“ආරංචිය සුබයි" රට පුරා ඇලවුණු පෝස්ටරයකි. ඒ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ ආරංචියක් රුගෙන 26 දා ජාතිය අමතන බවට දන්වා තිබුණි. එහෙත් සීමිත සංඛ්‍යාවක් හැර බහුතරයක් ඒ සුබ ආරංචිය දැන සිටියේ නැත. ඇතැම් අය සිතුවේ ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ ආගමනය ප්‍රකාශ කරනු ඇති බවය. තවත් අය සිතුවේ පාර්ලිමේන්තුව විසුරුවීම ප්‍රකාශ කරනු ඇති බවය. එහෙත් ජනාධිපතිවරයා සුබ ආරංචිය ලෙස රුගෙන ආවේ මේ රටේ ආර්ථික පරිවර්තනයේ අලුත්ම පිම්ම ගැන ආරංචියයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට තම රජය සමත් වූ බව ඔහු මෙහිදී අනාවරණය කළේය. 2022 සිට ණය නිසි ලෙස නොගෙවා පැහැර හැරීම නිසා ශ්‍රී ලංකාවට ඉතාම අසීරු කාල පරාසයකට මුහුණ දෙන්නට සිදුවිය. එහිදී ජාත්‍යන්තර ආර්ථික විශේෂඥ ආයතන තුළින් ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් ලෙස නම් කරනු ලැබිණි. එසේ නාමකරණය වීම හේතුවෙන් එතෙක් මෙරට ජාත්‍යන්තර ණයවර ලිපි ලබා ගැනීම ජාත්‍යන්තරය විසින් ප්‍රතික්ෂේප කළ අතර නැවත ආර්ථික වශයෙන් ශක්තිමත් වීම සඳහා ණය ලබාදීමක් ද සිදු නොකරන තැනට ජාත්‍යන්තරය කටයුතු කළේය. මේ නිසා අවසානයේ බංකොලොත් රාජ්‍යයන් සඳහා වන එකම නැවතුම වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවේ ආණ්ඩුවට පිහිට පතන්නට සිදුවිය. ඒ වන විටත් රට ප්‍රමාද වී තිබිණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත වීමත් සමඟ ඔවුන්ගේ එක් යෝජනාවක් වූයේ අප ලබාගත් ණය සඳහා ණය හිමියා සමඟ එකඟත්වයට පැමිණ ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙසය. ඒ අනුව ලංකා ආණ්ඩුව ණය හිමියන් සමඟ දීර්ඝ සාකච්ඡා ආරම්භ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පාර්ශව එකඟත්වයට පැමිණියේය. එනම් නිල ණය හිමියන්ගේ කමිටුව විසින් අවසන් එකඟතාවයට පැමිණීමට එකඟ වූ අතර අප විශාල වශයෙන් ණය ලබාගත් චීනයේ එක්සිම් බැංකුව සමඟ එකඟත්වයට පැමිණීමට ද හැකි විය. ඒ අනුව මෙරට ණය ගෙවීම 2028 දක්වා කල් දමා ගැනීමට හැකිවූ බව ජනාධිපතිවරයා නිල වශයෙන් ජාතිය අමතමින් කීවේය.
පැරිස් නිල ණය හිමියන්ගේ කමිටුවේ සම සභාපතිත්වය ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය විසින් දරන අතර ඔස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම, කැනඩාව, ඩෙන්මාර්කය, ජර්මනිය, හංගේරියාව, කොරියාව, නෙදර්ලන්තය, රුසියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය මෙම නිල ණය හිමියන්ගේ කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
ශ්‍රී ලංකාව පැරිස් නිල ණය හිමියන් සමඟ ඇමෙරිකානු ඩොලර් බිලියන 5.8 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවයට මෙන්ම චීනයේ එක්සිම් බැංකුව සමඟ ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවයට ද එළැඹ තිබේ. ඒ අනුව පැරිස් නිල ණය හිමියන් සහ චීන එක්සිම් බැංකුව හරහා ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත ණයවල ඒකාබද්ධ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 10 කි. ණය ගෙවීමට 2028 දක්වා කල් ලැබීම මේ හරහා මෙරටට ලැබෙන එකම වාසියයි. එමෙන්ම මෙරට සම්පූර්ණ ණය ගෙවීම අවසන් කිරීම 2043 දක්වා දීර්ඝ වනු ඇත. එසේම මීළඟ පියවර ලෙස ශ්‍රී ලංකාව වාණිජ බැඳුම්කර හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවසන් එකඟතාවලට පැමිණීම කඩිනම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය අදහස් දැක්වීමේදී සඳහන් කළේය.
