වර්ජන තර්ජන හේතුවෙන් රට අකර්මණ්‍ය වූයේය. වෙනදාට විටින් විට කඩින් කඩ සිදුවීම් මෙවර නොනවතින උදම් රළ ලෙස නැගී ආවේය. වර්ජන තර්ජන මර්දනය කරන්නට හෝ ඊට විසඳුම් ලබාදීමට ආණ්ඩුව සමත් නොවූ බවක් පෙනී ගියේය. වැඩිහිටියන්ගේ පටන් පාසල් දූ දරුවන් දක්වා බොහෝ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙම වර්ජන හේතුවෙන් පීඩාවට පත්වූහ.
මෙම වර්ජන රැල්ලේ ආරම්භය මීට මාස දෙකකට පෙර සලකුණු කොට සිටියේ විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල විසිනි. මෙම වර්ජනය හේතුවෙන් රට පුරා විශ්වවිද්‍යාල අධ්‍යයන ක්‍රියාවලිය අකර්මණ්‍ය වී දින හැටක් පමණ ගත විය. පසුගිය සතියේ විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වර්ජකයෝ සිය වෘත්තීය ක්‍රියාමාර්ග තීව්ර කළහ. මොරටුව විශ්වවිද්‍යාලය, රජරට විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක් ඉදිරිපිට මෙම පිරිස් සත්‍යග්‍රහ ක්‍රියාත්මක කරනු දැකගත හැකි විය.
වර්ජන හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට ප්‍රබල ලෙස බාධා එල්ල වී තිබුණි. බොහෝ විශ්වවිද්‍යාල මාර්ගගත ක්‍රමයට දේශන පැවැත්වීමට උත්සාහ කළ නමුත් ඒ තරම් සාර්ථක ප්‍රයත්නයක් නොවූ බව කියැවුණි. බොහෝ විශ්වවිද්‍යාලවල විභාග පවා ප්‍රමාද වී තිබුණි. කෙසේ වෙතත් වර්ජකයන් සඳහන් කර සිටියේ බලධාරීන් හිතාමතාම සිය ගැටලුවලට විසඳුම් ලබා දීම පමා කරන බවයි.
මේ අතර පසුගිය සතිය වන විට පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩල ද අසනීප නිවාඩු වාර්තා කරමින් වර්ජන ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වී සිටියේය. ඔවුන් ඉල්ලා සිටියේ අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙසය. පාසල් හා විද්‍යා පීඨ අනධ්‍යයන සේවකයෝ මීට එක් වී සිටියහ. මෙම වර්ජනයත් සමඟ අධ්‍යාපන අමාත්‍යංශය ආරක්ෂක අමාත්‍යංශය වෙත දන්වා තිබුණේ අධ්‍යාපන ආයතනවල දේපළ ආරක්ෂා කිරීමට කටයුතු කර දෙන ලෙසයි.
මේ අතර පසුගිය සතියේ දැකගත හැකි වූ තවත් ප්‍රබල වර්ජනයක් වූයේ රජයේ විධායක නිලධාරීන්ගේ වර්ජනයයි. වැටුප් විෂමතා පිළිබඳ සඳහන් කරමින් මෙම පිරිස් වර්ජන ක්‍රියාමාර්ග වෙත එළැඹ සිටියහ. මෙම වර්ජන හේතුවෙන් ද රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් අකර්මණ්‍ය විය. විභාග දෙපාර්තමේන්තුව වැනි ආයතනවලින් සහතික පත්‍ර ලබා ගැනීමට දිවයිනේ දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණි පිරිස් දැඩි අපහසුතාවට ලක්වූහ.
රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව මෙම වර්ජන ක්‍රියාමාර්ග මෙහෙයුම් අතරතුර අසනීප නිවාඩු වාර්තා කොට සිටියේය. මෙම ක්‍රියාමාර්ගයට සමගාමීව මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයකට එක්වීමට ද වර්ජකයෝ කටයුතු කළහ.
මේ අතර සතියේ ඉහළම අවධානයක් දිනාගත් වර්ජනය වූයේ ගුරු විදුහල්පති වර්ජනයයි. වැටුප් විෂමතා පදනම් කරගෙන මෙම වර්ජනය ද ක්‍රියාත්මක වූ අතර ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තා කොට තිබුණි. ගුරු - විදුහල්පති ඒකාබද්ධ කමිටුව මෙම වර්ජන ක්‍රියාමාර්ගය සංවිධානය කොට තිබූ අතර ඊට සමගාමීව ඉකුත් බදාදා කොළඹ දී දැවැන්ත විරෝධතාවයක් ද සංවිධානය වූයේය.
මෙම විරෝධතාවය සම්බන්ධයෙන් කොම්පඤ්ඥවීදිය පොලීසිය කළ ඉල්ලීමක් පරිදි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ද නිකුත් කර තිබිණි. ඒ අනුව කොළඹ, ලෝටස් පාර ප්‍රදේශයේ දී මෙම උද්ඝෝෂණයට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය. මෙම මර්දනය හෙළා දැකීමෙන් වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ගුරු විදුහල්පති එකමුතුව කටයුතු කරනු ලැබීය. ඒ අනුව ඉකුත් බ්‍රහස්පතින්දා ද සැලකිය යුතු පරිමාවකින් පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය කඩා වැටී තිබුණි.
