2024 ජුනි 22 වන සෙනසුරාදා

මැතිවරණ කල් දාන්න මුට්ටිය දැමීම

 2024 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 104

මැතිවරණය දේශපාලන කරළියේ ප්‍රමුඛ මාතෘකාව වී ඇති බව පෙනී යයි. ඉදිරි මැතිවරණය පැවැත්වෙන දින වකවානු සහ ඒ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් පිළිබඳව විවිධ අදහස් පළවෙමින් තිබේ. ඒ අතරතුර මැතිවරණය කල් දැමීම පිළිබඳව විටින් විට මතුවන අදහස් හේතුවෙන් දේශපාලන කරළිය සැලකිය යුතු තරම් උණුසුම් වී ඇති බව පෙනී යයි. ඒ නිසාම මැතිවරණය කල් දැමීම පිළිබඳ වන කතිකාවේ නෛතික සහ දේශපාලන පැතිකඩ විග්‍රහ කර ගැනීමට අපි උත්සුක වෙමු.

ජනාධිපතිවරයාට තවත් අමතර වසර කිහිපයක් ලබා දිය යුතුය යන අදහස ඉකුත් මාසයක පමණ කාලය තුළ විටින් විට ඉදිරිපත් වූයේය. එක්සත් ජාතික පක්ෂයේ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ, උතුරු පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මෙම අදහස මතු කළ අය අතර ප්‍රමුඛයෝ වූහ.

“රටේ ඉන්ධන, ගෑස් ඇතුළු පෝලිම් යුගය අවසන් කර රටේ ආර්ථිකය යහමගට ගනිමින් ජනාධිපතිවරයා සිදුකරගෙන යන වැඩ කොටස තවත් ශක්තිමත් කිරීම සඳහා ජනමත විචාරණයක් පවත්වා තව වසර පහක් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ තබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනා එක්ව කටයුතු කළ යුතුයි.”

රංගේ බණ්ඩාර පාර්ශ්වය විසින් දිගින් දිගටම ඉදිරිපත් කළේ මෙම අදහසයි. මේ හා සම්බන්ධව දේශපාලන කරළියේ නිර්මාණය වූයේ සුළුපටු විරෝධයක් නොවේ. ජනාධිපතිවරණය කල් දැමීමේ උත්සාහයේ එක්තරා අදියරක් ලෙස පක්ෂ විපක්ෂ බොහෝ දේශපාලකයෝ මෙම ප්‍රකාශය නම් කර සිටියහ. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේම රවී කරුණානායක, හරින් ප්‍රනාන්දු වැනි පිරිස් මෙම කතාව එතරම් අනුමත කරන බවක් පෙනී ගියේ නැත. ඒ අනුව රංගේ ගේ ප්‍රකාශය රවී විසින් පවා විවේචනය කොට තිබුණි. 

ආණ්ඩුවට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්වය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු ද මෙම අදහසට එකඟ නොවන බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළහ. මේ අතර විපක්ෂයේ ඇතැම් පරිණත දේශපාලකයන් කීවේ මෙය "මුට්ටිය දා බැලීමක්" බවයි. ඒ අතර ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කියා සිටියේ මෙය කිසි ලෙසකින්වත් ඉටු නොවන බලාපොරොත්තුවක් වන නමුත්, අවධානය වෙනස් කරමින් දේශපාලන ක්‍රීඩාවක නිරත වීමට ජනාධිපතිවරයා උත්සාහ දරමින් සිටින බවයි.
මේ අතර ජනාධිපතිවරණය සඳහා දින වකවානු ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසම සූදානමින් සිටියේය. මැතිවරණය පැවැත්වෙන දින පිළිබඳව ද විවිධ ඉඟි විටින් විට පළ විය. එළැඹෙන ජනාධිපතිවරණය ඔක්තෝබර් මස 5 වැනි දින පැවැත්වීමට නියමිත බව ප්‍රසිද්ධ මාධ්‍යයේ පළමුවරට කියා තිබුණේ ආණ්ඩුවේ ප්‍රබලයකු වන හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාය. එසේ නමුත් ජනාධිපතිවරණයේ කල් දැමීම සම්බන්ධව වූ සැක සංකා එයින් ද දුරු නොවීය.

