2024 ජුනි 29 වන සෙනසුරාදා

ඩේටා දන්සල වංචාවක්ද?

 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:03 244

“.... පදනම යටතේ තෙවැනි වරටත් සිදු කරන පොසොන් මහා ඩේටා දන්සලට දායක වන්න. 15 GB දක්වා නොමිලේ ලබාගන්න. ඉක්මන් කරන්න. මෙය පොසොන් සතිය අවසන් වෙනකල් පමණයි. ශ්‍රී ලංකාවේ සියලුම ජාලයන් සඳහා වලංගු වේ. මෙතැනින් ඇතුළු වන්න.”

මේ මෙවර පොසොන් පොහොය සමයේ සමාජ මාධ්‍ය කැළඹූ දැන්වීමකි. එහි සඳහන් වූයේ එක්තරා පදනමක් මගින් පොසොන් සතිය නිමිති කරගෙන නොමිලයේ ඩේටා දන්සලක් ලබාදෙන බවත් ඒ සඳහා ඇමුණුමේ තිබෙන ලින්කුවට සම්බන්ධ වන ලෙසත්ය. 

කාලයෙන් කාලයට විවිධ වේෂයෙන් පැමිණෙන මෙවැනි අවතාර වෙසක් පොසොන් කාලයට දන්සල් ලෙස සේම සීතල උඳුවප් මාසයේ නත්තල් තෑගි ලෙසත් ග්‍රීන් කාඩ් අයැදුම් කාලයට ඒ ආකාරයටත් පැමිණෙයි. එවැනි අවස්ථා ඕනෑ තරම් පසුගිය කාලය පුරා වාර්තා විය. මෙවැනි අන්තර්ජාල වංචාකරුවන්ගේ ගොදුරු බවට පත්වන බොහෝ දෙනා නොදැනුවත්වම තම සන්තකයේ ඇති මුදල් පමණක් නොව සිය ආත්ම ගෞරවය පවා නාඳුනන පුද්ගලයන් ඉදිරියේ උගසට තබති. ලැප්ටොප් පරිගණක භාවිත කරන්නන් නොදැනුවත්වම සිය කැමරා ක්‍රියාත්මක වීමේ සිදුවීම් වාර්තා වීමත් සමඟ මේ වනවිට පරිගණකවල කැමරාව අවශ්‍ය අවස්ථාවලදී පමණක් විවෘත කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දී තිබේ. ඒ පාරිභෝගික ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමිනි. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශයට කාන්තාවකගෙන් පසුගියදා පැමිණිල්ලක් ලැබී තිබුණි. ඒ නාඳුනන පුද්ගලයකු තමන් වට්ස්ඇප් සමූහයකට එක් කරගෙන ටික්ටොක් වීඩියෝවලට ලයික් කමෙන්ට් දැමීමෙන් මුදල් උපයා ගැනීමට හැකි බව පවසා ඇතැයි ද ඉන්පසු එයට වඩා වැඩි මුදලක් ලබාගැනීමට හැකි බව පවසා ගිණුම් අංකයකට මුදල් බැර කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. ඒ අනුව කළ විමර්ශනවලදී පිය පුතු දෙපළක් අත්අඩංගුවට ගෙන කළ වැඩිදුර විමර්ශනවලදී මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ නිවෙසක විදේශිකයන් පිරිසක් සමඟින් 14 ක් අත්අඩංගුවට පත්වූහ. මේ ආසන්නතම සිදුවීමකි. මෙවැනි සිදුවීම් රාශියක් පසුගිය කාලය පුරාම සිදුවිය. 

ශ්‍රී ලංකා  පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය යනු අන්තර්ජාල ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම උදෙසා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය යටතේ පවතින රජයේ වගකීමක් සහිත ආයතනයකි. ඔවුන් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසනුයේ විවිධ බැංකු, වාණිජ  ආයතන, අන්තර්ජාතික ආයතන නාම භාවිත කරමින් පරිත්‍යාග, මුදල් තෑගි, දිනුම් වාසනා, රුකීරක්ෂා ලබාදීමට, ලියාපදිංචි වන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේසම් වන ලෙසයි.
එම සංසදය වැඩිදුරටත් මෙසේද පවසයි.

