අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල පහළ දැමීමට රජය මෙතෙක් ගත් පියවර ගඟට කැපූ ඉණි බවට පත්ව ඇත. බලධරයන් යම් යම් ක්‍රියාමාර්ග ගන්නා බව මාධ්‍ය මගින් ප්‍රකාශ කළ ද ඒවායින් ලැබෙන කිසිදු ප්‍රායෝගික ප්‍රතිඵලයක් නොමැති බව පෙනෙන්නට තිබේ. රජය ජාම බේරා ගැනීමට යම් යම් ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කළ ද ඒ පිළිබඳ පසු විපරමක් කරන බවක් දක්නට නැත. ඕනෑම භාණ්ඩයක මිල ඉහළ යාමේ අවදානමක් ඇතිවූ විට ඔවුන් එක්වරම කරනුයේ ආනයන බදු අඩු කිරීමය.නැතිනම් ආනයනය කිරීමය. එහෙත් මේ වාසිය ඇත්ත වශයෙන්ම පාරිභෝගිකයාට ලැබෙන බවක් නොපෙනේ. මිල අඩුවීමක් දක්නට නැත. එසේ නම් බදු අඩු කිරීමේ ආනයනය කිරීමේ වාසිය අදෘශ්‍යමාන බලවේගයක් විසින් අත්පත් කර ගන්නා බව පෙනී යයි. මෙයින් සිදුවන හානිය තෙආකාරයකින් රටට බලපායි. එකක් නම් බදු අහිමිවීම නිසා රාජ්‍ය ආදායම පහළ වැටීමය. දෙවැන්න වන්නේ මිල අඩු නොවීම හේතුවෙන් පාරිභෝගිකයා හිරිහැරයට පත්වීමය. එසේම ආනයනයට විදේශ විනිමය නාස්ති වීමය.
ඔන්න අපි බදු අඩු කළා යැයි පවසා ඇඟ බේරා ගැනීමට වඩා එහි ප්‍රතිඵලය පාරිභෝගිකයාට ලැබේදැයි සොයා බැලිය යුතු වෙයි. පසු විපරම් කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම වාසිය ජනතාවට නොලැබෙන විටක එය කොල්ල කන්නේ කවුරුන් දැයි සොයා බලා නැවැත්වීමට ක්‍රියා කළ යුතුය. පසුගිය සමයේ මිල ඉහළ යන විට අල, ලූනු, කරවල, පොල්තෙල්, පරිප්පු, සීනි ආදී ආනයන භාණ්ඩ සමහරක බදු විශාල ලෙස අඩු කළා අපට මතකය. එහෙත් එයින් පැවැති මිල යම්තම්වත් සෙලවුණේ නැත.
මෙම තත්ත්වය රජය හා වෙළෙඳුන් එකතු වී කරන ජාවාරමකැයි සිතන්නට බොහෝ දුරට හැකිවන්නේ මේ සෙල්ලම මැතිවරණ ආසන්න වනවිට බොහෝ ආණ්ඩුවලින් වැඩි වශයෙන් සිදුව තිබීමය. තමන්ට හිතවත් ව්‍යාපාරිකයන්ට විශාල අයථා ආදායමක් උපයා ගැනීමට ඉඩ දී එම මුදල් පක්ෂ දේශපාලන ව්‍යාපාර සඳහා යොදවා ගන්නා බවට හෙළි වී තිබේ. එසේ නොවේ නම් බලධරයන් ගන්නා රහස්‍ය තීරණ ව්‍යාපාරිකයන් අතට පත්වන්නේ කෙසේද? පසුගියදා සිදුවූ සීනි බදු වංචාවෙන් බිලියන දෙකක පමණ අතිරේක ලාභයක් ලබාගැනීමට ඔවුන්ට හැකිව තිබෙන බව කියයි. විගණනයෙන් ඒවා නිරාවරණය කළ ද කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැතිවීම නිසා මෙම සැකය ස්ථාවර වීමට හේතු වී තිබේ.
කෙසේ වුවද බඩු මිල ඉහළ ගොස් ජනතාව පෙළීම වළක්වා ගැනීම සඳහා වගකිව යුතු ආයතන කිසිදු සාර්ථක ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට චෝදනා එල්ල වේ. භාණ්ඩ මිල අඩු කිරීමේ ප්‍රධාන ආයතනය වූ පාරිභෝගික කටයුතු අධිකාරිය නිතරම පවසනුයේ රජය ගැසට් මගින් මිල පාලනය නොකරන භාණ්ඩ කිසිවක් වැටලීමට අධිකාරියට නෛතික බලයක් නොමැති බවය. එසේම භාණ්ඩවල මිල මිස ප්‍රමිතිය පිළිබඳ කටයුතු කිරීමට තමන්ට ඉඩ නොමැති බව එහි බලධරයෝ කියති.
පසුගිය සමයේ බිත්තර මිල පාලනය කිරීමට යැයි රජය ඉන්දියාවෙන් බිත්තර ආනයනය කර රුපියල් 32 බැගින් අලෙවි කිරීමට කටයුතු කළේය. එයින් යම් හෝ සහනයක් සැලසුණද වගකිවයුත්තන් විවිධ හේතු ඉදිරිපත් කරමින් බිත්තර ආනයනය නැවැත්වූ අතර අද වනවිට බිත්තරයක මිල රුපියල් 60 ට ආසන්නයට ඉහළ නැග තිබේ. රජයට මිල අඩු කිරීමට ඇති හැකියාව ක්‍රියාත්මක නොකිරීමට මෙය හොඳ උදාහරණයකි. රටේ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා ආහාර, කෘෂිකර්ම, ගොවිජන සේවා, වාරිමාර්ග යන දෙපාර්තමේන්තු සහ වී අලෙවි මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන 70ක් පැවතියද ඔවුන් තම වගකීම් නිසි ලෙස ඉටු නොකරන බව ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රමුඛතා හඳුනා ගැනීමේ පාර්ලිමේන්තු අනුකාරක සභාව වාර්තාවකින් කියයි.
මෙහි සඳහන් වන සුවිශේෂී කරුණක් වන්නේ දේශීය ආහාර නිෂ්පාදනය, ආනයනය, ගබඩා කිරීම, සැකසීම, බෙදාහැරීම සහ අලෙවිය ඇතුළු සමස්ත ක්‍රියාදාමය පුරා ප්‍රතිපත්තිමය නොගැලපීම් බරපතළ ලෙස දැකගත හැකිවූ බවය. මෙම වාර්තාවේ සඳහන් කරුණු ප්‍රසිද්ධියට පත්කිරීමෙන් පමණක් නොනැවතී ඒවා වළක්වා ගැනීම පිළිබඳ වගකිවයුත්තන් අවධානය යොමු කිරීම වැදගත් බව පෙන්වා දිය යුතුය.
සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර පවසන්නේ ආනයන භාණ්ඩවල මිල ගණන් තවදුරටත් ඉහළ යාමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.
''නැව් ගාස්තු සහ නැව් රක්ෂණ ගාස්තු විශාල ලෙස ඉහළ ගිහින්. මේ නිසා නිමිඇඳුම් ඇතුළු සියලුම ආනයන භාණ්ඩවල මිල ඉදිරි දෙසතිය තුළ සැලකිය යුතු ලෙස ඉහළ යාමේ ප්‍රවණතාවක් තිබෙනවා. පවතින තත්ත්වය අනුව රටට ගෙන්වන නිමි භාණ්ඩ සහ අමුද්‍රව්‍යවලට ආනයනකරුවන්ට විශාල මුදලක් වැය කරන්නට සිදුව තිබෙනවා. ඒ නිසා මෙරටට ගෙන්වන භාණ්ඩවල මිල ඒ අනුව තීරණය කරන්නට සිදුවීමෙන් විශාල ලෙස මිල වැඩිවීමේ අනතුරක් ඇතිවෙලා. අලෙවිය ද අඩු වෙනවා.
