පසුගිය සති කිහිපය තුළදී පොල්තෙල් මිල ඉහළ යාමක් සිදුවිය. සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය පැවසුවේ පොල්තෙල් ආනයනකරුවන් විසින් පොල්තෙල් තොග සඟවාගෙන සිටීම හේතුවෙන් මෙලෙස පොල්තෙල්වල මිල ඉහළ ගොස් ඇති බවය.
දේශීය පොල්තෙල් කර්මාන්තය ඇරඹුණු 1983 කාලයේ සිටම දේශීය අස්වැන්න, ඒ අස්වැන්නේ මිල සහ දේශීය කර්මාන්තකරුවන් නිෂ්පාදනය කරනු ලබන පොල්තෙල් නිෂ්පාදනය සඳහා යන වියදම අනුව පොල්තෙල්වල මිල තීරණය විය. නමුත් විවෘත ආර්ථිකයත් සමඟ බහුජාතික සමාගම් ලංකාවට පැමිණි අතර පොල් ගෙඩියේ ඇති විශේෂත්වය හඳුනා ගැනීමත් සමඟ ඔවුහු පොල් ගෙඩිය භාවිතයට ගැනීමට උනන්දු වූහ. ඒ ඔවුන්ගේ ආහාරය සඳහාය. ඒ අනුව බහුජාතික සමාගම් දේශීය පරිභෝජනය සඳහා කෘත්‍රිමව පිරිපහදු කළ පොල්තෙල් වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය.
“එක් වරක් පාවිච්චි කළ, ඉවතලන ඕනෑම තෙල් වර්ගයක් කෘත්‍රිමව පිරිපහදු කළාම කිසිම වර්ණයක්, සුවඳක් නැති තෙලක් හදාගන්න පුළුවන්. ඒ තෙල් මෙරටට ආනයනය කළා. බහුජාතික සමාගම් සහ ආනයනකරුවන් කියන්නේ එකිනෙකාට උදව් කරන පාර්ශවයන් දෙකක්. මෙලෙස ආනයනකරුවන් ප්‍රවර්ධනය වීමෙන් දිගටම පවතින රජයන්වලින් මෙම ආනයනකරුවන්ද ප්‍රවර්ධනය කළා. මීට කලින් පැවති රජයන් දේශීය පොල් කර්මාන්තකරුවන් සහ දේශීය පොල් ගෙඩි ආරක්ෂා කරන ආනයනික බද්ද ලෙසින් රුපියල් තුන්සිය පනහක බදු පැනවුවා. පසුව ඒ බද්ද අයින් කරලා රුපියල් එකසිය පනහත් දෙසීයත් යටතේ සහනයක් ලබා දුන්නා. රටක ප්‍රතිපත්තිය වන්නේ ආනයනකරුවන්ට යම් ආනයනයකදී බදු සහනයක් ලබා දෙන්නේ නම් එය පාරිභෝගිකයාට ද ලබා දිය යුතු බවටයි. නමුත් මෙතැනදී ඔවුන් ඒ බදු සහනය ආනයනකරුවන්ට පමණක් ලබා දුන්නා." යැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
මෙලෙස සූක්‍ෂම ලෙස කර්මාන්ත පද්ධතිය විනාශ කරමින් අපේ පොල් මදය කුණු කොල්ලයට අපනයනය කිරීමටත්, ආනයනික තෙල් මෙරටට ගෙන්වා කෘත්‍රිම පිරිපහදු තෙල් මෙරටට හඳුන්වා දීමටත් ආනයනකරුවන් උත්සාහ ගනිමින් ඇතැයි එම සංගමය පවසයි. මේ අනුව පොල් සංවර්ධන අධිකාරි ඇති පනත උල්ලංඝනය කරමින් ඔවුන් දේශීය පොල්තෙල් කර්මාන්තය විනාශ කිරීමට උත්සාහ දරන බවට සංගමය චෝදනා කරයි.
මේ වන විටත් ආනයනකරුවන් විසින් මෙට්‍රික් ටොන් හතළිස් දහසක (කිලෝ මිලියන හතළිස් හතර දහසක) තෙල් ආනයනය කර ඇත. එමෙන්ම කිලෝ මිලියන 25000 ක තෙල් තොගයක් වරායේ ටැංකිවල ඇති බව සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳුම්කරු බුද්ධික ද සිල්වා පැවසීය.
“දේශීය කර්මාන්තකරුවන් පණ නැති කරලා දේශීය කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන ප්‍රමාණය මෙට්‍රික් ටොන් අටදහසක ප්‍රමාණයකට අඩු කරලා මොවුන් වෙළෙඳපොළට 60% - 70% සැපයුමක් ලබා දෙනවා. ඒ සමඟම ඔවුන් එක්වරම එය නතර කළා.