දැන් දේශපාලන කරළියේ පැතිර යන නවතම කතාව වී ඇත්තේ ජනාධිපතිවරයා නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිය ධූර කාලය වසරකින් දීර්ඝ කර ගැනීමට උත්සාහයක පසුවන බවයි. මේ හා සම්බන්ධව දේශපාලන පක්ෂ මෙන්ම නීති විශාරදයෝ ද සිය අදහස් ඉදිරිපත් කරමින් සිටිති. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධූරය තවත් වසරකින් දීර්ඝ කර ගැනීමේ කිසිදු හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඉකුත්දා පවසා තිබුණි. හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා කුමාරතුංග යන අයත් මෙලෙස ධූරය වසරකින් දීර්ඝ කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසා තිබුණු අතර ව්‍යවස්ථාවට අනුව ඊට ඉඩක් නොලැබුණු බවත් ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවත් ඔහු පැවසීය.

ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාට ඔක්තෝබර් 17න් පසුව එක් දවසක්වත් ධූරයේ සිටිය නොහැකි අතර ඊට නව පත්වීමක් සිදුවිය යුතු බව හෙතෙම අවධාරණය කළේය.

“ඉදිරිපත් කරලා තියෙනවා මේ රටට අලුත් වැඩපිළිවෙළක්, ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තියේ අවුරුදු හයක් ඉන්න පුළුවන් ජනාධිපතිතුමාට කියලා පාර්ලිමේන්තුවේ 150 පෙන්නලා. මේ කිසිසේත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද 2018 දී මේ ව්‍යවස්ථාව ගැන මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් විවරණයක් ගත්තා. කිසිම විදියකට ජනාධිපති ධූරය අවුරුද්දකින් කල් දාන්න බෑ පාර්ලිමේන්තු මතයට. ඒකට ජනමත විචාරණයක් අවශ්‍යයි."

මේ අතර නීති විශාරදයන් ද මේ හා සම්බන්ධ ප්‍රමුඛ මත දෙකක් සමාජගත කොට තිබේ. ජනාධිපතිවරයාට ජනාධිපතිවරණය කල් දැමීමට හැකි බව කියැවෙන අදහස ඒ අතරින් ආන්දෝලනාත්මකය. 

ජැමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා පසුගියදා මේ හා සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණි. ඒ අනුව 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83(ආ) ව්‍යවස්ථාවේ සඳහන්ව ඇත්තේ ජනාධිපතිවරයාගේ ධූර කාලය හා පාර්ලිමේන්තුවේ කාලය සය අවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ 2/3 කින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතුව ඇත යනුවෙන් යැයි නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා සඳහන් කර තිබුණි.

එසේම යම් ලෙසකින් ජනාධිපතිවරයාට 2/3 ක බහුතරයක් නැතිවුවහොත් ජාතික වැදගත්කමින් යුතු කාරණයක් ලෙස ජනමත විචාරණයක් හරහා මෙම කටයුත්ත සිදුකර ගත හැකි බවද ඔහු පෙන්වා දී තිබුණි.

මෙම අදහසට එරෙහිව ඉදිරිපත් වෙමින් පවතින නීති විශාරදයන්ගේ අදහස් ද සලකා බැලිය යුතුය. ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර හයක් දක්වා වැඩි කිරීමට නම් ජනමත විචාරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිපාදනයක් බව එම පාර්ශ්වය සඳහන් කර සිටිති. 

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීමේ නීති විශාරදයන්ගේ කමිටුවේ ප්‍රධානියකු වූ ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මේ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකොට තිබුණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය අදාළ වන්නේ ජනතාව ලබාදුන් ධූර කාලය වැඩිකර ගැනීමට බව ඔහු පවසා තිබණි. එම නිසා අදාළ වගන්තියේ සඳහන් වන ආකාරයට ධූර කාලය වැඩිකර ගන්නේ නම් අනිවාර්යෙන්ම ජනමත විචාරණයකට යා යුතු බවද වික්‍රමරත්න අවධාරණය කළේය. එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් තමන් ද නියෝජනය කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කමිටුවට උපදෙස් දුන්නේ ජනමත විචාරණයකට යාමට හේතුවන සංශෝධන කිසිවක් ඇතුළත් නොකිරීමට බවද ඔහු වැඩිදුරටත් සිහිපත් කර තිබුණි.

ව්‍යවස්ථාමය ප්‍රතිපාදනවලට අනුව, ජූලි 17 හෝ ඊට පසුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසමට බලය ලැබේ. මෙම සංදර්ශනය එතෙක් දික් ඇදෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. කෙසේ නමුත් දේශපාලන මැතිවරණ කල් දැමීම පිළිබඳ කතිකාව එතරම් සුන්දර එකක් නොවන බව අවසානයේ සඳහන් කළ යුතුය.

•  චමිඳු නිසල් ද සිල්වා