''ඊළඟට අපට තිබෙන්නේ විදේශීය බැඳුම්කර හිමියන් ද ඇතුළත් වාණිජ ණය හිමියන් සමඟ එකඟතාවකට එළැඹීම. මේ මාර්ගයේම ඉදිරියට යාමෙන් අපට එම එකඟතාව ඇතිකර ගන්න පුළුවන්. ඒ පිළිබඳ සාකච්ඡා අප අඛණ්ඩවම පවත්වාගෙන යනවා.'' යැයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.
ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ මෙය තමන්ගේ ජයග්‍රහණයක් නොව තමන් විශ්වාස කළ ජනතාවගේ සහ රටේ ජයග්‍රහණයක් බවය. මෙහිදී ඔහු තමාගේ සුපුරුදු වැල් පාලමේ කතාව උදාහර කොටගෙන තිබුණි. ඔහු සුපුරුදු පරිදි තමන් ආ අසීරු ගමන මෙකී වැල් පාලමේ කතාව හරහා පැහැදිලි කළේය. මේ අතර ජනාධිපතිවරයා පැවසුවේ රජය සැලසුම් කර ඇති සංවර්ධන ව්‍යාපෘති රුසක් ඉදිරියේ දී ආරම්භ කරන බවය.
මෙම කතාවේ සුවිශේෂිතාවයක් දැකගන්නට හැකි විය. එනම් ප්‍රථම වතාවට ජනාධිපතිවරයකු ජාතිය අමතන මොහොතේ ඊට මැදින් වීඩියෝ පට යොදා තිබීමය. ඇතැම් වීඩියෝ පට හරහා 2022 දී ඇතිවූ දරුණු ආර්ථික අවුල ප්‍රදර්ශනය කළ අතර ඉන් පසුව ජනාධිපතිවරයාගේ සමයේ දී ජනතාව සුපුරුදු ජීවන රටාවට පත්ව සිටින අයුරු හඟවන වීඩියෝ පට ප්‍රදර්ශනය කර තිබුණි. මෙය යම් ආකාරයක ජනතාවට අතීතය මතක් කර දීමකි.
ජනාධිපතිවරයාගේ කතාවෙන් පසුව පක්ෂ විපක්ෂ බොහෝ දෙනා අදහස් දක්වන්නට වූහ. විශේෂයෙන් විපක්ෂය චෝදනා නැගුවේ මෙම සුබ ආරංචිය ප්‍රචාරණයට කෙතරම් මුදලක් යට කළාද යනුවෙනි. එය එක් පැත්තකින් සැබෑවකි. ජනාධිපතිවරයාගේ මෙම සුබ ආරංචිය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රචාරණය අවසානයේ වෙනත් ප්‍රචාරණයක් විපක්ෂය විසින් රුගෙන ගියේය. එපමණක් නොව පොහොට්ටුවේ අපේක්ෂකයකු ගෙනෙන බවද එම ප්‍රචාරණයට සමගාමීව සිදු කළේය. එහෙත් පොහොට්ටුවේ මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේ එම පෝස්ටරය කැලෑ පෝස්ටරයක් බවයි. පොහොට්ටුව මගින් තවමත් අපේක්ෂකයකු තීරණය කර නොමැති බවත් ඒ නිසා මෙය අසත්‍ය බවත් ඔහු ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙවර ජාතිය ඇමතීම බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ ජාතිය ඇමතීමක් විය.
• ගයාන් ගාල්ලගේ