නැව් ගාස්තු ලෙස කන්ටේනරයකට අය කළ ඩොලර් 300 මුදල දැන් 400 කට ඉහළ නංවලා තියෙනවා. ඩොලර් 1000 අය කළ ඒවාට 1400 ක් ගෙවන්න වෙලා. රක්ෂණ ගාස්තු ද දෙගුණයකට වැඩිය ඉහළ ගිහින්. ඒ නිසා ලංකාවට එන නැව් ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩුවෙලා. මෙයින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට නව නිෂ්පාදන සහ රටට ගෙන්වන නිමි භාණ්ඩ අලෙවි කිරීම අපහසු වෙලා. මිලද ඉහළ ගිහින්. මෙම තත්ත්වය ඔවුන්ගේ ව්‍යාපාරවලට අනාගතයේදී විශාල ලෙස බලපානවා. ඒ නිසාම මෙරට පාරිභෝගිකයන්ට මිල ඉහළ යාමෙන් අපහසුතා ඇතිවෙලා. එසේම අමුද්‍රව්‍ය ගෙන්වලා නිෂ්පාදනය කරලා අපනයනය කරන භාණ්ඩවල මිලද ඉහළ ගිහින් ඇති නිසා ලෝක වෙළෙඳපොළේ තරගකාරී මිලට මුහුණ දෙන්න බැරිවෙලා අපනයනය ද කඩා වැටී තියෙනවා.''
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල බලාපොරොත්තු වූ පරිදි පහළ නොයෑම පිළිබඳ අදහස් දක්වන පාරිභෝගික අයිතීන් සුරුකීමේ ජාතික ව්‍යාපාරයේ සංවිධායක අසේල සම්පත් පවසනුයේ රාජ්‍ය අංශයේ අදාළ ආයතනවල සහාය නොලැබෙන්නේ නම් තම සංවිධානයට පමණක් තනිව මිල අඩු කළ නොහැකි බවය.
''අපට නීතිමය හැකියාවක් නැහැ. එහෙත් ඉල්ලීමක් කරන්න පුළුවන්. සමහර අය එයට එකඟ වෙනවා. සමහරුන් එකඟ වන්නේ නැහැ. මා පසුගිය දිනවල පැවසුවා රයිස් එකක සහ කොත්තුවක මිල රුපියල් 25 කින් අඩු කරන්න කියලා. ආපන ශාලා හිමියන් සමහරෙක් එදා සිටම මිල අඩු කළා. ඇතැමුන් මේ දක්වා මිල අඩු කරලා නැහැ. ඔවුන් එයට විවිධ හේතු කියනවා. අනිත් පැත්තෙන් කිවහොත් ආහාර ද්‍රව්‍යවලට ස්ථිර මිලක් ප්‍රකාශයට පත් කරන්න අපහසුයි. සතියෙන් දෙකෙන් ඇතැම්විට දවස් තුන හතරෙන් මිල වෙනස් වෙනවා. අල, ලූනු, පරිප්පු වගේ ආහාර ද්‍රව්‍යවල මිල යළිත් වැඩිවෙලා තියෙන්නේ. ඒ වගේම එළවළු, මස්, මාළු, බිත්තර ආදියේ ද මිල හරි ඉක්මනින් වෙනස් වෙනවා. ඒ නිසා විශේෂයෙන් ආපන ශාලා ආහාරවල මිල එක මට්ටමක තබාගෙන සිටීම ප්‍රශ්නයක්.