2024 ජුනි 22 වන සෙනසුරාදා

කතෝලික සභාවත් පිළිනොගන්නා අලුත් පාස්කු කමිටුව

 2024 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 13

2019 අප්‍රේල් 21 පාස්කු ඉරු දින සිදුවූ බෝම්බ ප්‍රහාර පිළිබඳ ලැබුණු පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කමිටුවක් පත් කර තිබේ. ඒ අනුව විශ්‍රාමික විනිසුරු ඒ.එන්.ජේ. ද අල්විස් මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු එම විමර්ශන කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණි නිලධාරිනී කේ.එම්.කේ. සෝමරත්න මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ එම්.ඒ.එන්. නිෂේන් මහතාය. ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සරතාංජලී මනොහරන් මහත්මිය කමිටුවේ ලේකම්වරිය ලෙස පත්කොට තිබේ. ඉන්දීය බුද්ධි අංශ මගින් ලබාදුන් තොරතුරු මත පදනම්ව ගනු ලැබූ ක්‍රියාමාර්ග මෙන්ම වව්නතිව් හිදී සිදුවූ ඝාතනවලට එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධ බවට හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පෙර සිදුකර තිබූ අනාවරණය පිළිබඳව ද මෙම කමිටුව විසින් විමර්ශනය කිරීමට නියමිත බව පැවසේ. අදාළ කමිටු වාර්තාව එළඹෙන සැප්තැම්බර් 15 වැනිදා වන විට අවසන් කළ යුතු බවද සඳහන්ය.  

2019 අප්‍රේල් 21, පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි පල්ලි තුනක් සහ කොළඹ පිහිටි සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කර සහරාන් ප්‍රමුඛ ඉස්ලාමීය මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් ප්‍රහාර මාලාවක් සිදු කළහ. එම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 273 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 500 කට අධික පිරිසක් තුවාල ලැබූහ. පැවැති ආණ්ඩුව මෙන්ම වර්තමාන ආණ්ඩුවෙන්ද අගතියට පත් පිරිසට සාධාරණයක් මෙතෙක් ඉටු නොවුණු අතර එම ප්‍රහාරයට වගකිවයුත්තන් තවමත් නිදැල්ලේ සිටින බවට අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ විවිධ අවස්ථාවන්හිදී ප්‍රකාශ කළහ. 

තමන්ට වූ අසාධාරණයට සාධාරණ විමර්ශනයක් ඉල්ලා කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් ඇතුළු කතෝලික ප්‍රජාව අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කළ අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන කිහිපයක්ම සිදු කළ ද ඒවායේ නිර්දේශ අද වන තෙක් ක්‍රියාවට නැංවීමට පැවති සහ පවතින ආණ්ඩු කටයුතු කළේ නැත. ජනාධිපතිවරුන් තිදෙනකු යටතේ, ආණ්ඩු විසින් කරන ලද පරීක්ෂණවලින් පසුව පවා, මෙම ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න පිළිබඳ සත්‍ය හෙළිවී නොමැත. ඒ සම්බන්ධයෙන් යම් විසඳුමක් ලබා දී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි. වින්දිතයන්ට නීතිමය සහන සැලසීම සඳහා රජය විසින් නිසි විමර්ශනයක් ආරම්භ නොකිරීම හේතුවෙන්, කතෝලික සභාව සහ තවත් පුරවැසියන් පිරිසක් එක්ව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන ලදී. එහිදී විමර්ශන වාර්තා අධ්‍යයනය කිරීමෙන් පසු, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව්දෙනෙක්, තමන්ට ලැබුණු බුද්ධි තොරතුරු මත ක්‍රියා නොකිරීමේ නොසැලකිලිමත්කම සම්බන්ධයෙන් වරදකරුවෝ කරනු ලැබූහ. ඔවුන් සියල්ලන්ටම රුපියල් මිලියන ගණනක දඩ මුදල් පනවනු ලැබීය. එහෙත් පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුරුන්ද යන්න මෙතෙක් හෙළිදරව් වී නොමැත. 2024 අප්‍රේල් 21 දිනට පාස්කු ප්‍රහාරය සිදු වී වසර පහක් සම්පූර්ණ විය. පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවේ පසුවන හෝ අධිකරණ හමුවේ නඩු පවරනු ලැබ සිටින හෝ සැකකරුවන් බහුතරය ප්‍රහාරය සිදුවී පළමු සති දෙක තුළදී අත්අඩංගුවට පත් වූ පිරිසකි.