මොවුන් මෙලෙස කළේ පසුගිය හජ්ජි උත්සවය සහ පොසොන් උත්සවය පවතින කාලවලදීයි. හජ්ජි කියන්නේ මුස්ලිම් සහෝදරයන් වැඩිපුරම කෑම හදන උත්සවයක්. පොසොන් කියන්නේ වැඩිපුරම දන්සල් පවතින කාලයක්. මේ ආනයනකරුවන්ට ජාති ආගම් කිසිම දෙයක් වැඩක් නැහැ. ඔවුන්ට අවශ්‍ය මුදල් විතරයි. ආනයනකරුවන් විශාල පිරිසක් හජ්ජි උත්සවයට සම්බන්ධ ආනයනකරුවන්. නමුත් ඔවුන් ඔවුන්ගේ ජාතියත් අමතක කරලා ජනතාව අපහසුතාවයට පත් කළා." යැයි බුද්ධික ද සිල්වා පැවසීය.
ඒ අනුව රටින් පිට ඇති පොල්තෙල් වෙනුවෙන් සූක්‍ෂම ලෙස මිල වැඩි කොට රු. 580/- ට තිබූ පොල්තෙල් කිලෝවක් (ලීටර් 1.1) ඔවුහු රු. 780/- දක්වා මිල වැඩි කළහ. පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයෝ තමන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් හඬ නැගූහ. පවතින රජය දේශීය කර්මාන්තකරුවන් පොල්තෙල් කිලෝග්‍රෑම් එකක් නිෂ්පාදනය කළ විට 18% බද්දක් අයකර ගනියි. එහෙත් කෘත්‍රිමව පිරිපහදු කොට තෙල් ආනයනය කිරීමේදී බද්දෙන් එය ඉවත් කර ඇත. කෘත්‍රිමව පිරිපහදු කළ විදේශීය ආනයන අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩයක් වෙද්දී, දේශීය කර්මාන්තකරුවන්ගේ ස්වභාවික, පිරිසුදුව, වගකීමක් සහිතව නිෂ්පාදනය කළ පොල්තෙල් 18% ක බද්දකට යටත් කොට ඇත. ඒ අනුව පවතින රජය හෝ පෙර රජයන් දේශීය කර්මාන්ත පද්ධතිය ආරක්ෂා කර ගැනීමට බැඳී සිටින්නේද යන්න ගැටලුවකි.
“සාමාන්‍ය ජනතාවගේ මුදල් මංකොල්ලකන මේ ආනයනකරුවන් රටේ තියෙන නීතිරීතිවලට යටත් වෙලා නැහැ. අපේ පාරිභෝගිකයන්ට ආනයනික දෙයක් කෑමට දෙනවා නම් එහි අඩංගු දෑ සම්බන්ධයෙන් සියලු තොරතුරු දැනගැනීමට ඔවුන්ට අයිතියක් තියෙනවා. ඒක නීතියක්. නමුත් ඒ නීතිය අමු අමුවේ මේ අය උල්ලංඝනය කරනවා. මේ නිසා බහුජාතික සමාගම් කියන්නේ රටවල් ආක්‍රමණය කරන්න එන යුද්ධ උපකරණ ක්‍රමවේදයක්. රටේ ජනතාව ලෙඩ කරලා රටේ ආර්ථිකය අමු අමුවේ විනාශ කිරීමෙන් රට බංකොලොත් වෙනවා. මෙය මොවුන් සූක්ෂමවම කරන දෙයක්." යැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැදවුම්කරු දේශයට පැවසීය.
රටේ හිඟයක් ඇති නොකර අවශ්‍ය ප්‍රමාණයට දේශීය පොල්තෙල් ලබා දීමට හැකියාවක් පවතින බව දේශීය පොල්තෙල් නිෂ්පාදකයෝ පවසති. මේ වන විට සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ රට වටා විසිරී ඇති සාමාජිකත්වය දෙසිය අසූ හතරකි. නමුත් ඔවුන් කරන ලද සංගණනයකට අනුව දැනට ලංකාව පුරා පොල්තෙල් කර්මාන්ත ශාලා එක්දහස් පන්සීයත් දෙදහස් හයසීයත් අතර සංඛ්‍යාවක් පවතී. මේ අනුව කොවිඩ් වසංගතය පවතින කාලයේදීත් කිසිදු නැවක් ලංකාවට නොයන කාලයේදීත් රටට අවශ්‍ය පොල්තෙල් ලබාදුන් දේශයේ නිෂ්පාදකයන්ට මෙම අවශ්‍යතාවයට වඩා දෙගුණයක් පොල්තෙල් ලබා දිය හැකි බව ඔවුහු පවසති.
• දිශානි ජයමාලි කරුණාරත්න