2024 ජුනි 29 වන සෙනසුරාදා

රුපියල් පනහට රඟපා ඉන්දියාවේ ධනවත්ම නළුවා වූ කිං ඛාන්

 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:04 180

අතීතයේ බොලිවුඩ් සිනමාවේ සුපිරි තරු ලෙස වැජඹුණේ දිලිප් කුමාර්, රාජ් කපූර්, රාජේෂ් කන්නා වැනි නළුවන්ය. වර්තමානයේ බොලිවුඩ් සිනමාවේ රජු ලෙස කිරුළ දරා ඇත්තේ ෂාරුක් ඛාන් ය. ඔහු බොලිවුඩ් සිනමාව තුළ හැඳින්වෙන්නේ කිං ඛාන් ලෙසිනි. ඔහු බොලිවුඩ් චිත්‍රපට 107ක පමණ රඟපා ඇති අතර, ලොව පුරා ආසියානු සහ ඉන්දියානු ඩයස්පෝරාව තුළ ඔහුට ආදරය කරන රසික රසිකාවියෝ විශාල පිරිසක් සිටිති. 2024 වනවිට කිං ඛාන්ගේ ශුද්ධ වත්කම ඉන්දියානු රුපියල් කෝටි 6300ක් යැයි ෆෝබ්ස් සඟරාව අනාවරණය කර තිබේ. 2020 වසරේ ඔහු සතුව ඉන්දියානු රුපියල් කෝටි 5131ක් පමණ වත්කමක් පැවතියේය.

චිත්‍රපටයක රඟපෑම සඳහා වැඩිම මුදලක් අය කරන බොලිවුඩ් සහ කොලිවුඩ් නළුවන් අතර ඉදිරියෙන්ම සිටින්නේ ෂාරුක් ඛාන් ය. ඔහු චිත්‍රපටයක රඟපෑම සඳහා ඉන්දියානු  රුපියල් කෝටි 150ත් 250ත් අතර මුදලක් අය කරයි. දෙවැනි ස්ථානයේ සිටින්නේ රජිනිකාන්ත් ය. ඔහු රුපියල් කෝටි 150ත් 210ත් අතර මුදලක් අය කරයි. තෙවැනියට ජෝසප් විජේ ද (කෝටි 130ත් 200ත් අතර) සිව්වැනියට ප්‍රභාස් ද (කෝටි 100ත් 200ත් අතර) පස්වැනියට අමීර් ඛාන් ද (කෝටි 100ත් 175ත් අතර) සයවැනියට සල්මාන් ඛාන් ද (කෝටි 100ත් 150ත් අතර) සත්වැනියට කමල් හසන් ද (කෝටි 100ත් 150ත් අතර) අටවැනියට අල්ලු අර්ජුන් ද (කෝටි 100ත් 125ත් අතර) නව වැනියට අක්ෂේ කුමාර් ද (කෝටි 60ත් 145ත් අතර) සහ දසවැනියට අජිත් කුමාර් ද (කෝටි 105) වෙති.