ප්‍රහාරයක් සිදුවිය හැකි බවට තොරතුරු බුද්ධි අංශවලට ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කිසිදු පියවරක් ගැනීමට උත්සුක නොවුණද ප්‍රහාරය සිදු වූ වහාම සිද්ධියට අදාළ සැකකරුවන් ගණනාවක් අත්අඩංගුවට ගැනීමටත් සහරාන්ගේ ත්‍රස්ත ජාලය අනාවරණය කර ගැනීමටත් ආරක්ෂක අංශවලට හැකි විය.  

මෙම ප්‍රහාරය පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වූ බවට චෝදනා එල්ල විය. ඊට මුල් වූයේ "දේශපාලන බලය ලබාගැනීම සඳහා පුද්ගලයන් 269ක් ඝාතනය කළාද?” යන ප්‍රශ්නය මතු කරමින් ඉදිරිපත් කළ චැනල් 4 නාලිකාවේ වීඩියෝව නිකුත් වීමත් සමඟිනි. එය දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද දැඩි අවධානයට යොමු විය. මෙම ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න කියා සිටියේ සිංහල බෞද්ධ නායකයකු පත් කිරීමට ඉස්ලාමිකයන් අට දෙනකු දිවි පුදනු ඇතිදැයි කියාය.

“සමාජයේ ඇතැම් කොටස් කියාගෙන යනවා රජය බලයට පත්වුණේ පාස්කු ප්‍රහාරය විකුණගෙන කියලා. දැන් මෙතැන චෝදනාව එල්ල වෙන්නේ ජනාධිපතිවරයා බලයට පත් කිරීම සඳහා මෙම කුමන්ත්‍රණයක් සිදුවුණා කියලා. මට අහන්න තියෙන්නේ සිංහල බෞද්ධ කෙනෙක්ව රටේ නායකයා කරන්න ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම ආගමක් වන ඉස්ලාම් ධර්මය වැරදි විදිහට අර්ථකථනය කරලා, මොළය විකල් කරපු ඉස්ලාම් ආගම අදහන අට දෙනෙක් ජීවිත පූජා කරයි ද කියලයි.'' යනුවෙන් සඳහන් කර තිබිණි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මලල්ගොඩ කොමිසම මගින් ද, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මගින් ද, විශේෂ ජනාධිපති කොමිෂන් සභාව මගින් ද තම අවසන්  විමර්ශන වාර්තා මගින් නිර්දේශ රුසක් ඉදිරිපත් කර තිබුණද ඒවා ක්‍රියාත්මක නොකර ජනාධිපතිවරයා තවත් කොමිසමක් පත් කිරීම විහිළු සහගත ක්‍රියාවක් යැයි කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා සඳහන් කරයි. මෙම නව නාටකය එළඹෙන ජනාධිපතිවරණය මූලික කරගෙන රඟ දක්වන්නක් බවද උන්වහන්සේ පෙන්වා දෙයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස තබාගෙන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිසියේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස තබාගෙන, සුරේෂ් සලේ බුද්ධි ප්‍රධානියා ලෙස තබාගෙන සිටින ජනාධිපතිවරයා තවත් කමිටුවක් පත් කරන්නට කටයුතු කරන්නේ කුමක් සඳහාද යන්න පිළිබඳව සැකයක් පවතින බවද එබැවින් මෙම කමිටුව කතෝලික සභාව විසින් පිළි නොගන්නා බවද පියතුමා සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාව මගින් ලබා දුන් නිර්දේශ එකක්වත් රජයවත් නීතිපතිවරයාවත් ක්‍රියාත්මක කරල නැහැ. මෙම ජනාධිපති කොමිෂන් සභාවලටත්, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවටත් ජනතාවගේ මුදල් කෝටි ගණනින් වියදම් කර තිබෙනවා. ඒ සඳහා විශාල කාලයක් කැප කරල තියෙනවා දැන් නැවත වතාවක් මේ .සම්බන්ධයෙන් විමර්ශනය කරන්න තුන් දෙනකුගෙන් යුතු කමිටුවක් පත් කරලා. ඒක කිසිම තේරුමක් නැති විහිළුවක් විදිහටයි අපි දකින්නේ. මේ කමිටුව අපි පිළිගන්නේ නැහැ. නිලන්ත ජයවර්ධන, සුරේෂ් සලේ සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැනි අය තමයි මේ කමිටුව ඉදිරියේ විමර්ශනයට ලක්වන්නේ. මේ අයව එම ධුරයන්වල තබාගෙන ඒ අය සම්බන්ධව ස්වාධීන හා සාධාරණ විමර්ශනයක් කරන්න පුළුවන්ද? මේ සම්බන්ධව ස්වාධීන විමර්ශනයක් කරන්න මේ කමිටුවට පුළුවන්කමක් නැහැ. මේ අයගේ ධුරවලින් ඔවුන් ඉවත් කරලා එහෙම නැතිනම් ඔවුන්ගේ සේවය අත්හිටුවලා ස්වාධීන පරීක්ෂණයක් සිදුවිය යුතුයි. මෙම කමිටුව පිහිටුවීම අවංක චේතනාවකින් කළ දෙයක් නොවෙයි. මේක මැතිවරණය ඉලක්ක කරගෙන මිනිසුන් රවටන්නට කරන දෙයක්ද කියන සැකය අපිට තිබෙනවා. මාස තුනක් ඇතුළත අවශ්‍ය නීති රීති පාර්ලිමේන්තුවේ සම්මත කරලා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කරුණු විභාග කරල ඒ අනුව නඩු පැවරීමට බලය ඇති විශේෂ නිලධාරියෙක් සහ කාර්යාලයක් ස්ථාපනය කරන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඒ කියන්නේ Special prosecutor කෙනෙක් පත් කරන ලෙසයි අපේ මූලික ඉල්ලීම. ජනාධිපතිවරණයට ඉල්ලන ඕනෑම පක්ෂයක අපේක්ෂකයකුට අපි ඉදිරිපත් කරන යෝජනාව මේකයි. එහෙම නැතුව නිකම් මුදල් නාස්ති කරමින් තවදුරටත් කල් මරමින් මිනිසුන්ගේ මුදල් නාස්ති කරන්න එපා කියල අපි කියනව.'' යනුවෙන් සඳහන් කළේය.

