''මෙයයි මා රුස් කළ නිධානය'' ධාතුසේන රජු (455 - 473) පැවසුවේ කලා වැව දෙස බලමින් ඒ දෙසට අත දිගු කරමිනි. රජු සඟවා ඇතැයි පැවසෙන නිධානය නොදීමෙන් කෝපයට පත් පුත් කාශ්‍යප පිය රජු මරා දමන ලෙස අණ කළේය. ඒ නියෝගය අනුව ධාතුසේන රජු කලා වැව් බැම්මට තබා මැටි ගසා මරා දමන ලද බව මහාවංශය සඳහන් කරයි. සමහරු විශ්වාස කරන්නේ ධාතුසේන රජු විසින් කලා වැවේ යම් තැනක සැබැවින්ම නිධානයක් තැන්පත් කර තිබූ බවත්, දෑත් දිගු කර නිධානය පෙන්වුවත්, කාශ්‍යප කුමාරයා විසින් එය වරදවා වටහා ගත් බවත්ය.
එදා පටන් අද දක්වාම විවිධාකාර ජනප්‍රවාද කලා වැවේ නිධානය ගැන ගෙතී පවතී. පසුගිය සතියේ අපට අසන්නට ලැබුණේ මේ නිධානය ගන්නට යම් පිරිසක් වැව් වාන අසල පර්වතය හාරා ඇති බවයි. වැව් වාන පාමුල ගල් පර්වත බහුලය. වාන් දමන ජලය රුලි නගමින් ගලා යන්නේ මේ පර්වත අතරිනි. පසුගිය දිනවල මහ වැස්සට වාන් දැමූ කලා වැව දැන් ජලය පිරී පවතින නිසල ජලාශයකි. මේ නිසා වානෙන් ජලය නිකුත් වන්නේ නැත. වාන පාමුල කළුගල් පර්වතය යාන්ත්‍රික උපකරණ භාවිතයෙන් නිදන් හොරු විදීමක් කර තිබේ. ඒ පසුගිය 19 දාට ආසන්න දිනකය. මහා පරිමාණ විදීමක් කර ඇත්තේ බලවතුන්ගේ අදෘෂ්‍යමාන අනුග්‍රහය මත බව නම් නිසැකය. සමහරවිට නිදන් අරන් පෝසත් වී ඡන්දයට වියදම් කිරීමටදැයි අපට සිතේ. ඒ සඳහා විශාල ශබ්දයක් පිටවන යාන්ත්‍රික විදුම් යන්ත්‍ර මෙන්ම එයට විදුලිය සැපයීමේ විදුලි උත්පාදක යන්ත්‍ර ද අවශ්‍ය වේ. ඒවා වනය මැදින් වාන අසලට ප්‍රවාහනය කිරීම ද වෙනම වැඩකි. වාරි රක්ෂිතයක් සහ වනජීවී උද්‍යානයක් වන බිමකට මේ යන්ත්‍ර අනවසරයෙන් රුගෙන යාම ද නීතිවිරෝධී වැඩකි. කෙසේ වුවත් ඒ නීතියට යටත් නැති අයද සිටින බව රටම දන්නා කරුණකි. මෙම වළ අඩි දෙකක් පමණ ගැඹුරට විදුම් යන්ත්‍ර යොදාගෙන හාරා තිබේ. ඉන් පිටතට ගත් කැඩුණු ගල් කැබලි ඒ අසල දක්නට ඇත.
සාමාන්‍ය පුද්ගලයකුට පිටවාන අසලට යාමට පවා නොහැකිය. එය අධි ආරක්ෂිත කලාපයකි. ඒ ගැන සඳහන් නාම පුවරු ද සවිකර තිබේ. එසේ ආරක්ෂක කලාපයක් බවට පත්කර ඇත්තේ වැවේ ආරක්ෂාව සඳහාය. මෙයට පෙර මහනුවර කුණ්ඩසාලේ රජ මාලිගා බිමේ තිබුණු අධික බරකින් යුත් සඳගල නම් කැටයමක් සහිත ගල් පර්වත කොටස විශාල ලොරියක පටවාගෙන ගියත් අදත් එහි හොරු නිදැල්ලේය. කලා වැව් වානටත් එයම වීමට බොහෝදුරට ඉඩ තිබේ.
ගොවීන් සඳහන් කරන්නේ මහවැලියේ ඇතැම් නිලධාරීන් පිරිසක් මෙම සිද්ධිය යටපත් කර ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරතව සිටින බවයි. බෝවතැන්න ජලාශ භාර ප්‍රධාන ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසන්නේ තමාට ද මෙම සිද්ධිය පිළිබඳව දැන ගැනීමට ලැබුණු බවත් මෙම සිදුවීම හේතුවෙන් වැවේ වානට ද දැඩි බලපෑමක් එල්ලවන නිසා වහාම නිලධාරීන් යොදවා පොලීසියට පැමිණිලි කරන ලෙස තමන් උපදෙස් දුන් බවත්ය.
පසුගිය 24 දා මහවැලි එච් කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයෝ පිරිසක් වැව් බැම්ම මත පිහිටි කඩවර දේවාලයේදී පොල් ගසා දේව කන්නලව්වක් ද සිදු කළහ. ගොවි නියෝජිතයන් ඉල්ලා සිටින්නේ මේ අපරාධය කළ පිරිස නීතිය හමුවට රුගෙන එන ලෙසයි. අපරාධ ස්ථාන පරීක්ෂක පොලිස් නිලධාරීන් ද පැමිණ මෙය පරීක්ෂා කර තිබේ.
අනුරාධපුර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ආර්.ජී. ජයතිලක සඳහන් කළේ මේ පිළිබඳව ස්ථානීය පරීක්ෂාවක් සිදුකර ඉන් කොපමණ හානියක් සිදුව තිබෙනවාද යන්න ගැන වාර්තාව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මැන්ඩිස්ට සහ ඒ ගැන පරීක්ෂණ සිදු කරන ඉපලෝගම පොලීසියට බාරදීමට කටයුතු කරන බවයි. මේ වාර්තාව සැකසීම සඳහා අනුරාධපුර පුරාවිද්‍යා ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරීන් ගොස් පරීක්ෂාවක් සිදුකර තිබේ. කලා වැවේ ප්‍රධාන වේල්ලේ පිටවානට ඉතා ආසන්නයෙන් තමයි මේ කැණීම සිදුකර තිබෙන්නේ. පසුගිය 19 දා ආසන්න දිනයක දී මෙම කැණීම් සිදුකර ඇති අතර මේ නිසා කලා වැවේ දියවර භාවිත කරන ගොවීහු දැඩි අසතුටට පත්ව සිටිති. මෙම කැණීම් නිසා වේල්ලට ද අයහපත් බලපෑමක් සිදුවිය හැකි බව ඔවුහු පවසති. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති අතර ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකරන බව ඉපලෝගම පොලීසිය පවසයි. ඒ අතරම පුරාවිද්‍යා වාර්තාව ලැබුණු වහාම මේ සිද්ධිය ගැන කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලීසිය පැවසුවේය.
කලා වැව මහවැලි අධිකාරියෙන් පාලනය වන ස්ථානයක් වූ නමුත් මෙහි ආරක්ෂිත කලාපයේ බෝට්ටු සවාරි සඳහා පෞද්ගලික අයකුට අවසර ලබා දී ඇති බව ද වාර්තා වේ.
එම අවසරය ලබාගත් පුද්ගලයන් අධි ආරක්ෂිත ප්‍රදේශවල සංචාරකයන් රුගෙන ගොස් තාවකාලිකව කූඩාරම් තැනීම, එම ස්ථානවල නැවතී රුය පහන් කිරීම ආදී කටයුතුවල නිරත වන බවත් ගොවී සංවිධාන නියෝජිතයෝ පවසති.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මෙම ස්ථානයට ගොස් පරීක්ෂා කළේය. ඔහු ඒ ගැන මෙසේ සඳහන් කරයි:
''වැව වාන අසල හාරලා තිබෙන බව මම ඇස් දෙකටම දැක්කා. එතැන තිබුණු යම්කිසි පුරාවස්තුවක් ලබාගත් බවටත් සාධක පවතිනවා. මේ ඓතිහාසික ජලාශයට ආරක්ෂාව කෝ.. මහවැලි අධිකාරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට කලා වැව අයිති වෙනවා. ඒ නීති මෙතැනටත් බලපානවා. මේක කලා වැවට කරපු අපහාසයක්. අදාළ අපරාධකරුවන් මේකට වන්දි ගෙවිය යුතුයි.''
ධාතුසේන රජු විසින් කරවූ මෙම මහා ජලාශයේ ජල ධාරිතාවය අක්කර අඩි ලක්ෂයකි. අලුත් මිනුම් අනුව කීවොත් ඝන මීටර මිලියන 123 කි. වැවේ විශාලත්වය අක්කර හයදහස් තුන්සිය අසූවක් වේ.
කලා වැව සොරොව් හයකින් සමන්විතය. මේවායින් කුඹුරු අක්‌කර 62829කට පමණ දියවර සැපයීම සිදු වේ. මෙම වාරි කලාපයේ කලා වැව, ගොඩ ඇළ, බළලු වැව හා යෝධ ඇළ පුරාණ නිර්මාණය වන අතර ජය ගඟ, වම් ඉවුරු ඇළ හා දකුණු ඉවුරු ඇළ මහවැලි ව්‍යාපාරය යටතේ නිර්මාණය කරන ලද නව වාරිමාර්ගයි.
