2024 ජුනි 29 වන සෙනසුරාදා

මොකක්ද මේ මාර්ෂල් තනතුර

 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:02 233

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලොව ආරක්ෂක අංශයේ ඉහළම නිලය වන මාර්ෂල් තනතුරක් ළඟදීම පිරිනැමෙනු ඇතැයි පසුගියදා වාර්තා විය. ෆොන්සේකා මහතා රජයෙන් කරන ලද ඉල්ලීමක් අනුව මාර්ෂල් තනතුර ඔහුට ලැබීමට නියමිත යැයි සඳහන්ය. උතුරේ යුද ජයග්‍රහණය සඳහා ෆොන්සේකා මහතා කරන ලද කැප කිරීම සලකා මෙයට පෙර ඔහු ෆීල්ඩ් මාර්ෂල් තනතුරට පත් කෙරිණි. මෙවර ඔහුට ලබාදීමට යෝජිත මාර්ෂල් තනතුර මෙයට කලින් ලොව ප්‍රකට දේශපාලන නායකයන් හා හමුදා නායකයන් ගණනාවකට ලබා දී තිබිණි. 

යුගෝස්ලාවියාවේ හිටපු ජනාධිපති ජොසිප් බ්‍රොස් ටිටෝ, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන්, රුසියාවේ හිටපු නායක ජෝෂප් ස්ටාලින්, චීනයේ හිටපු නායක මාවෝ සේතුං, උතුරු කොරියාවේ හිටපු නායක කිම් ඉල්සුං, ජර්මනියේ හිටපු නාසි නායකයකු වූ හර්මන් ගෝරිං ඇතුළු ඉහළ පෙළේ නායකයන් රුසක්ම මෙයට පෙර මාර්ෂල් පදවියෙන් පිදුම් ලැබූහ.

සන්නද්ධ හමුදාවන්හි, මාර්ෂල් යන පදවි නාමය ජෙනරාල්වරුන්ට ඔවුන්ගේ සුවිශේෂී ජයග්‍රහණ සඳහා ලබා දෙන නාමයක් වන අතර එය ජ්‍යෙෂ්ඨ හමුදා නායකයකු හැඳින්වීමට භාවිත කරයි. මාර්ෂල් යනු ජෙනරාල්ට වඩා ඉහළ නිලයකි. ඉහළම නිලය වන්නේ ජෙනරල්සිමෝ නමැති නිලයයි. එය තරු හයේ නිලයක් වන අතර එය තරු පහේ ජෙනරාල් හෝ ෆීල්ඩ් මාර්ෂල්ට වඩා උසස් ය. මාර්ෂල් තනතුර බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, සෝවියට් සංගමය සහ චීනය, බොලිවියාව, පෙරු, ඇතුළු ඇතැම් රටවල අතීත සහ වර්තමාන හමුදාවන්හි ඉහළම නිලය වේ. එය එක්සත් ජනපදයේ තරු පහේ හමුදා ජෙනරාල්වරයකුට සමානය. එක්සත් රාජධානිය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් මෙම තනතුර සඳහා භාවිත කරනුයේ ෆීල්ඩ් මාර්ෂල් යන නාමයයි. ඉහළම හමුදා නිලය දැක්වීමට වර්තමානයේ ජර්මනිය ද ෆීල්ඩ් මාර්ෂල් නාමය භාවිත කරයි. ඇතැම් රටවල මාර්ෂල් නිලය, ෆීල්ඩ් මාර්ෂල් හා අනෙකුත් නිලයනට වඩා ඉහළම හමුදා නිලය වේ. එය නාවික හමුදාවේ අද්මිරාල් හෝ ග්‍රෑන්ඩ් අද්මිරාල් ධුරයට සමානය.