ජනාධිපති කොමිෂන් වාර්තාව අනුව එම සිදුවීමට සති කිහිපයකට ඉහත නිලන්ත ජයවර්ධනට ඉන්දියාවෙන් ලද බුද්ධි තොරතුරු අනුව පොලිසියද, බුද්ධි අංශයද ඉහළ නිලධාරින්ද ක්‍රියා කළ ආකාරය පිළිබඳව දීර්ඝ විමර්ශනයක් සිදුව ඇති බවද ඒ අනුව එම කොමිසම නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර ඇතැයි ද සඳහන් කළ පියතුමා, නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් දණ්ඩනීති සංග්‍රහය යටතේ අපරාධ නඩුවක් ගොනු කරන ලෙසට නීතිපතිවරයාට නිර්දේශ කර ඇති නමුදු එම නිර්දේශ ක්‍රියාවට නැංවීමට අපොහොසත් වී ඇතැයි ද සඳහන් කළේය.

''මෙම නිර්දේශ ක්‍රියාවට නංවමින් එම පුද්ගලයන්ට නඩු පැවරුවා නම් සත්‍ය හෙළිදරව් කර ගැනීම එතරම් අපහසු වන්නේ නැහැ. එම නිලධාරින් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා. වන්දි ගෙවිය යුතු යැයි තීන්දු කළා. නිලන්ත ජයවර්ධන ඇතුළු පොලිස් නිලධාරින්ට විනය ක්‍රියාමාර්ග ගන්න කියලා නිර්දේශ කළා. ඒ කිසිවක් සිදු වුණේ නැහැ. එවැනි තත්ත්වයක් යටතේ තවත් කමිටුවක් පත් කිරීමේ ඇති ප්‍රතිඵලය කුමක්ද? ජනාධිපතිවරයාගේ උත්සාහය අවංක නම් ඔහු කළ යුත්තේ ඉහත කී නිර්දේශ ක්‍රියාත්මක කිරීමයි. ඊට උපදෙස් ලබා දී එම උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක වනවාදැයි සොයා බැලීමයි.'' යනුවෙන් සිරිල් ගාමිණී පියතුමා සඳහන් කළේය.

• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා