2024 ජුනි 29 වන සෙනසුරාදා

මට පුළුවන් ඕනැම කෙනෙක්ට සුවඳක් දෙන්න - Mr President හැදූ ජූඩ් බො‌තේජු

 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 39

- Mr President හැදූ ජූඩ් බො‌තේජු

පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හට අපූරු තෑග්ගක් අපූරු තරුණයෙක් විසින් ලබා දුන්නේය. මේ තෑග්ග එසේ මෙසේ තෑග්ගක් නොවුණු අතර ජනාධිපතිවරයා පවා පුදුම කෙරෑ තෑග්ගක් විය. එය දිග පෙට්ටියක අසුරා තිබූ සුවඳ විලවුන් බෝතල් හතරකි. ඒ බෝතල් හතර නම් හතරකින් හඳුන්වා තිබුණු අතර එහි එක් බෝතලයක 1949 වර්ෂය ද, තවත් බෝතලයක Fifth Lane ලෙස ද, තවත් බෝතලයක Royalist ලෙස ද, අවසන් බෝතලයේ UNP ලෙස ද සඳහන් වී තිබුණි. මෙය අරුම පුදුම තෑග්ගක් විය. මෙය ඇසූ පසුව ලියුම්කරුට ද අදහාගත නොහැකි විය.

මෙය කියවන ඔබට ද මේ සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිවන නිසාම මේ සුවඳ විලවුන් කතාව කුමක්දැයි එය තෑග්ගක් ලෙස ලබාදුන් ජූඩ් බොතේජුගෙන් අපි විමසා සිටියෙමු.

ජූඩ් මොකක්ද මේ කරපු වැඩේ?

මෙහෙමයි, ජනාධිපතිතුමාගේ උපන්දිනය තිබුණු නිසා මම ඇත්තටම හිතුවා එතුමට ලස්සන, අමතක නොවන තෑග්ගක් දෙන්න. ඉතින් මම දන්න සබ්ජෙක්ට් එකෙන් මට ඒක කරන්න ඕනෑ වුණා. ඒ නිසයි මම මාස්ටර්පීස් පර්ෆියුම් ප්‍රඩක්ට් එකක් හදලා දුන්නේ එතුමට"

ඒ කියන්නේ ජූඩ් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක්ද?

අනේ නෑ. මම හිතුවේ මගේ රටේ ජනාධිපති මෙතුමා. ඉතින් ලෝකයේ කිසිම ජනාධිපති කෙනකුට මෙහෙම තෑග්ගක් ලැබිලා නෑ. අනික මෙහෙම බ්‍රෑන්ඩ් එකක් ප්‍රඩක්ට් එකක් ජනාධිපති කෙනෙක් වෙනුවෙන් හැදිලා නෑ.

ඒ කිව්වේ ජූඩ් මේක හැදුවේ ජනාධිපතිතුමා වෙනුවෙන් විතරද?

ඇත්තටම ඔව්. මේක හැදුවේ එතුමා වෙනුවෙන් මිස්ටර් ප්‍රසිඩන්ට් කියලා. ඒ නිසා මේක ලෝකේ ජනාධිපති කෙනෙක් වෙනුවෙන් හදපු පළවෙනි බ්‍රෑන්ඩ් එක. ලෝකෙටම එකයි. ආයේ මෙහෙම දෙයක් හැදෙන්නේ නෑ.

මොකක්ද ජූඩ් ඕකේ තියෙන විශේෂත්වය?

මෙහෙමයි, මේකේ බොට්ල්ස් හතරක් තියෙනවා. ඒ හතර සුවඳවල් හතරකින් තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියන්නේ මේ රටේ ජනාධිපති. එතුමගේ ජීවිතේ අමතක නොවන හතරක් වෙනුවෙන් තමයි මම සුවඳ හතරකින් ඒක හැදුවේ.

එහෙම කරන්න ලේසි නෑනේ ජූඩ්. මනුස්සයෙක්ගේ ජීවිතේ අමතක නොවන තැන්, සිදුවීම් කියන්නේ ලොකු අතීතකාමයක්. ඒක නැවත සුවඳකින් මතක් කරන එක ලේසි නෑ?