මාර්ෂල් යන්න පැරණි ප්‍රංශ බසින් බිඳී ආ වදනකි. එහි අරුත අශ්ව ඉස්තාලය බලාගන්නා, අශ්ව පාලකයා වැන්නකි. ෆ්‍රෑන්ක් රජුගේ අසුන් බලාගන්නා හැඳින්වූ  මාරස්කාල්සි (අශ්වයාගේ ස්වාමියා) යන පදවි නාමයෙන් මෙම තනතුර පරිණාමය විය.  ලන්දේසින් හමුදා අණ දෙන නිලධාරියා සඳහා භාවිත කරන යෙදුම වන මාර්ස්චල්ක් යන වදන ප්‍රංශ බසින් බිඳී ආ බවට සැලකේ. මධ්‍යතන යුගයේ පැවැති යුදවලදී අශ්වාරෝහක හමුදාවේ වැදගත්කම නිසා මාර්ෂල් තනතුර හමුදා අණදෙන නිලධාරි  තනතුරක් බවට පත් විය. දෙවැනි පිලිප් රජුගේ කාලයේ දී  ප‍්‍රංශයේ මාර්ෂල් කාර්යාලය ස්ථාපිත කර ඇති අතර මාර්ෂල් යනුවෙන් හැඳින්වූ නිලධාරියා රාජ්‍යයේ ඉහළම නිලධාරීන්ගෙන් කෙනෙක් බවට පත් විය. 

12 වැනි සියවස වන විට එංගලන්තයේ මාර්ෂල් කාර්යාලයක් පිහිටුවා තිබිණි. එහෙත් ෆීල්ඩ් මාෂල් යන නවීන හමුදා නාමය 1736 දී බ්‍රිතාන්‍යය හමුදාවට හඳුන්වා දෙනු ලැබුවේ II ජෝර්ජ් රජු විසිනි. එය ජර්මනියෙන් ලබා ගත්තකි. බ්‍රිතාන්‍යයේ මාර්ෂල් නිලය පිරිනැමුණේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කිහිප දෙනකුට, විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ අධිරාජ්‍ය ජෙනරාල් කාර්ය මණ්ඩල ප්‍රධානියාට පමණි. පැරණි සෝවියට් සංගමයේ හමුදා මාර්ෂල් නිලය හිමිවූයේ ඉහළම අණදෙන නිලධාරීන්ටය.

මාර්ෂල්වරුන් බොහෝවිට පත් කරනු ලබන්නේ, යුද සමයේදී පමණි. බොහෝ රටවල, විශේෂයෙන් යුරෝපයේ, මාර්ෂල්වරයකුගේ විශේෂ සංකේතය බැටන් පොල්ලක් වන අතර, ඔවුන්ගේ ලාංඡනයටද බොහෝ විට ඇතුළත් වන්නේ බැටන් පොල්ලකි.
අතීතයේ ඇතැම් පාලකයන් කිසියම් පුද්ගලයකුට ගරු කිරීමක් වශයෙන් මාර්ෂල් තනතුර ප්‍රදානය කර තිබේ. නිර්භීත හමුදා නිලධාරින් සඳහා ගෞරව නාමයක් ලෙස ඇතැම් අවස්ථාවන්හි Ayacucho Antonio Jose de Sucre නමැති  ග්‍රෑන්ඩ් මාර්ෂල් තනතුර පිරිනමා ඇති අතර, එවැනි එක් අවස්ථාවක් වූයේ අැඩොල්ෆ් හිට්ලර් විසින් හර්මන් ගෝරිං වෙත පිරිනැමූ රයිෂ්මාර්ෂල් යන නාමයයි. ඉතිහාසයේ රයිෂ්මාර්ෂල් නාමය ලද එකම  පුද්ගලයා හර්මන් ගෝරිං විය. එංගලන්තයේ පළමු බැරන් යුද්ධයේදී "මාෂල් ඔෆ් ද ආර්මි ඔෆ් ගෝඩ් ඇන්ඩ් හෝලි චර්ච්" යන පදවි නාමය රොබට් ෆිට්ස්වෝල්ටර්ට ප්‍රදානය කරන ලද්දේ ඡන්ද විමසීමකිනි. බොලිවියාවේ එවැනි තනතුරු 6ක් පිරිනමා තිබේ.

බ්‍රසීලියානු යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ ඉහළම තනතුර වන්නේ මාර්ෂල් තනතුරය. ඇතැම් රටවල, ඉහළ ගුවන් හමුදා නිලයන් සඳහා ජනරාල් වෙනුවට මාර්ෂල් යන යෙදුම භාවිත වේ. රාජකීය ගුවන් හමුදාවේ ඉහළම නිලයන් හතර වන්නේ රාජකීය ගුවන් හමුදාවේ මාර්ෂල්, එයාර් චීෆ් මාර්ෂල්, එයාර් මාර්ෂල් සහ එයාර් වයිස් මාර්ෂල් ය. ගුවන් හමුදාවේ තරු පහේ මාර්ෂල් නිලය ඇතැම් පොදුරාජ්‍ය මණ්ඩලීය සහ මැදපෙරදිග ගුවන් හමුදා විසින් භාවිත කරනු ලැබේ.