මෙම වර්ජන සියල්ලම දේශපාලන අරමුණු සහිතව ක්‍රියාත්මක වූ ඒවා බව ආණ්ඩුවේ දේශපාලනඥයෝ චෝදනා කළහ. අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මෙම වර්ජන පිටුපස දේශපාලන අරමුණු ඇති බව කියා සිටියේය. මෙම වර්ජන හේතුවෙන් දේශපාලන කරළිය ද උණුසුම් විය. විපක්ෂ දේශපාලන කණ්ඩායම් වර්ජකයන්ට සහාය පළ කළේය.
වැටුප් ගැටලුවක් හේතුවෙන් ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය ද පසුගිය සතියේ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ විය. ඔවුන් රජයට බල කරමින් ඉල්ලා සිටින්නේ තම සේවා ව්‍යවස්ථාව සම්පාදනය කර දෙන ලෙසත් 2016 න් පසු වැඩි නොකළ ගමන් වියදම් දීමනාව හෝ ඉන්ධන දීමනාව හෝ කුමක් හෝ දීමනාවක් වැඩි කර දෙන ලෙසත්ය. මෙම දීමනා කිසිවක් අයවැය වනතුරු ලබාදීමට නොහැකි නම් යම් දීමනාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
මීට පෙර අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටි ග්‍රාම නිලධාරීන් මෙවර සම්පූර්ණ රාජකාරිවලින් ඉවත් වීම සුවිශේෂී සිදුවීමක් විය. බ්‍රහස්පතින්දා සිට දින හතරක කාලයක් රාජකාරියෙන් ඉවත්ව සිටීමට මෙම පිරිස තීරණය කොට තිබුණි. වසර 61 ක ග්‍රාම නිලධාරී ඉතිහාසයේ, ග්‍රාම නිලධාරීන් සියලුම රාජකාරිවලින් ඉවත් වූ පළමු අවස්ථාව මෙය බව වෘත්තීය සමිති කියා සිටියේය.
සේවා දීමනාව ලබා නොදීම සහ ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය නොදීම යන කරුණු මත ආයුර්වේද වෛද්‍යවරු ද සේවයෙන් ඉවත් වී වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූහ. වසර 27 ක සිට ලබා දිය යුතු අමතර සේවා දීමනාව ලබා නොදුන් බවට ආයුර්වේද වෛද්‍යවරු චෝදනා කර සිටියහ. රාජකාරිවලින් ඉවත් වූ ආයුර්වේද වෛද්‍යවරු මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.
අනතුරුව ඔවුන් සහ මුදල් අමාත්‍යාංශය අතර සාකච්ඡාවක් පැවති නමුත් එය ද අසාර්ථක වූ බව කියැවුණි. මෙම විරෝධතාවය හේතුවෙන් රජයේ ආයුර්වේද රෝහල් වෙත ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීහු ද අසීරුතාවට පත්වූහ. මෙම වර්ජන ක්‍රියාමාර්ගය පිළිබඳ නොදැන ආයුර්වේද රෝහල් වෙත රෝගීන් පැමිණ සිටි අතර වර්ජනය හේතුවෙන් ඔවුනට ආපසු හැරී යාමට සිදුවිය.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ද පසුගිය සතියේ දෙදින වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටියහ. ඒ අනුව ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන් සහ අතිරේක රෙජිස්ට්‍රාර්වරුන් දිවයින පුරා මෙම වැඩවර්ජනයේ නිරත වූ බව රෙජිස්ට්‍රාර් සේවයේ නිලධාරීන්ගේ සංගමය පසුගිය සතියේ සඳහන් කොට තිබුණි.
මේ අතර සුරාබදු, රේගු සහ දේශීය ආදායම් නිලධාරීන්ද ජූලි 4 සහ 5 යන දිනවලදී වර්ජනයක් සඳහා සූදානම් වෙමින් සිටින බව දැන ගැනීමට ලැබුණි. ඒ අනුව වර්ජන රුල්ල ඉදිරි මාසය පුරාද ක්‍රියාත්මක වනු ඇති බව පැහැදිලිය.
මෙලෙස වර්ජන රුල්ල පිට පිට නැගෙමින් තිබුණද අයවැය අනුව මෙම වසරේදී කිසිදු වැටුප් වැඩි කිරීමක් සිදුකළ නොහැකි බව රජය කියා සිටියේය. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ පිළිබඳ දහස් දක්වමින් පවසා සිටියේ වැටුප් විෂමතා ඇතුළු ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට විශේෂඥ කමිටුවක් පත්කර ඇති බවයි. ඒ අනුව ඉදිරි වසරේදී අයවැය සඳහා අදාළ යෝජනා ඉදිරිපත් කරනු ඇතැයි ද ඔහු සඳහන් කර සිටියේය.
• චමිඳු නිසල් ද සිල්වා