2024 ජුනි 22 වන සෙනසුරාදා

පොසොන් සමයේ අනුරපුර යන බැතිමතුන් දැනගත යුතුම මහා විහාරය

 2024 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 108

''පොසොන් පුන් පෝදා සිදුවූ මහින්දාගමනයත් සමඟ ඇතිවූ සංසිද්ධිය තමයි රාජ්‍ය අනුග්‍රහයෙන් බුද්ධාගම ස්ථාපිත කිරීම. ඒ සමඟම ලංකාවේ පළමු විහාරය වශයෙන් අනුරාධපුර මහා විහාරය ආරම්භ කිරීම සිදුවෙනවා. ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි මහා සෑය මුල්කරගෙන අද මහා විහාරය පවතිනවා. පොසොන් පෝය වෙනුවෙන් පොසොන් උත්සව කමිටුව ජූනි 18-24 දක්වා පොසොන් සතියක් ප්‍රකාශ කර තිබෙනවා. මේ වෙනුවෙන් ශ්‍රී මහා බෝධියේ සති පිරිතක් පවත්වනවා. මිහිඳු හිමියන් බුදුදහම හඳුන්වාදීමෙන් අධ්‍යාත්මික පෝෂණයට තමයි මුල් තැන දුන්නේ. එය සිහිපත් කරමින් ආමිස පූජාව කරන අතරම ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දී කටයුතු කරනවා. සීල වැඩසටහන් සහ භාවනා වැඩසටහන් මෙවර මහා විහාරය බිමේ සංවිධානය කර තිබෙනවා.

මෙවර පොසොන් සතියේ දස ලක්ෂයක් පමණ ජනතාව අනුරාධපුරයට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ඔවුන් වෙනුවෙන් පහසුකම් සැපයීමට පොසොන් කමිටුව සූදානමින් සිටිනවා.'' යැයි අප සමඟ අදහස් දක්වමින් පැවසුවේ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ වෙති. 

මිහිඳු හිමියන් විසින් ලංකාවේ පිහිටුවන ලද ප්‍රථම විහාරය මහමෙව්නා උයනේ   තිස්සාරාමය ලෙසින් ආරම්භ වන අතර පසුව මහා විහාරය බවට පත්ව නව විහාර සම්ප්‍රදායයක් පිහිටුවන්නේ එම ආරම්භයයි. මුටසිව රජු විසින් සකස් කර තිබූ මහාමේඝ නම් රාජකීය උද්‍යානය මහින්දාගමනයෙන් පසු දේවානම්පියතිස්ස මහ රජු විසින් මිහිඳු හිමියන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලාට පුජා කරන ලද බව මහාවංශයේ විස්තරාත්මකව දැක්වේ.

පසුදින උදයේ සමන්මල් වට්ටියක් රුගෙන මිහිඳු මහ රහතන් වහන්සේ බැහැදැකීමට පැමිණි රජතුමාට මහාවිහාරය තුළ පිහිටිය යුතු විහාරාංග පිළිබඳව ද මිහිඳු මහ රහතන් වහන්සේ උපදෙස් දුන්හ. පසුව රජුගේ ද සහාය ලබා ගනිමින් මංගල හස්තියා ලවා ස්වර්ණමය නඟුලකින් සීමා සම්මත කිරීම සිදුකෙරිණි. රජු මහමෙවුනා උයන, රන් කෙණ්ඩියකින් පැන් වත්කොට මිහිඳු මහ රහතන් වහන්සේට පූජා කළේය.  