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල මට්ටමට සාධාරණව තබාගෙන සිටීමට රජය පියවර ගත යුතුයි. රාජ්‍ය ආයතන විශේෂයෙන් පාරිභෝගික සේවා අධිකාරිය වැනි ආයතන මේ පිළිබඳ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අඩු වශයෙන් සෑම ද්‍රව්‍යයකම නොවුණත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් තෝරාගෙන ඒවායේ මිල හැකි තරම් යම් මට්ටමක තබාගත යුතු වෙනවා. ඒත් රාජ්‍ය ආයතන තම වගකීම් හරිහැටි ඉටු නොකර සියල්ල ඔටෝ සිද්ධ වෙයි කියලා නිකං බලා ඉඳිල්ලයි මෙයට ප්‍රධාන හේතුව. සහල් ඇතුළු වැඩිදෙනා පාරිභෝජනයට ගන්නා භාණ්ඩවල මිල අඩු කළා නම් කෑම, රයිස්, කොත්තු වගේ දේවල මිල අඩු කරන්න පුළුවන් වෙනවා. අමුද්‍රව්‍යවල මිල ඉහළ මට්ටමක තබාගෙන අපි කොහොමද ආපන ශාලා ආහාරවල මිල අඩු කරන්න කියලා කියන්නේ. මෙහිදී පාරිභෝගික සේවා අධිකාරිය නිෂ්ක්‍රීයව සිටිමින් නෑසූ කන් ඇතිව, නොදුටු ඇස් ඇතිව ඉන්නවා. ඇතැම් භාණ්ඩවල මිල පහළ දැමීමට පියවර ගන්න ඒ අයට පුළුවන් නම් අනිත් ඒවා කර අරින්නේ කොහොමද? සියල්ලම කරන්න බැරි නම් අත්‍යවශ්‍ය දේවල් පමණක්වත් මිල පහළ හෙලිය යුතුයි. ඒත් එහෙම උත්සාහයක් ගන්නා බවක් අපට මේ දක්වා පෙනෙන්නේ නැහැ.
දැන් බලන්න පාන් ඇතුළු අත්‍යවශ්‍ය ආහාරවල මිල පහළ දමනවා කිව්වත් එය සිදුවෙලා නැහැ. ඇතැම් බේකරිකරුවන් පාන් ගෙඩිය රුපියල් දහයක් විතර මිල අඩු කළාට හොට් ඩෝග්ස්, රෝල්, කට්ලට්, බනිස් ආදී සීනි කෑමවලද මිල පහළ දමලා නැහැ. පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගිය දිනවල පාන්වල මිල පහළ දමලා වැටලීම් කළත් සෙසු ආහාර ද්‍රව්‍ය පිළිබඳ නොදන්නා ලෙසටයි ඉන්නේ. ඒ හින්දා තමා ඒවායේ මිල පරණ මට්ටමේ තියාගෙන ඉන්නේ. මේ තත්ත්වය වහාම නිවැරදි විය යුතුයි. ඒ දවස්වල හා හෝ ගාලා පාන් වැටලීම් කළාට මේ වනවිට ඒවා එච්චරයි. දැන් කිසිම පාන් ගෙඩියක නියමිත මිල හෝ ප්‍රමිතිය නැහැ. පාරිභෝගික කටයුතු අධිකාරිය මුළුමනින්ම කරන්නේ ප්‍රදර්ශනයක්. මොන සභාපති ආවත් වැඩක් නැහැ. අධිකාරිය මෙහෙයවන්නේ දූෂිත නිලධාරීන් කණ්ඩායමක්.
මේ වනවිට මුළු වෙළෙඳපොළම පාලනය කරන්නේ පුද්ගලික වෙළෙන්දන් කිහිප දෙනෙක්. මිල තීරණය කරන්නේ තොග හසුරුවන්නේ ඒ අයයි. රජයේ කිසිදු මැදිහත්වීමක් නැහැ. දුප්පතා ගසාගෙන කෑමට කූට ව්‍යාපාරිකයන්ට ඉඩදීලා බලධරයන් බලාගෙන ඉන්නවා.''
• යසවර්ධන රුද්රිගූ