මෑත කාලයේ ෂාරුක් ඛාන් රඟපෑ පතාන් චිත්‍රපටය සඳහා ඔහු රුපියල් කෝටි 200ක් අය කළ අතර ඔහුගේ මෑත කාලීන බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් වූ ජවාන් සඳහා රුපියල් කෝටි 100ක් අය කළේය. ඔහු එම චිත්‍රපටයේ නිෂ්පාදකයකු වූ හෙයින් ලද ලාබයෙන් 60% ක්ද හිමිවූයේ ඔහුටය. ජවාන් සහ පතාන් ලොව පුරා ප්‍රදර්ශනය කිරීමෙන් උපයාගත් ආදායම රුපියල් කෝටි 2000 ඉක්මවූ අතර ඔහුගේ නවතම චිත්‍රපටය වන ඩන්කි බොලිවුඩයේ ඉහළම ආදායම් ලබන චිත්‍රපටයක් බවට පත්ව තිබේ. පතාන් සහ ජවාන් යන චිත්‍රපට දෙකම ලොව පුරා හින්දි සිනමාවේ දෙවැනි සහ තුන්වැනි විශාලතම ආදායම උපයා දුන් හින්දි චිත්‍රපට දෙක වූ අතර රුපියල් කෝටි 1000 බැගින් උපයා දුන් චිත්‍රපට දෙකක රඟපෑ පළමු ඉන්දියානු නළුවා වන්නේ ද ෂාරුක් ඛාන් ය. (ඉන්දියානු සිනමාවේ වැඩිම ආදායමක් ලද චිත්‍රපටය වූයේ අමීර් ඛාන් නිෂ්පාදනය කළ දාංගල් චිත්‍රපටයයි. එය ඉන්දියානු රුපියල් කෝටි 2023ක් ඉපැයීය. දමිළ සිනමාවේ බහුබලි 2 කෝටි 1810 ක්ද, තෙළිඟු චිත්‍රපටයක් වූ ආර්ආර්ආර් කෝටි 1387 ක්ද, කන්නඩ චිත්‍රපටයක් වූ කේජීඑෆ් චැප්ටර් 2 කෝටි 1250 ක්ද උපයා තිබිණි.) 

ෂාරුක් ඛාන්ගේ චිත්‍රපට නිෂ්පාදන සමාගම වන රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් ආයතනය මගින් නිෂ්පාදනය කළ බොහෝ චිත්‍රපට ඉතා සාර්ථක විය. ඒ අතර මේන් හූන් නා, අසෝක, චල්තේ චල්තේ, ඕම් ශාන්ති ඕම්, මයි නේම් ඊස් ඛාන්, බද්ලා, ඩාලින්ග්ස්,  දිල්වාලේ,  ඩියර් සින්දගී,  සීරෝ, චෙන්නායි එක්ස්ප්‍රස්, හැපි නිව් ඉයර්, ජවාන් සහ 2024 දී නිපදවූ බාක්ෂාක් වැනි සාර්ථක චිත්‍රපටවලින් උපයා ඇති ආදායම  අති විශාලය. එ‍මෙන්ම 1958 න් පසු නිෂ්පාදනය කෙරුණු බොහෝ පැරණි චිත්‍රපටවල වර්තමාන හිමිකාරිත්වය ද රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට්ස් සතුය. ඒ අතර අම්රපාලි, මනෝරන්ජන් මන්දි, ජාල්, ෂිකාරි, දාමිනි, හේ රාම්, දේව්දාස්, ස්වදේශ්, යුවා සහ ගුරු වැනි චිත්‍රපටද වේ. රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් ආයතනය ඉතා ලාභදායී ආයතනයකි. &දි ඉකොනොමික් ටයිම්ස්* පුවත්පතට අනුව, එහි වාර්ෂික පිරිවැටුම ඉන්දියානු රුපියල් කෝටි 500 ක් පමණ වේ. මෙම සමාගම 2002 වසරේ දී ආරම්භ කරන ලද්දේ ෂාරුක් ඛාන් සහ ඔහුගේ බිරිය ගෞරි ඛාන් විසිනි.
වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටීමෙන් ඔහු උපයා ගන්නා මුදල ද අති විශාලය. දන්තාලේපයේ සිට රථවාහන, සුවඳ විලවුන්, ජංගම දුරකථන වැනි වෙළෙඳපොළේ ඇති සෑම නිෂ්පාදනයකම ප්‍රවර්ධනය සඳහා ඔහු පෙනී සිටින අතර එක් වෙළෙඳ දැන්වීමක් සඳහා රුපියල් කෝටි 4ත් 5ත් අතර මුදලක් අය කරයි. 