ඩෙන්මාර්කයේ &අධිරාජ්‍යයේ මාර්ෂල්වරයා* ලෙස තනතුරක් ඇත. පාබල හමුදාව සහ අශ්වාරෝහක හමුදාව සම්බන්ධයෙන් රජුගේ ප්‍රධාන උපදේශකයා වූයේ ඔහුය. එය රජුට සහ චාන්සලර්වරයාට පසු රටේ තුන්වැනි ඉහළම නිලය විය. ෆින්ලන්තයේ මාර්ෂල් තනතුර ක්‍රියාකාරී තනතුරක් නොව ගරු නාමයකි. ඉතාලියේ මාර්ෂල් තනතුර 1926 බෙනිටෝ මුසෝලිනි විසින් හමුදාවේ ඉහළ නිලධාරින්ට ගරු කිරීම සඳහා නිර්මාණය කරන ලද්දකි. &අධිරාජ්‍යයේ පළමු මාර්ෂල්* යන තනතුර ආරම්භ වීමට පෙර ඉතාලියේ යුද හමුදාවේ පැවැති ඉහළම තනතුර මාර්ෂල් තනතුර විය. එය 1946 අහෝසි කෙරිණි. මොංගෝලියානු  සහ පෝලන්ත හමුදාවේ ඉහළම තනතුර වන්නේ ද මාර්ෂල් තනතුරය. පෘතුගාලයේ යුද හමුදා මාර්ෂල්වරුන් මෙන්ම මාර්ෂල් ජනරාල්වරු ද සිටිති. රුමෙනියාවේ මාර්ෂල් තනතුර වෙනත් රටවල ෆීල්ඩ් මාර්ෂල් තනතුරට සමානය. රුසියානු හමුදාවේ ඉහළම තනතුර වන්නේ ද මාර්ෂල් තනතුරයි. සෝවියට් සමූහාණ්ඩුව පැවැති සමයේ එය සෝවියට් සමූහාණ්ඩුවේ මාර්ෂල් තනතුර ලෙස හැඳින්වූ අතර වර්තමාන රුසියාවේ හැඳින්වෙන්නේ ෆෙඩරේෂනයේ මාර්ෂල් තනතුර ලෙසිනි. ස්වීඩනයේ එම තනතුර හැඳින්වෙන්නේ &හිස් මැජස්ටීස් මාර්ෂල්* නමිනි. 1607 වසරේ සිට ඇරුඹි එම තනතුර එරට රාජකීය අධිකරණයේ ඉහළම නිලය වන අතර එම තනතුර සඳහා පුද්ගලයකු පත් කරනුයේ රජු විසිනි. තුර්කි රාජ්‍යයේ ඉහළම තනතුර වන්නේද මාර්ෂල් තනතුරය. එය ඔටෝමන් අධිරාජ්‍ය සමයේ ආරම්භ වූවකි. යුගෝස්ලාවියාවේ ඉහළම ගෞරව නාමය වූයේ මාර්ෂල් යන්නයි. එය හැඳින්වූයේ &මාර්ෂල් ඔෆ්  යුගෝස්ලාවියා* යනුවෙනි. එම තනතුර දැරෑ එකම පුද්ගලයා ජොසිප් බ්‍රොස් ටිටෝ ය.

බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකානු අධිකරණ පද්ධතිවලද මාර්ෂල්වරුන් සිටින අතර මාර්ෂල් යන්නට විවිධ යෙදුම් තිබේ. එක්සත් ජනපදයේ, මාර්ෂල්වරුන් යනු ෆෙඩරල් උසාවිවල විධායක නිලධාරීන් වන අතර, සෑම අධිකරණ දිස්ත්‍රික්කයකම එක් මාර්ෂල්වරයකු සේවය කරයි. මාර්ෂල්ගේ රාජකාරි වන්නේ දිස්ත්‍රික් සහ අතුරු උසාවිවල සැසි විවෘත කිරීම, අවසන් කිරීම සහ වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීම වැනි උසාවියේ නියෝග ක්‍රියාත්මක කිරීමය.

•   ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා