2024 ජුනි 29 වන සෙනසුරාදා

වෙස්සගිරියේ උරුම උද්‍යානය

 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 71

මහ පොළොවේ සිට අඩි 50ක් පමණ උසකින් පිහිටි ගල් පර්වත සමූහයේ ඇතැමක කටාරම් කෙටූ ලෙනකි. තවත් තැනක පැරණි සංඝාරාමවල නටබුන්ය. සමහර ලෙනක සෙල්ලිපි කොටා ඇත්තේ බ්‍රාහ්මී අක්ෂරයෙනි. නුග ගස්වල කයිරු මුල් සුළඟට සෙලවෙමින් මේ නිසංසල අරණ තවත් අපූර්වත්වයට පත් කරයි. මේ අනුරාධපුරයේ වැඩි දෙනකු නොයන වෙස්සගිරිය සංඝාරාමයයි. සුන්දර වටපිටාවක පිහිටි වෙස්සගිරිය පුරාවිද්‍යා ස්ථානය “උරුම උද්‍යානයක්'' බවට පත් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ වනවිට කටයුතු කරමින් සිටී. වෙස්සගිරිය උරුම උද්‍යානයක් බවට පත් කිරීමේ මූලික අදියර යටතේ එහි අක්කර 26 කින් යුත් සමස්ත ස්මාරක භූමිය ප්‍රදර්ශන මට්ටමට සකස් කිරීමේ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය මගින් සිදු කරයි. 

වෙස්සගිරිය උරුම උද්‍යානයක් බවට පත්කිරීමේ වැඩසටහන බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක හා අමාත්‍යංශ ලේකම් එච්.එම්.පී.බී. හේරත් මහත්වරුන්ගේ උපදෙස් මත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදු කිරීමට නියමිතය. මේ ගැන අප සමඟ අදහස් දක්වමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් දේශය සමඟ මෙසේ පැවසුවේය: 

&මෙම උරුම උද්‍යාන වැඩසටහනේ මූලික කලාප තුනක් ලෙස සකස් කිරීමට සිදුවෙනවා. අපේ උරුමය සහ පුරාවිද්‍යාව ගැන පර්යේෂණ කරන අයට සුදුසු පර්යේෂණ අවකාශයක් ලෙස සකස් කිරීම, මානසික සුවතාවය අවශ්‍ය අයට භාවනා කිරීමට සුදුසු තැන් කිහිපයක් සැකසීම සහ විවේකයෙන් මේවා නරඹා සතුටු වීමට අවශ්‍ය සංචාරකයන්ට විවේකයෙන් සිටීමට සුදුසු තැන් නිර්මාණය කිරීම වශයෙන් මෙය සංවර්ධනය කෙරෙනවා. පුරාවිද්‍යා ස්ථාන සහ මහජනයා අතර සබඳතාව වර්ධනය කිරීමටයි මේ වැඩසටහන සැලසුම් කර තිබෙන්නේ.''  

අලංකාර භූමි සැලසුමකින් යුත් ගල්ලෙන් සහිත මේ සොඳුරු බිම ශ්‍රී මහා බෝධියේ සිට කිලෝමීටරයක් පමණ දුරකින් පිහිටා ඇත. ගස්වැලින් පිරුණු එහි අලංකාර වටපිටාවක් දැකගත හැකිය. තිසා වැව පිහිටියේ එයට නුදුරිනි. ඉසුරුමුණිය, රන්මසු උයන හා වෙස්සගිරිය එක ආසන්නව පේන දුරින් පිහිටි ඓතිහාසික තැන් තුනකි.

මහාවංශයට අනුව මුල් කාලයේ දී දේවානම්පියතිස්ස මහ රජු විසින් විහාරාරාම කිහිපයක්ම ගොඩනංවන ලද අතර සෑගිරිය (මිහින්තලය), ඉසුරුමුණිය, වෙස්සගිරිය, ථූපාරාමය ආදී විහාරාරාම ඒ අතරින් කිහිපයකි. නමුත් මහාවංශයේ සඳහන් වෙස්සගිරිය අද අප පවසන වෙස්සගිරිය නොවන බවට මත ඉදිරිපත් වී ඇත. මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගේගේ අදහසට අනුව “වර්තමාන වෙස්සගිරිය හා ඉසුරුමුණිය යන ස්ථාන දෙකම පැරණි ඉසුරුමුණි විහාරයට අයත් පූජනීය ස්ථාන වේ. මෙහිදී හමුවූ සෙල්ලිපිවල සඳහන් වන්නේ මෙම ස්ථානය “ඉස්සරසමණ විහාරය” ලෙසිනි.

වෙස්සගිරිය ලක්දිව මුල් බුදු සමය කාලයේ ලෙන් ආරමයක් බවට පත්ව ක්‍රමයෙන් වර්ධනය වී බොහෝ කාලයක් සැලකිය යුතු මට්ටමක පැවති ආරාමයක් බව එහි හමුවන නටබුන් අනුව පැහැදිලිය. මෙම ස්ථානයේ තිබී කියැවූ ලෙන් ලිපි කිහිපයක්ම මහාචාර්ය සෙනරත් පරණවිතාන විසින් ප්‍රකාශයට පත් කර ඇත. 

වෙස්සගිරියේ තිබී හමුවූ සිව්වැනි මහින්ද රජුගේ (ක්‍රි.ව. 956-972) කාලයට අයත් ශිලා ලේඛනයක ‘ඉසුරමෙනු බෝ උපුල්වන් කසුබ්ගිරි රද් මහ වෙහෙර්’ යන ප්‍රකාශය දක්නට ලැබේ.  