ව්‍යාපාර රුසක හිමිකරුවකු වන ෂාරුක් ඛාන් සුඛෝපභෝගී මෝටර් රථ රුසක හිමිකරුවෙකි. (රොල්ස් රොයිස්, පැන්තම්, බෙන්ට්ලි කොන්ටිනෙන්ටල්, ඩ්‍රොප්හෙඩ් කූප්, බුගටි වෙරොන් බීඑම් ඩබ්ලිව් 7 වර්ගයේ මෙම රථ ඉන්දියානු රුපියල් කෝටි 1 සිට කෝටි 14 දක්වා වන අගයකින් යුතුය.) පෞද්ගලික ජෙට් යානා, මුම්බායි, ඩුබායි, ලන්ඩන් හි නිවාස කිහිපයක් සහ දේපළ වෙළෙඳාම් ආයෝජන සමාගම් කිහිපයක් හිමිය. මුම්බායි හි මනාට් නගරයේ ඇති ඔහුගේ මහල් හයකින් යුතු නිවෙස සුඛෝපභෝගී විලා 10 කින් යුතුය. එහි අගය ඉන්දියානු රුපියල් කෝටි 250ක් පමණ වේ. ලොව පුරා ස්ථාන 30 ක ක්‍රියාත්මක වන පෞද්ගලිකව පවත්වාගෙන යනු ලබන ගෘහස්ථ පවුල් විනෝදාස්වාද මධ්‍යස්ථාන සමූහයක් වන &කිඩ් ෂානියා* නමැති ව්‍යාපාරයෙන් සියයට 26 ක හිමිකම ඇත්තේ ෂාරුක්ට බව බොහෝ දෙනා නොදනිති. ඒවාට වසරකට මිලියන 9 ක ජනතාවක් පැමිණෙති. මධ්‍යම ලන්ඩනයේ පාක් වීදියේ ඩොලර් මිලියන ගණනක් වටිනා මහල් නිවෙසක්ද ඔහු සතුය. ඩුබායි හි පාම් ජුමේරියා වෙරළාසන්නයේ පිහිටි කාමර 6 කින් යුතු නිවෙස ද ඉන්දියානු රුපියල් කෝටි 200 කට වඩා වටිනාකමින් යුතුය.

චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වන රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් සහ එහි අනුබද්ධ ඩ්‍රීම්ස් අන්ලිමිඩට් වැනි සමාගම්වල සම සභාපතිවරයා වන ඔහු ඉන්දියානු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන කොල්කටා නයිට් රයිඩර්ස් සහ කැරිබියානු ප්‍රිමියර් ලීග් හි ට්‍රින්බගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සම හිමිකරු ද වේ. කොල්කටා නයිට් රයිඩර් හි ෂාරුක් ඛාන්ට පෞද්ගලික කොටස් නොමැති වුවද ඔහුගේ චිත්‍රපට නිෂ්පාදන ආයතනය වන රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් සමාගමට ඉන් සියයට 55 ක කොටස් හිමිය. ඒ අනුව වක්‍රව එහි හිමිකරු වන්නේ ෂාරුක් ය. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අයිපීඑල් ක්‍රීඩා කරන කණ්ඩායම් අතර තුන්වැනියට වටිනාකම හිමි කණ්ඩායම වන අතර එහි අගය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1 ක් ලෙස සඳහන්ය.

ෆිනෑන්ෂල් එක්ස්ප්‍රස් වෙබ් අඩවි වාර්තාවකට අනුව, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට අනුග්‍රහය දක්වන්නන් හට ඔවුන්ගේ වෙළෙඳ ලාංඡනය කොල්කටා නයිට් රයිඩර්ස් ක්‍රීඩකයන්ගේ ඇඳුමේ පසුපස ප්‍රදර්ශනය කිරීම සඳහා ඉන්දියානු රුපියල් කෝටි 10ත් 12ත් අතර මුදලක් සහ ඉදිරිපස ප්‍රදර්ශනය කිරීම සඳහා රුපියල් කෝටි 8ත් 22ත් අතර මුදලක් ගෙවීමට සිදුවේ. 