“අනුකාරක (Fake web) වෙබ් අඩවි, සමාජ මාධ්‍ය (Social Media) වේදිකා, SMS, WhatsApp,   හරහා එවනු ලබන පණිවුඩ මගින් මෙම සයිබර් ජාවාරම්කරුවන් සම්බන්ධ වීමට උත්සාහ දරන අතර ඔවුන් විසින් ලබාදෙන පිවිසුම්වලදී (links) ඊට සම්බන්ධ වන පුද්ගලයන්ගේ පරිගණක, ජංගම දුරකතනවල ඇති දත්ත සොර ගැනීමෙන් විවිධ අපචාර සඳහා මෙන්ම මුදල් වංචා ද සිදු කරනු ලබයි. 

වර්තමානයේ උද්ගත වී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීම සඳහා අපි කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පිහිටි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසද ආයතනයට ගියෙමු. එහිදී දේශයට අදහස් දැක්වූ එම ආයතනයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු ෂම්මි හේවාමද්දුම මහත්මිය මෙසේ පැවසුවාය. 

“කාලයෙන් කාලයට සාපේක්ෂව සයිබර් අපරාධවල වර්ධනයක් දක්නට ලැබෙනවා.  ෆේස්බුක් ගිණුම් පිළිබඳ කතා කිරීමේදී බොහෝ අවස්ථාවල ව්‍යාජ ගිණුම් සැකසීම මගින් අනන්‍යතාව සොරා ගැනීම සිදුවෙනවා. යම් පුද්ගලයකුගේ පෞද්ගලික තොරතුරු සහ ඡායා ඇතුළත් කර වෙනත් ගිණුම් සැකසීමෙන් බාහිර සමාජය නොමග යැවීමට හැකියාව තිබෙනවා. ඒ වගේම කාන්තාවන්ගේ සහ තරුණියන්ගේ ගිණුම්වලින් ඡායා සහ පෞද්ගලික තොරතුරු සොරාගෙන කීර්තිනාමයට හානි කිරීමට තැත් කිරීම් වාර්තා වෙනවා. ඒ වගේම මෙවැනි පෞද්ගලික තොරතුරු සමාජ ජාලාවලට මුදාහරින බව පවසමින් මුදල් ඉල්ලා සිටින අවස්ථාත් තියෙනවා. මෙයින් සමාජයෙන් බලපෑම් එල්ලවන්න පුළුවන්. මෙවැනි අවස්ථාවල අප ආයතනය දැනුවත් කිරීමෙන් එම ව්‍යාජ ගිණුම අක්‍රීය කර ඉවත් කළ හැකි ක්‍රමවේදය මගින් සහනයක් ලබාගැනීමට හැකියාව තියෙනවා. තමන් අකමැති ඡායාරෑප වෙන පුද්ගලයන්ගේ ගිණුම්වලින් දමා තිබීම, තමන්ගේ රෑප විකෘති කර තිබීම ආදී දේවලටද එරෙහිව ක්‍රියා කිරීමට අවශ්‍ය ඍජු තාක්ෂණික සහාය ලබාගැනීමට පුළුවන්.” 

පසුගිය කාලයේ මෙවැනිම අන්තර්ජාල වංචාකාරී අවස්ථා ගණනාවක් වාර්තා විය. ඒ අතර ලොතරුයිවලින් සුපිරි ත්‍යාගයක් දිනා ඇති බවට පවසා ත්‍යාගය ලබාගැනීමට මුදල් සහ පෞද්ගලික තොරතුරු ඉල්ලා සිටිමින් සිදුකරන වංචා ද පවතී. එමෙන්ම නිවෙසේ සිටම රුකියා අවස්ථා ලබාදෙන බවට පවසමින් ව්‍යාපාරික අවස්ථා සඳහා ආයෝජනය කරවන බවට කියා මුදල් ලබාගැනීමේ වංචා සිදු කරයි. ප්‍රසිද්ධ වෙළෙඳ නාම සහිත භාණ්ඩ සඳහා ලාභදායී වට්ටම් දෙන බවට පවසමින් ව්‍යාජ වෙබ් අඩවි මගින් අධික මිල ගණන්වල භාණ්ඩ අඩු මිලට ලබාදෙන බවට පවසා මුදල් වංචා කරන අවස්ථා ද තිබේ. එමෙන්ම පුණ්‍ය කටයුතු සහ වෛද්‍යාධාර බව පවසමින් කරන මූල්‍ය වංචා මෙන්ම ව්‍යාජ පාර්සල් බෙදාහැරීමේ වංචා මගින් මුදල් සහ පෞද්ගලික තොරතුරු ලබාගැනීමේ කූඨ උපක්‍රම ද වාර්තා වෙයි. 

තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය අනුකරණය කරමින් පිවිසුම් තොරතුරු, බැංකු කාඩ්පත් විස්තර සහ ලිපින ආදී පෞද්ගලික තොරතුරු ලබාගනිමින් කළ වංචාවක් පසුගිය කාලයේ වාර්තා විය. තැපෑලෙන් සේ ඇමතුම් ලබාගෙන පාර්සලයක් ලැබී ඇති බවත් එය නිදහස් කර ගැනීමට අවශ්‍ය නම් යම් ගාස්තුවක් ගෙවා ලබාගන්නා ලෙස උපදෙස් ලබාදෙමින් කූඨ වංචනිකයෝ පිරිසක් මෙම වංචාවේ නිරත වූහ. මෙම වංචාවට ද බොහෝ පිරිසක් ගොදුරු වී සිටියේ නිවැරුදි අවබෝධයක් සහ නිසි දැනුවත් බවක් නොමැති වීම මතය. කෙසේ නමුත් වංචනිකයන්ට මෙරට නීතියෙන් ගැලවී සිටීමට හැකියාවක් නොලැබුණද වංචාවට ගොදුරු වූ ජනතාවට සිදුවූ අලාභ හානිය කියා නිම කළ නොහැකිය.

මෙවැනි වංචාකාරී අවස්ථාවලදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ෂම්මි හේවාමද්දුම මහත්මිය වැඩිදුරටත් මෙසේ ද පැවසුවාය.

“බොහෝ වෙලාවට තාක්ෂණය සම්බන්ධයෙන් වගේම සමාජය සම්බන්ධයෙන් ජනතාවගේ නොදැනුවත්කම හේතුවෙන් වට්ස්ඇප් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය හරහා අන්තර්ජාල වංචාවලට ගොදුරුවීමේ සම්භාවිතාවක් තියෙනවා. පසුගිය කාලයේ සමාජ මාධ්‍යයේ පළ වූ සිද්ධීන් ගණනාවක් මෙම වංචා කිරීමේ ගණයට වැටෙනවා. නොමිලයේ ඩේටා ලබාදීම, නොමිලයේ තෑගි ලබාදීම, සුළු මුදලක් ලබාගෙන පාර්සල් ලබාදීම ආදී විවිධාකාර ක්‍රම මගින් මෙවැනි වංචාවලට ජනතාව ගොදුරු වන අවස්ථා අපට වාර්තා වෙනවා. ඒ වගේම අපට ලැබෙන පැමිණිලිවලදීත් ඒ බව තහවුරු වෙනවා. මෙවැනි වංචාවලින් ආරක්ෂා වීමට විද්‍යුත් තැපෑලකට දුරකතන ඇමතුමකට හෝ කෙටි පණිවිඩයකට ප්‍රතිචාර වශයෙන් පෞද්ගලික දත්ත ලබා නොදීමත්, නොදන්නා පුද්ගලයන් එවන සම්බන්ධතා මත ක්ලික් නොකිරීම සහ ඇමුණුම් විද්‍යුත් ලිපින විවෘත නොකිරීමට වගබලා ගැනීමත් වැදගත්. එසේම ශ්‍රී ලංකා සර්ට් වැනි නිල ආයතනයක සහාය ලබාගැනීමෙන් ජනතාවට මෙවැනි ගැටලුවලින් ආරක්ෂා වීමට හැකියාව ලැබෙනවා.”

පාඨක ඔබත් මෙවැනි ගැටලුවකින් පසුවන්නේ නම් ඔබටත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ 101 හදිසි දුරකතන ඇමතුම් අංකය අමතා සමාජ මාධ්‍යයේ හෝ වෙනත් ඕනෑම සයිබර් අපරාධයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට මෙන්ම මාර්ගෝපදේශ සහාය ලබාගැනීමට ද නොමිලයේ අවස්ථාව ලබා දී තිබේ. එමෙන්ම www.onlinesafty.lk වෙබ් අඩවිය මගින් මෙවැනි වංචාකාරී අවස්ථා හඳුනාගෙන ඒ සම්බන්ධ නිසි දැනුමක් ලබාගැනීමට නොමිලයේ ඉඩහසර ලබා දී තිබීමත් විශේෂත්වයකි.


• සසංක චලන ගිම්හාන

 

 2024 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:02