මහාවංශයට අනුව මිහිඳු මාහිමි දඹදිව සිට ලංකාවට පැමිණියේ ක්‍රි.පූ. 236 පොසොන් පුන් පොහෝ දිනයි. අනුරාධපුර මුල් කරගත් මහාවිහාරය ශ්‍රී ලංකාවේ ප්‍රථම භික්ෂු මූලස්ථානය ලෙසින් මෙන්ම බෞද්ධාගමික හා සංස්කෘතික නිජභූමිය ලෙසින්ද හැඳින්වීමට පුළුවන. ථෙරවාදී බුදුදහම මෙරටට හඳුන්වාදීමෙන් පසු සංවර්ධනය වී ලංකාව පුරා පැතිරෙමින් ස්ථාවරත්වයට පත්වනුයේ අනුරාධපුර මහාවිහාරය කේන්ද්‍රගත කරගනිමිනි.  

මිහිඳු හිමියන් විසින් නම්කළ පූජනීය ආගමික ස්ථාන අටක් පිළිබඳව දීපවංශය, මහවංශය, සිංහල බෝධිවංශය, පූජාවලිය, සද්ධර්මාලංකාරය, සද්ධර්ම රත්නාකරය ආදී ඓතිහාසික කෘතිවල සඳහන් වේ. ඒවා නම්, තිස්සාරාමය, සංඝයා වහන්සේලාගේ විනය කර්ම කරන කම්ම මාලකය, ජන්තාඝර පොකුණ, ශ්‍රී මහා බෝධිය පිහිටුවන ස්ථානය, පෝය ගෙය, ලහබත්ගෙය, දාන ශාලාව හා රුවන්වැලි සෑය පිහිටුවන තැන ආදියයි. ඒවා අතරින් ප්‍රමුඛස්ථානය හිමිවන්නේ පසුකාලීනව පිහිටවූ ශ්‍රී මහා බෝධියට හා රුවන්වැලි මහා සෑයටයි.

10 වැනි සියවස වන විට මහා විහාර භූමියේ ඉතා වැදගත් ස්ථාන පිහිටා තිබූ අන්දම පාලි මහා බෝධීවංශයේ සඳහන් වේ. මේ ස්ථාන පිහිටා ඇත්තේ සිංහ වික්‍රාන්තිය නම් වූ ක්‍රමවේදයකට අනුව වේ. සිංහ වික්‍රාන්තිය යනු, සිංහයකු දකුණු පසට ආපසු හැරී බලන විට උගේ දෘෂ්ටිය වැටෙන සහ ඒ ඒ අංග පිහිටන ස්ථාන වේ. මහාචාර්ය ටී.ජී. කුලතුංග එම ස්ථාන ගැන සඳහන් කරන්නේ මෙලෙසිනි.

01. සිංහයාගේ වාලාධිය පිහිටි තැන - ශ්‍රී මහා බෝධිය
02. දකුණු පාදය පිහිටි තැන - ලෝවාමහාපාය
03. වම් පාදය පිහිටි තැන - සන්නිපාත ශාලාව
04. නාසය පිහිටි තැන – ධාතුඝරය
05. වම් ඇලය පිහිටි තැන – රංසිමාලකය
06. දකුණු අත පිහිටි තැන – දානශාලාව
07. වම් අත පිහිටි තැන – රුවන්වැලි සෑය
08. උගුර පිහිටි තැන – කණ්ඨ පොකුණ
09. දෘෂ්ටිය වැටෙන තැන – පිළිමගෙය

අදත්, ශ්‍රී මහා බෝධිය අසලින් ගමන් අරඹා මහාවිහාරය භූමියේ සංචාරය කරන්නකුට මේ ස්ථානවලින් වැඩිම ප්‍රමාණයක් හඳුනාගත හැකි වේ. ශ්‍රී මහා බෝධිය අසල සිට රුවන්වැලි මහා සෑයට යන මඟ, දකුණුපස ලෝවාමහාපාය දැකගත හැකිය. ඒ ඉදිරිපිට පාරේ වම්පස පිහිටි චතුරශ්‍රාකාර ශෛලමය ගොඩනැගිල්ල රංසිමාලකය හෙවත් සන්නිපාත ශාලාවය. බෝධිවංශයේ සඳහන් වන්නේ මහාවිහාර දාන ශාලාව රුවන්වැලි සෑයට නැගෙනහිරෙන් පිහිටි බවය. අදත් එම ස්ථානයේ පුරාවිද්‍යා සංරක්ෂණයට ලක්වූ දාන ශාලාවක් දැකගත හැකිය. පැත්තක් අඩි 131ක දිගකින් යුත් සම සතරුස් වූ ගොඩනැගිල්ලකි. එහි පසෙක විශාල බත් ඔරුවකි. එහි බත් ඔරුව යන අදහස දෙන බත්නව යන්න කොටා තිබේ. 