සිංගප්පූරුවේ වෙල්ත් එක්ස් නැමැති වෙබ් අඩවිය සඳහන් කරන පරිදි ෂාරුක් ඛාන් ගේ  ආදායම සෑම වසරකම සියයට 8 කින් පමණ ඉහළ ගොස් තිබේ. 2025 වන විට ඔහුගේ සමස්ත වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවන බවට ගණන් බලා ඇත.

විවාහ මංගල උත්සව සැමවිටම ඉන්දියාවේ විශාල ගනුදෙනුවක් වී ඇති අතර එය ලොව පුරා ජනප්‍රිය වී ඇත්තේ &බිග් ෆැට් ඉන්දියන් වෙඩිංග්ස්* ලෙසිනි. මෙම අතිවිශිෂ්ට මංගල සාදවල උත්කර්ෂවත් අවස්ථා වන්නේ බොලිවුඩයේ ජනප්‍රිය පුද්ගලයන්ගේ සහභාගිත්වයයි. ෂාරුක් ඛාන් මෙම විවාහ මංගල උත්සව සඳහා වඩාත් ජනප්‍රියම තැනැත්තා වේ. විවාහ මංගල්‍යයකට සහභාගී වීම සඳහා කිං ඛාන් ඉන්දියානු රුපියල් කෝටි 4 සිට 8 දක්වා මුදලක් අය කරන බව වාර්තා වේ.

1965 නොවැම්බර් 2 වැනි දින නවදිල්ලියේදී මීර් ටජ් මොහොමඩ් ඛාන් සහ ලතීෆ් ෆාතිමාට දාව උපත ලද ෂාරුක් අධ්‍යාපනය ලැබුවේ ශාන්ත කොලොම්බා විද්‍යාලයෙන් සහ හන්ස්රාජ් විද්‍යාලයෙනි. ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් සතු ඔහුගේ රංගන දිවිය ආරම්භ වූයේ 1988 නිර්මාණය කෙරුණු ‘දිල් දාරියා’ නමැති ටෙලි කතා මාලාවෙනි. ඉන් වසරකට පසුව ‘ෆවුජි’ නමින් තවත් රෑපවාහිනි මාලා නාටකයට දායක විය. දුරදර්ශන් රෑපවාහිනීයේ ෆවුජි නමැති ටෙලි කතා මාලාවේ එක් කථාංගයක රඟපෑම වෙනුවෙන් ඔහුට ලැබුණේ ඉන්දියානු රුපියල් 50 කි. 1988 සිට වර්තමානයේ බොලිවුඩයේ රජු ලෙස කිරුළු පැළඳීම සඳහා ඔහු බොහෝ වෙහෙසක් දැරීය. 

2011 දී ටෙලි කතා මාලාවක රඟපෑම සඳහා එක් කථාංගයකට ඔහුට ඉන්දියානු රුපියල් කෝටි 2.5 ක් ගෙවන්නට නිෂ්පාදකයන්ට සිදුවූයේ ඔහුගේ ජනප්‍රියත්වය හේතුවෙනි. 

