2024 ජුනි 22 වන සෙනසුරාදා

දේශීය කර්මාන්තකරුවා ලෝකයට රැගෙන යන Industry EXPO

 2024 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 13

නිෂ්පාදන ආර්ථිකය බලගැන්වීමේ අරමුණ ඇතිව දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම උදෙසා කර්මාන්ත අමාත්‍යාංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) හා එක්ව අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අනෙකුත් ආයතන, වෙනත් රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශයේ සහයෝගීතාවයෙන් සංවිධානය කළ "Industry EXPO 2024” ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලා පරිශ්‍රයේ මේ වන විට පැවැත්වෙමින් තිබේ. ව්‍යවසායකත්වය පිළිබඳ නිරතව සාකච්ඡා කරමින් සිටින අපට මෙය කිසිසේත්ම මගහැර යා නොහැකි සුවිශේෂී අවස්ථාවකි.

ශ්‍රී ලංකාවේ සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රයම ආවරණය වන පරිදි නිෂ්පාදන අංශ 25 ම නියෝජනය කරමින් ක්ෂුද්‍ර, සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ කර්මාන්තකරුවන් සම්බන්ධ කර ගනිමින් පවත්වන මෙම දැවැන්ත ප්‍රදර්ශනය ප්‍රදර්ශන කුටි 1307 කින් සමන්විතය. ඒ අනුව මෙය ඉතිහාසයේ පැවැත්වෙන දැවැන්තම කර්මාන්ත ප්‍රදර්ශනයක් ලෙස හැඳින්වීමේ හැකියාව පවතී.

කර්මාන්තකරුවන් දිරිගැන්වීම, කර්මාන්ත සඳහා නව තාක්ෂණය හඳුන්වා දීම, නවෝත්පාදන දිරිගැන්වීම, වෙළෙඳපොළ අවස්ථා උදා කර දීම මෙන්ම දේශීය හා විදේශීය ව්‍යවසායකයන්, සැපයුම්කරුවන්, ගැනුම්කරුවන් යන සියලු දෙනා ඒකරාශී කර ගැනීම මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනයේ අරමුණයි. සැබැවින්ම මෙම කර්මාන්ත ප්‍රදර්ශනය හරහා කර්මාන්ත ක්ෂේත්‍රය තුළ මනා සම්බන්ධීකරණයක් නිර්මාණය වීමත්, නව අවස්ථා ජනිත වීමත් සිදුවන බව පැහැදිලිය.

මෙවර Industry EXPO 2024 ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ඉන්දියාව, බංගලිදේශය, චීනය, සිංගප්පූරුව, මැලේසියාව ඇතුළු රටවල් 23ක් නියෝජනය කරමින් ප්‍රදර්ශන කුටි 38ක් ඉදිරිපත් කර තිබීම ඉතා සුවිශේෂී තත්ත්වයකි. දේශීය කර්මාන්තකරුවා ඊළඟ අදියරට රුගෙන යාමට මෙම ජාත්‍යන්තර ප්‍රජාවගේ සහභාගිත්වය අතිශය වැදගත් බව සඳහන් කළ යුතුය. මේ හරහා දේශීය කර්මාන්තකරුවන් රුසකට නව වෙළෙඳපොළවල් වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව දැනටමත් නිර්මාණය වෙමින් පවතී.

ජූනි 19 වැනිදා මෙම ප්‍රදර්ශනයේ ආරම්භය සනිටුහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් කරා යන ගමනේදී නිෂ්පාදන කර්මාන්තය නගා සිටුවීම අත්‍යවශ්‍ය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින් පැවසීය. “වසර 2ක් වැනි කෙටි කාලයක් තුළදී රට වැටී සිටි බංකොලොත්භාවයෙන් මිදීමට අපට හැකියාව ලැබුණා. නමුත් නැවතත් එම තත්ත්වය ඇති නොවීමට නම් ශක්තිමත් ආර්ථිකයක් අප රට තුළ ඇතිකළ යුතුයි. මේ සඳහා අපගේ ආර්ථිකය තරගකාරී විය යුතු වෙනවා. අප අසල්වැසි ඉන්දියාවේ ශීඝ්‍ර කර්මාන්ත දියුණුවක් ඇතිවෙමින් තිබෙනවා. අප රට ද ඒ තත්ත්වයට ළඟා විය යුතුයි. 

ඒ සඳහා රජයක් ලෙස දැනට පවත්වාගෙන යන කර්මාන්ත සඳහා අවශ්‍ය සියලු සහාය ලබා දෙමින් සිටිනවා. එසේම ආර්ථිකයේ තරගකාරීත්වය මෙන්ම කර්මාන්තවලද තරගකාරීත්වයක් ඇති කිරීම වැදගත්. මේ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙනවා. 70 දශකයේ පැවති ආකාරයට අලුතින්ම සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීමටත්, අඩු පොලී අනුපාත යටතේ කර්මාන්තකරුවන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දීමටත්, ආර්ථික කොමිසමක් ඇති කිරීමටත් කටයුතු කරනවා." 

මෙම අවස්ථාවට කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ද එක්ව සිටියේය. නිෂ්පාදන ආර්ථිකය බලගැන්වීමේ අරමුණ ඇතිව ප්‍රදර්ශන කුටි 1307 කින් සමන්විත ලංකාවේ දැවැන්තම ප්‍රදර්ශනය පැවැත්වීමට හැකිවීම පිළිබඳව සතුටු වන බවත්, ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය නගා සිටුවීමට කටයුතු කරන සියලුම කර්මාන්තකරුවන්ට ජාතියේ ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. 

කර්මාන්ත ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩුකාරවරුන්, විදේශීය තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන්, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, රාජ්‍ය නිලධාරීන්,  ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ව්‍යවසායකයන්, කර්මාන්තකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

මෙම සමාරම්භයට සමගාමීව ව්‍යවසායකයන් සවිබල ගන්වන, ගැනුම්කරුවන්ට හා විකුණුම්කරුවන්ට පහසුකම් සපයන රජයේ පූර්ණ සහයෝගීතාව සහිත Ceylon Plaza යෙදවුම ජනගත කිරීම ද මෙහිදී සිදු කරන ලදී.  

ගෙවී ගිය දින කිහිපය තුළදී ප්‍රදර්ශන භූමිය සඳහා දෙස් විදෙස් කර්මාන්තකරුවන්, ගැනුම්කරුවන් විශාල පිරිසක් පැමිණෙනු දැකගත හැකි විය. බොහෝ විදේශීය ගැනුම්කරුවන් සමඟ කර්මාන්ත අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතනවල නිලධාරීහු මෙම පරිශ්‍රය තුළදීම සාකච්ඡා පැවැත්වූහ.