මෙහි සඳහන් පොකුණ ශ්‍රී මහා බෝධියට උතුරින් රුවන්වැලි සෑයත් බෝධියත් අතර නටබුන්ව පිහිටි පොකුණු දෙකෙන් එකක් ලෙස සැලකේ. මේ ස්ථාන පසුකර තවත් ඉදිරියට ගිය විට පාරේ දකුණුපස මහා විහාරයේ දාන ශාලාව සහ වම්පස රුවන්වැලි මහා සෑය දැකගත හැකි වේ. ථූපාරාමය පිහිටා ඇත්තේ මහමෙවුනා උයනට උතුරින් තිබෙන නන්දන උයනේය. 

අනුරාධපුර යුගයේ අවසාන භාගයේ රචනා වූ ග්‍රන්ථවල මහාවිහාරයේ වූ ප්‍රධාන බුදු පිළිම ගෙයක් ගැන සඳහන් වෙතත් මෑතක් වනතෙක් මහාවිහාර භූමියෙන් එකදු බුදුපිළිම ගෙයකවත් නටබුන් හමුවී නොතිබුණි. පසුගියදා කළ පුරාවිද්‍යා කැණීමකින් ලෝවාමහාපායේ ගිනිකොනදිග මුල්ලට පිටතින් ඒ ආසන්නවම හා දකුණු දෙසට වන්නට පිහිටා ඇති පිළිම ගෙයක නටබුන් මතු විය.  

පිළිමගෙය පිළිබඳ ප්‍රථමයෙන් සඳහනක් දක්නට ඇත්තේ ක්‍රි.ව. 10 වැනි සියවසේ දී රචිත පාලි මහා බෝධිවංසයේය. ක්‍රි.ව. 12 වැනි සියවසේ ඒ සඳහා රචිත මහා බෝධිවංස ග්‍රන්ථිපද විවරණයේත් දේවානම්පියතිස්ස රජතුමා සිංහ වික්‍රාන්තියෙන් (ගමන් කරන සිංහයා දකුණු පැත්තට හැරී පිටුපස බැලීම) යුක්තව මහා විහාරයේ ඉදි කිරීම් කළ බව සඳහන් වේ. 

මෙහි සඳහන් ධාතුන් තැන්පත් කර වන්දනාමාන කළ ධාතුඝරය මේ දක්වා හඳුනාගෙන නැත. 

අද අනුරාධපුරයට යන වැඩි දෙනකුට මහා විහාරය කුමක්දැයි අවබෝධයක් නැත. මහා විහාරය බවට පත්වූ මහමෙව්නා උයන වැටකින් ආරක්ෂා කර තිබුණු බව 4 වැනි සියවසේ ලියැවුණු දීපවංශයේ සඳහන්ය. දෙවැනි භාතිකතිස්ස රජු එය වටා ප්‍රාකාරයක් ඉදි කළේය.  මහා විහාරයේ උතුරු සීමාව ථූපාරාමයට ආසන්නව රුවන්වැලි සෑය දෙසට ව්‍යාප්තව පැවතුණි. බටහිර දෙසින් සීමාව වුණේ අභය වැව (බසවක්කුලම) ය. දකුණු සීමාව ශ්‍රී මහා බෝධියත් දකුණු දාගැබත් අතර පිහිටා තිබෙන්නට ඇති බව මහාචාර්ය ටී.ජී. කුලතුංග සඳහන් කරයි. නැගෙනහිර මායිම වූයේ ජේතවන විහාර බිම වෙන්කෙරෙන හාල්පානු ඔය හා වටරවුම් පාර අසලින් දිවෙන නටබුන් ප්‍රාකාරයයි. 