පළමුවැනි විජයබාහු සහ මහා පරාක්‍රමබාහු යන රජවරු මේ වැව ප්‍රතිසංස්කරණය කළත් 13 වැනි සියවසෙන් පසු රජරට වනගත වෙද්දී කලා වැවත් වනයට යට වේ. වැව් බැම්ම ස්ථාන කිහිපයකින්ම කැඩී ගිහින් ජරාවාස විය. 1862 දී මේජර් පෝබ්ස් සහ ජෝර්ජ් ටර්නර් කලා වැව නිරීක්ෂණය කරන විට ඒ වනවිටත් පැරණි සොරොව්ව පිටවාන සහ බිසෝකොටුව හොඳ තත්ත්වයක පැවති බව දැක ඒ ගැන වාර්තා කර තිබේ.
ඉංග්‍රීසි ආණ්ඩුව කලා වැවේ ප්‍රතිසංස්කරණය නිම කරන්නේ 1887 දීය. එහි පිහිටුවා ඇති ඵලකයක සඳහන් වන්නේ වික්ටෝරියා මහ රුජනගේ පනස්වැනි වර්ෂය වෙනුවෙන් ආණ්ඩුකාර ආතර් හැමිල්ටන් ගෝඩන්ගේ කාලයේ එය ප්‍රතිසංස්කරණය කරවූ බවයි. මෙම ප්‍රතිසංස්කරණයට කලාගම් පළාතේ රටේ මහත්තයා වූ රත්වත්තේ ලොකුබණ්ඩා කම්කරුවන් සපයා ගැනීමට ආධාර කළ බවත් එහි සඳහන් කර ඇත.
1930 ගණන්වල මෙහි යළිත් ජනපද ව්‍යාපාරයක් ඇතිකොට සේනපුර, අලුත්දඹවටවන, අලුවිහාරේගම වැනි ගම්මාන පිහිටුවනු ලැබූ අතර එය සම්පූර්ණයෙන් සාර්ථක වුණේ නැත.
ඊට කාලයකට පසු 1970 දශකයේ පොල්ගොල්ල බෝවතැන්න ජලාශ ඉදිකර මහවැලි ජලය කලා වැවට සපයා ජල ධාරිතාවය වැඩි කළාට පසුව මේ අවට ජනාවාස විශාල වශයෙන් වර්ධනය විය.
කලා වැව ආරක්ෂා කරන බව ප්‍රදේශවාසීන් විශ්වාස කරන්නේ කඩවර දෙවියන් විසිනි. වැව් බැම්මට එන කවුරුත් කඩවර දේවාලයට පඬුරක් දමා යාමට අමතක නොකරති. ජනප්‍රවාදයකට අනුව කලා වැවේ සියලු කටයුතු අවසන් කර දියවර සැපයීමේ හා වැව ආරක්‍ෂා කිරීමේ මූලික කටයුතු ධාතුසේන රජු කඩවර නැමැත්තාට පවරා දුනි. දිනක් මහා වර්ෂාවක් නිසා කලා වැව පිරී ඉතිරී යෑමේදී වැවේ බැම්මේ කුඩා සිදුරකින් ජලය කාන්දු වීමට පටන්ගෙන තිබේ. ක්‍රමයෙන් දිය කාන්දුව වැඩි වෙනවා දුටු කඩවර එය ඉවසාගත නොහැකිව ජලයට පැන ජලය කාන්දු වන තැනට හිස ඔබාගෙන සිට එම ජල කාන්දුව නතර කළාලු. ජලය තුළ රුඳී සිටීමෙන් කඩවර මියගියත් දැන් ඔහු දෙවියෙක් ලෙස සලකා වැඳුම් පිදුම් කෙරේ.
කලා වැව අවට පාරිසරික කලාපය ජාතික උද්‍යානයක් ලෙස 2015 ඔක්තෝබර් 17 දා ප‍්‍රකාශයට පත්වුණි.
දැන් රටම බලා සිටින්නේ කලා වැවට අපහාස කළ අපරාධකරුවන් අල්ලාගන්නා තෙක්ය. ඒත් අප මෙයට පෙරත් පැවසුවා සේ ලබන සතිය වනවිට කලා වැව් වානේ සිද්ධිය කාටත් අමතක වීමට පුළුවන.
සේයාරූ - අන්තර්ජාලයෙනි.
• කුසුම්සිරි විජයවර්ධන