2007 දී ෂාරුක් ජනප්‍රිය ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් වූ ‘කෞන් බෙනෙගා ක්‍රොර්පති’ නමැති වැඩසටහන් ඉදිරිපත් කළ අතර, පසුව ක්‍යා ආප් පන්ච්වි පාස් සේ තෙස් හයින්, සෝර් කා ජත්කා වැනි රෑපවාහිනී වැඩසටහන් කිහිපයක්ම මෙහෙයවන්නට ඔහුට අවස්ථාව ලැබිණි. 1992 දී දීවානා නමැති සිනමාපටයෙන් ඔහු බොලිවුඩ් සිනමාවට පිවිසියේය. ඔහුගේ වෘත්තීය දිවියේ මුල් අවධියේදී බාසිගර්, ඩාර් සහ අංජම් වැනි චිත්‍රපටවල ඔහු රඟපෑවේ දුෂ්ට චරිතය. පසුව ඔහු දිල්වාල් දුල්හානියා ලෙ ජයෙන්ගේ, දිල් තො පගල් හෙ, කුච් කුච් හෝතා හෙ, මොහබ්බතීන් සහ කබී කුෂි කබී ගම් යන චිත්‍රපටවල ප්‍රේමවන්තයා විය. දේව්දාස්, ස්වදේශ්, චක් දේ වැනි චිත්‍රපටවල ඔහුගේ රංගනය විචාරකයන්ගේ පැසසුමට ලක් විය. මයි නේම් ඊස් ඛාන්, චෙන්නායි එක්ස්ප්‍රස්, හැපි නිව් ඉයර්, දිල්වාලේ, රීස් වැනි චිත්‍රපට විශාල ආදායම් වාර්තා තැබීය.

සමාජ සේවා කටයුතු සඳහා මිලියන ගණනින් තම ධනය වැය කරන ෂාරුක් ඛාන් සෞඛ්‍ය ආරක්ෂණය සහ ආපදා සහන සඳහා දක්වා ඇති දායකත්වය විශාලය. ඒ උදෙසා ඔහුට යුනෙස්කෝවේ &පිරමිඩ් කොන් මාර්නි* සම්මානය හිමි වූ අතර ඉන්දියාවේ කාන්තා හා ළමා අයිතිවාසිකම් දිනා ගැනීමේ ක්‍රියාවලියට නායකත්වය ලබා දීම උදෙසා ලෝක ආර්ථික සංසදයේ ක්‍රිස්ටල් සම්මානය ද හිමි විය.

ඉන්දියානු සංස්කෘතියේ වඩාත්ම බලගතු පුද්ගලයන්ගේ ලැයිස්තුගත කිරීම්වල ඔහු ඉදිරියෙන්ම සිටින්නෙකි. 2008 දී නිව්ස්වීක් සඟරාව ඔහු ලොව බලවත්ම පුද්ගලයන් පනස් දෙනාගෙන් කෙනකු ලෙස නම් කළේය. 

ෂාරුක් ඛාන් ෆිල්ම්ෆෙයාර් සම්මාන 14ක් දිනා ඇති අතර ඉන් සම්මාන 8ක් හොඳම නළුවා ලෙසිනි. 2005 දී ඉන්දීය රජය පිරිනමන පද්ම ශ්‍රී සම්මානය ද, 2007 දී ප්‍රංශ රජයෙන් පිදෙන ඔඩර් ඔෆ් ආට්ස් ඇන් ලෙටර්ස් සම්මානය සහ 2014 දී පස්වැනි ගණයේ ලීජන් ඔෆ් ඔනර් සම්මානය ද ඔහුට හිමිවිය. ඔහුට විශ්වවිද්‍යාල පහකින් සම්මාන ආචාර්ය උපාධි පිරිනමා තිබේ. එංගලන්තයේ බෙඩ්ෆෝර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලය, ස්කොට්ලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලය, හයිද්‍රබාදයේ මවුලානා අසාද් උර්දු විශ්වවිද්‍යාලය, එංගලන්තයේ නීති විශ්වවිද්‍යාලය සහ ඔස්ට්‍රේලියාවේ ලා ට්‍රෝබේ විශ්වවිද්‍යාලය ෂාරුක් ඛාන් අගැයීමට ලක් කළ විශ්වවිද්‍යාල වේ.

තම ප්‍රථම ටෙලි රංගනය ඉන්දීය රුපියල් 50 කින් ආරම්භ කළ ෂාරුක් ඛාන් වර්තමානයේ වසරකට ඉන්දීය රුපියල් කෝටි 280 ක් පමණ උපයයි.

• ප්‍රියංජන් සුරේෂ් ද සිල්වා

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03