මහාවිහාරික භික්‍ෂූන් වහන්සේලා නිසා මෙරටට විශාල ශාසනික මෙහෙවරක් සිදුවිය.   දුටුගැමුණු රජ දවස, මෙරට එළාර නම් සොළී රජුගෙන් රට බේරා ගැනීමට පෙරමුණ ගත්තේ මහා විහාරික මහා සංඝයා වහන්සේලා බව ඉතිහාසයේ සඳහන් වේ. දකුණු සිරිලක වැඩසිටි උන්වහන්සේලා, ගැමුණු රජුගේ සේනාවට ඉදිරියෙන් පිරිත් දේශනා කරමින් වැඩම කරවා තිබේ. වළගම්බා රජු දවස මහාවිහාරික භික්‍ෂූන් වහන්සේලා රජතුමාගේ අනුග්‍රහයෙන්, මාතලේ අළුවිහාරයේ දී මහා ධර්ම සංඝායනාවක් පවත්වා ග්‍රන්ථාරෑඪ කර තැබූහ.  

පසුකාලීනව, මහාවිහාරයේ භික්ෂූන් සමඟ අභයගිරි සහ ජේතවන විහාරික මහායාන භික්‍ෂූන් වහන්සේලා ඇතිකරගත් ගැටලු නිසා මහා විහාරික භික්‍ෂූන් වහන්සේලා   දුෂ්කරතාවලට මුහුණ දී තිබෙව බව ඉතිහාසයෙන් හෙළි වේ. මහායානයට අනුග්‍රහය දැක්වූ මහසෙන් රජ දවස මහාවිහාරයේ උපෝසථාගාරය වූ ලෝවාමහාපාය බිමට සමතලා කර ඇතුන් ලවා සීසා උඳු වපුරා ඇති බව සඳහන්ය. 

බුද්ධඝෝෂ නම් වූ මහා බහුශ්‍රුත භික්‍ෂූන් වහන්සේ ධර්ම ග්‍රන්ථ සොයා, අනුරාධපුර මහාවිහාරයට පැමිණ ඇත්තේ එය ධර්මය ආරක්ෂා වී පැවති තැනක් වූ හෙයිනි.     පස්වැනි සියවසේ දී මහාවංශය රචනා කර ඇත්තේ ද මහාවිහාරයට අයත් ‘මහානාම’ නම් භික්‍ෂූන් වහන්සේ නමකි.  

එදා මහා විහාර භික්ෂූන් බුදුදහම රුකගත් සේම අදත් විවිධාකාරයෙන් බුදුදහමට එරෙහි කුමන්ත්‍රණ ක්‍රියාත්මක වේ. එක් පිරිසක් බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුණු බව පවසමින් බණ කියමින් ඓතිහාසික මූලාශ්‍රවලට නිගා කරති. තවත් පිරිසක් මහායාන හැසිරීම් සහිත විහාරවලට රොක් වෙමින් තුටුපහටු වෙති. තවත් සමහරු දේශනවලදී බුදුහිමියන්ට නිග්‍රහ කරති. මේ නිසා අධ්‍යාත්මික ගුණ වඩන නිර්මල බුදුදහමේ ආරක්ෂාව ගැන නායක භික්ෂූන් වහන්සේ මෙන්ම බලධාරින් ද අවධානය යොමුකළ යුතු වේ.

• කුසුම්සිරි විජයවර්ධන‍
• සේයාූ - අන්තර්ජාලයෙනි