ඔව් මම ඒක දන්නවා. ඒ නිසා මට මේක ගොඩක් මතක් වුණා. හිතන්න, රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉපදුණේ 1949 දී. මම ඒ උපන් වර්ෂය වෙනුවෙන් එක බොට්ල් එකක් හැදුවා. එතුමා හැදුණේ කොල්ලුපිටියේ පස්වැනි පටුමගේ. ඒක වෙනම මතකයක්. ඒ වෙනුවෙන් මම ෆිෆ්ත් ලේන් නමින් එක සුවඳක් හැදුවා. තුන එතුමා ඉස්කෝලේ ගියේ රෝයල් එකට. පාසල කියන්නේ වෙනම මතකයක්. අන්න ඒ වෙනුවෙන් මම රෝයලිස්ට් කියලා එකක් හැදුවා. ඊට පස්සේ එතුමා ජීවිත කාලෙම කැප කළේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන්. ඔහු ඒකේ නායකයා. අන්න ඒ නිසා මම අන්තිම එක යූ.එන්.පී. කියලා නම් කළා. මේ සුවඳ හතර ඒ හතරට ෆීල් වෙන්න හැදුවේ. ඒක ඇත්තටම අමාරු වැඩක්. ඒක හදන එක ලේසි නෑ.

ජූඩ් දැන් කාට හරි හිතෙන්න පුළුවන් අපිටත් මේක ගන්න ඕනෑ කියලා. එහෙම ගන්න තියෙනවද?

නෑ මේක ජනාධිපති වෙනුවෙන් හදපු වන් ඇන්ඩ් ඔන්ලි ලෝකෙටම එකම එක පර්ෆියුම් එක. ආයේ මෙහෙම එකක් හැදෙන්නේ නෑ. ඒ චැප්‍ටර් එක ඉවරයි.

මට කතාව ඇහුවම ජූඩ් ඇත්තටම ආපු ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මගේ බ්‍රෑන්ඩ් එකකට මට වෙනම පර්ෆියුම් එකක් හදාගන්න පුළුවන්ද?

නැතුව... අනිවාර්ය යෙන්ම. සුවඳ කියන්නේ කෙනෙක්ගේ අනන්‍යතාවය. සමහර අය සමහර තැන්වලට ආපුවම දන්නවා ආ එයා ඇවිල්ලා ඉන්නේ කියලා, ඒ සුවඳ එයාගේ කියලා. අන්න ඒ වගේ අයිඩින්ටිටි එකක් හැදිලා තියෙනවා මේ සුවඳ කියන දේ හරහා. ඒ වගේම කෙනෙක්ගේ රූපය චරිතය හම්බවෙන කෙනාගේ මනසේ රුඳිලා තියෙන, එහෙම නැත්නම් වෙනස් කරන දෙයක් තමයි පර්ෆියුම් කියන්නේ. ඒ නිසා කෙනකුට තමන්ගේ බ්‍රෑන්ඩ් එකෙන් පර්ෆියුම් එකක් තියාගන්න පුළුවන් කියන්නේ ඒක ලොකු අවස්ථාවක්. එහෙම මිනිස්සු ලෝකේ ඉන්නවා, ඒ අයගේ අනන්‍යතාවය වෙනුවෙන් පර්ෆියුම් හදාගත්ත අය.

එහෙම මිනිස්සු ඉන්න පුළුවන්. ඒත් එහෙම හදන මිනිස්සු ලංකාවේ නෑනේ ජූඩ්?

ඇයි නැත්තේ... මේ ඉන්නේ මම. මම එහෙම බ්‍රෑන්ඩ් හදපු කෙනෙක්.

කාටද ජූඩ් එහෙම හැදුවේ?

මම එක උදාහරණයක් කියන්නම්. ඔයාලා දන්නවනේ ළහිරු පෙරේරා, ලා සිංඥෝ. ලා සිංඥෝගේ නමින් පර්ෆියුම් බ්‍රෑන්ඩ් එකක් තියෙනවනේ. අන්න ඒක හැදුවේ මම. ඒක මගේ ප්‍රඩක්ට් එකක්. ඒක මම හිතලා ළහිරු එක්ක ප්ලෑන් කරලා කරපු දෙයක්.

ආ... ඒ කොහොමද ඒක වුණේ?

මම ඩුබා‍යිවල හිටියා කාලයක්. මම එහෙදි තමයි මේක විෂයයක් හැටියට ඉගෙන ගත්තේ. අවශ්‍ය දේවල් කලවම් කරලා අලුත් සුවඳක් හදන්න, තව කෙනකුට බ්‍රෑන්ඩ් එකක් හදන්න. මේක විෂයක් හැටියට ඉගෙන ගත්තා. ඒක ලේසි නෑ. මොකද කෙනකුගේ චරිතය, පෞරුෂත්වය වර්ධනය කරන්නත් පුළුවන්, වට්ටන්නත් පුළුවන් පර්ෆියුම්වලින්. ඒ නිසා මම ඒක හරියට අධ්‍යයනය කළා. එතකොට තමා මම හිතුවේ මෙහේ ආර්ටිස්ට් කෙනකුට වැඩක් කරන්න. සමහර අයට මම කෝල් කළා. ඒ අයට මේක ගාණක් නෑ. ප්‍රපෝසල් අරන් එන්න කිව්වා. මම ඇයි එහෙම යන්නේ. මම කරන්නේ එයාට උදව්වක්. අන්තිමේ ළහිරුට කතා කළාම කිසිම දෙයක් නැතුව හා කිව්වා. එකඟ වුණා. අන්න ඊට පස්සෙයි මම ඒ බ්‍රෑන්ඩ් එක හැදුවේ. එහෙම කරපු තව වැඩ ගොඩක් තියෙනවා.

ජූඩ් ඇත්තටම මේක මනස එක්ක කරන ගේම් එකක්ද?

පැහැදිලිවම. මේක කරන්නේ මනස එක්ක. මිනිස්සුන්ගේ මනසට කතා කරන්නේ. සුවඳ වෙන්න කවුද ආසා නැත්තේ. ඒ නිසා අපි පර්ෆියුම් එකක් පාවිච්චි කරනවා. ඒ අපිට නෙවෙයි අපි ගැවසෙන සමාජයටත් එක්ක. අන්න එතැනදී තමයි මේ මානසික ගනුදෙනුව පටන් ගන්නේ. ඔයාගේ මතකය අනෙක් කෙනාගේ ඔළුවේ තියෙනව ඇස්වලින්, කන්වලින් දකින අහන දෙයින්. ඊට පස්සේ යන්නේ සුවඳ. අන්න ඒක අපේ යටිහිතේ නවතිනවා. ඒක තමයි ඒ සුවඳ දැනෙන හැම මොහොතකම මතකය අවුස්සන්නේ. ඒ නිසා මේක ලේසි සබ්ජෙක්ට් එකක් නෙවෙයි.

හරි දැන් ජූඩ්ව සම්බන්ධ කරගෙන කාට හරි එයාට අනන්‍ය බ්‍රෑන්ඩ් එකක් හදාගන්න පුළුවන්ද?

ඔව්... අනිවාර්ය යෙන්ම. එයා වෙනුවෙන් බ්‍රෑන්ඩ් එකක් මට හදන්න පුළුවන්. කාට හරි එහෙම ඕනෑ නම් මාව සම්බන්ධ කරගන්න පුළුවන්.

ජූඩ් ඒවා විතරද කරන්නේ?

දැනට එච්චරයි. ඉදිරියේ එනවා දැවැන්ත වැඩක්. මේ රටේ සිද්ධවෙනලොකු වැඩක්. මම හිතනවා මේ කර්මාන්තය වෙනස් දිසාවකට එදාට තල්ලු වෙයි. මට ඕනෑ හැම මනුස්සයකුටම පාවිච්චි කරන්න පුළුවන් හොඳ පර්ෆියුම් බ්‍රෑන්ඩ් ටිකක් හදන්න. මම ඒක කරන්න අරන් තියෙන්නේ. ඉස්සරහට කියන්නම් විස්තර.

ජූඩ් මට අන්තිමට දෙයක් අහන්න ඕනෑ. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ කියන්නේ දේශපාලන නායකයෙක්. ඔහුට මේ වෙනස කොහොමද දැනෙන්නේ කියලා දන්නේ නෑ. ජූඩ්ට ඔහුගේ වෙනසක් පෙනුණද?

ඔව් එතුමා කැමති වුණා, සතුටු වුණා මේ වැඩේ ගැන කවුරුත් නොකරපු දෙයක් මම කළ නිසා. ඒ කළේ මගේ රටේ ජනාධිපතිතුමා වෙනුවෙන්. මේක යුනික් වැඩක්. ඒ නිසා මම ඒ ගැන ඉතාම සතුටු වෙනවා. මේක ලෝකයේ විෂයයක් හැටියට පුළුල්ව තිබුණට ලංකාවේ නෑ. මම අවුරුදු 15 කට වැඩි කාලයක් මේ ෆීල්ඩ් එකේ ඉගෙන ගත්තා. හැදෑරුවා. පරීක්ෂණ කළා. අපේ රටේ එහෙම ඉන්ඩස්ට්‍රි එකක් නෑ. මම ඒ ඉන්ඩස්ට්‍රි එක හදනවා.

• ගයාන් ගාල්ලගේ

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03