ඒ අනුව 10 වැනි සියවස වන විට මෙම විහාරය “ඉසුරුමෙණු” නොහොත් “ඉස්සරසමණ” නොහොත් “ඉසුරුමුණි” විහාරය වශයෙන් හඳුන්වා තිබෙන බව පැහැදිලි වේ. එසේම මෙම විහාරයට විවිධ කාලවකවානුවලදී “බොය උපුලවන කසුප් ගිරි රජ මහ වෙහෙර” (බෝධි උප්පලවන්නා කස්සපගිරි රජමහ විහාරය), කසබගිරියේ වහර (කස්සපගිරි විහාරය) හා බො උපුල්වන් කසුබ්ගිරි රද්මහ වෙහෙර යනුවෙන් ද හඳුන්වා දී තිබුණු බව මූලාශ්‍ර සාක්‍ෂි දරයි.

මෙම සුන්දර පුරාවිද්‍යා භූමිය උතුරු – දකුණු දිශානුගතව විහිදෙන පර්වත තුනකින් සමන්විතය. මෙම බිමේ ඇති සුවිශේෂතාව වනුයේ අනුරාධපුර පැරුණි නගරයට ආසන්නවම පිහිටි ගල්ලෙන් සහිත පර්වත සංකීර්ණයක් වීමයි.

මෙහි මැද පිහිටි පර්වතය ආශ්‍රිතව ගල්ලෙන් 13 කි. දකුණු සංකීර්ණයේ ගල්ලෙන් 11 කි. එහෙත් උතුරු පර්වතයේ එක් ගල් ලෙනක් හෝ හමු නොවේ. සඳකඩපහන්, කොරවක් ගල් ආදී වාස්තු විද්‍යා නිර්මාණ අනුව බලද්දී වැදගත් සංකීර්ණය වන්නේ උතුරු ගල් පර්වතයයි. එහි උස් ස්ථානයක එකිනෙකට ආසන්නව කුඩා ප්‍රමාණයේ ස්තූප දෙකක පාදම හඳුනාගත හැකිය. බටහිර දෙසින් වෙස්සගිරියේ බෝධිඝරය තිබූ තැන ද දක්නට ලැබේ. එය කැණීම් කර සංරක්ෂණය කර තිබේ. ස්තූප වශයෙන් නටබුන්ව තිබෙන ස්ථාන හයකට වැඩි ප්‍රමාණයක් මෙහි හඳුනාගත හැකිය. ගොඩනැගිලි කිහිපයක් තිබූ බව පර්වතය පාමුල ගල් කණුවලින් පැහැදිලි වේ. 

වෙස්සගිරිය විහාරයට අයත් වන ප්‍රධාන ගුහාවේ ගලින් නිර්මාණය කළ පියගැටපෙළ පසුකර ගුහාවට ඇතුළු වුණු විට දකුණුපස පිහිටි ගල් පව්වේ බිතු සිතුවම් කිහිපයක් දක්නට ලැබේ. එලෙස දක්නට ලැබෙන සිතුවම් අතර කාන්තා රෑප දක්නට ලැබුණත් සෙසු සිතුවම් පිළිබඳව නිශ්චිතවම අදහසක් දැක්වීමට හැකියාවක් නැත්තේ සමහර සිතුවම් කොටස් මැකී ගොස් ඇති නිසායි. එහි ඇති සිතුවම්වල ඇති කාන්තා රෑප අතර මල් අතින් ගෙන සිටින කාන්තා රෑප, වැඳගෙන සිටින කාන්තා රෑප සහ වාඩි වී සිටින කාන්තා රෑප දැකිය හැකියි. මෙම විහාරයේ ඇති සිතුවම් සීගිරි සිතුවම්වලට ද සමානකමක් දක්වයි. එසේම ගුප්ත කලා සම්ප්‍රදායේ යම් ලක්ෂණ ද මෙම සිතුවම් තුළින් පිළිබිඹු වේ. අනුරාධපුර යුගයට අයත් මේ සිතුවම් අද වනවිට බොහෝදුරට මැකී ගොස් තිබේ. වෙස්සගිරි විහාර භූමිය තුළ දක්නට ලැබෙන මෙම චිත්‍ර 1972 වසරේ දී සංරක්ෂණය කරනු ලැබුවේය. එම සංරක්ෂණ කටයුතු බාරව කටයුතු කළේ 1967 වසරේ දී විනාශයට පත්වුණු සීගිරි සිතුවම් සංරක්ෂණය කළ ලුසියානෝ මරන්සි නම් ඉතාලි ජාතිකයායි. ඉන් පසුව 1984 වසරේ දී මෙම සිතුවම් යළිත් සංරක්ෂණය කිරීමෙන් පසුව ආරක්ෂාව සඳහා වැටක් ද ඉදිකර වර්තමාන තත්ත්වයට පත් කර ඇත. 

ඉදිරියේ දී මේ පුරාවිද්‍යා විස්කම් දෙස බලමින් සිත් පහන් කර ගැනීමටත් විවේකයෙන් කල්ගත කිරීමටත් හැකිවනු ඇත. එවිට අදටත් වඩා නරඹන්නන් පිරිසක් වෙස්සගිරියට ඇදී එනු නියතය.


 සේයාරූ -  අන්තර්ජාලයෙනි
•    කුසුම්සිරි විජයවර්ධන

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05