප්පත් ජනතාවයි. හාල්මැස්සන් බදු දැලට හසුවන අතර තෝරු මෝරුන් රිංගා යනවා. මෙය අද ඊයේ සිදුවූවක් නොව නිදහස ලැබූ දා සිට සිදුවෙමින් තිබී වර්තමානය වනවිට උග්‍ර අවස්ථාවට පත්ව තිබීමක්. මගේ අදහස නම් අලුතින් බදු වර්ග පනවා ජනතාව හිරිහැරයට ලක් නොකර පවතින බදු හරියට අයකර ගන්නවා නම් බලාපොරොත්තු වන ආදායම ලබාගත හැකිවන බවයි.

ආරෝපිත කුලී ආදායම් බද්ද හා අනිත් බදු වර්ග හතර අයකර ගැනීමේ සැලසුම 2028 දක්වා ඉදිරියට යනවා. ඒ කාලය තුළ කුමන ආණ්ඩු බලයට පත්වුවත් මෙය ඉටු කළ යුතුයි. මගේ අදහස නම් තව තවත් බදු වර්ග වැඩිකර මෙය සංකීර්ණ කරනවාට වඩා මුලින් පනවන බව පැවසූ දේපළ බද්ද පමණක් පැනවූවා නම් වඩාත් සාර්ථක වන බවයි. එහෙත් ආණ්ඩුව මූල්‍ය අරමුදලට දන්වා ඇත්තේ එය කරන්න අපහසු බවයි. අදාළ ආයතනවල සහාය නිසි පරිදි ගන්නවා නම් මෙය ඉටු කරන්න බැරි නොවන බවයි මගේ අදහස වන්නේ. මෙම ආරෝපිත බද්ද වුණත් ඉදිරියේදී බලයට පත්වන ආණ්ඩු අනුව වෙනස් විය හැකියි. ඒ නිසා මෙය යෝජිත ආකාරයෙන් නිච්චියටම ක්‍රියාත්මක කළ හැකි යැයි සහතික වන්න බැහැ. එබැවින් ජනතාව මේ පිළිබඳ කලබල විය යුතු නැහැ. සියල්ල කාලයට ඉඩ දී බලා සිටිය යුතු වෙනවා.''
 යසවර්ධන රුද්රිගූ