2024 ජුනි 29 වන සෙනසුරාදා

වත්කම්වලින් රටම හොල්ලන පියුමි

 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:01 252

පට්ටියගේ පියුමි හංසමාලි ගෝමස් මේ දවස්වල සමාජයේ ලොකුම මාතෘකාව වී සිටියි. 1992 දී උපන් පියුමි 2010 වසරේදී නිරෑපණ ක්ෂේත්‍රයට එක්වන අතර ඇය ඉතා වේගයෙන් සමාජයේ කතාබහට ලක්වන චරිතයක් බවට පත්විය. ඇතැම් අවස්ථාවලදී ඇගේ කලහකාරී හැසිරීම් නිසා සමාජ මාධ්‍යවල නිතර කතාබහට ලක්වූ අවස්ථා ද එමටය. කෙසේ වෙතත් ඇය නිරෑපණ ක්ෂේත්‍රයෙන් නොනැවතී පසුව ටෙලිනාට්‍ය, චිත්‍රපටවලට පවා එක්වූ අතර අවසාන වශයෙන් මලයාලම් චිත්‍රපට අධ්‍යක්ෂවරයකුගේ චිත්‍රපටයකට සම්බන්ධ වී ජැක්සන් ඇන්තනී සමඟ රංගනයේ නිරත විය. ‍ඇය සමාජ මාධ්‍ය තුළ බොහෝ සෙයින් කතාබහට ලක්වන චරිතයක් වන නිසාම ඇගේ සමාජ මාධ්‍ය ගිණුම්වල අනුගාමිකයන් ද මිලියන ගණන ඉක්මවා ගොස් තිබුණි. මේ නිසාම ඇය සමාජ මාධ්‍ය ඔස්සේ කාලයක් විවිධ නිෂ්පාදන භාණ්ඩ සඳහා ප්‍රසිද්ධිය ලබාදීමට ද කටයුතු කළාය. ඒ ඇයට විශාල අනුගාමිකයන් පිරිසක් වන බැවිනි. ටික්ටොක්, ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් යන සමාජ මාධ්‍ය තුළ මෙම ග්‍රාහක පිරිස විසිරී සිටිති.

ඉතාම විවෘතව ජීවිතය ගත කළ පියුමි හංසමාලි ඇගේ හදිසි ධනවත් වීමත් සමාජය ඉදිරියේ නිරාවරණය කරන්නට අමතක නොකළාය. එනම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති අපේක්ෂකයකු ලෙස භාවිත කළ රේන්ජ් රෝවර් වර්ගයේ ජිප් රථයක් රුපියල් ලක්ෂ 800 කට ආසන්න මුදලක් දී ලබාගත් බව තමා විසින්ම සමාජය ඉදිරියේ අනාවරණය කෙරිණි. එපමණක් නොව ඇය ජයික් හිල්ටන් හි නවාතැන් ගෙන සිටින බවත් ඉන් පසුව කොළඹ හත &ද ග්‍රෑන්ඩ්* නිවාස සංකීර්ණයෙන් නිවාසයක් මිලට ගැනීමත් ඇය ප්‍රසිද්ධියට පත් කළාය. මේ සියල්ලෙහිම රහස ඇය විසින් නිෂ්පාදනය කරනු ලබන "ලොලීයා" නැමති සුදුවීමේ ක්‍රීම් බව ඇය නිතර පැවසුවාය. මේ නිසාම ඇගේ දියුණුවේ රහස මෙම රෑපලාවණ්‍ය ආලේපන සමාගම බව රටම දැනුවත් වී සිටියේය.‍
මේ අතර එකවරම පියුමි හංසමාලිගේ දියුණුව සම්බන්ධයෙන් "මගෙන් රටට" සංවිධානයේ ලේකම් සංජය මහවත්ත විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේත්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණි. ඔහු එම පැමිණිල්ල යොමු කරමින් දන්වා සිටියේ ලක්ෂ 800 කට ආසන්න ජිප් රථයක් මිලදී ගැනීමත්, මිලියන 148 කට නිවෙසක් මිලදී ගැනීමත් ඉතාම සැක සහිත බවයි. එලෙස මිලදී ගැනීම හරහා ඇගේ ආදායම සහ එම දේපළ මිලදී ගැනීම් අතර ගැටලුවක් පවතින බව සංජය මහවත්ත මාධ්‍ය ඉදිරියේ පැවසීය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් පැමිණිල්ල විභාග කිරීම ආරම්භ කරනු ලැබීය.

සංජය මහවත්ත පියුමි විසින් මිලදී ගත් ඇතැම් දේපළ සම්බන්ධයෙන් විශේෂ කරුණු කිහිපයක් ද මාධ්‍ය ඉදිරියේ අනාවරණය කර තිබුණි. එනම් ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ ජිප් රථය මිලදී ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 780 කට බවත් එම මෝටර් රථය හිමිව තිබුණේ වසර හතළිහක් යුද හමුදාවට ආහාර සැපයූ අයකුට බවත්ය. වාහනය මිලදී ගැනීම සම්බන්ධයෙන් සංජය බිබීසී සිංහල වෙත අදහස් පළ කර තිබුණේ මෙසේය.

“2023.03.07 පියුමි සහ ප්‍රගීත් කියන අය විසින් ලක්ෂ පහක් ගෙවලා මේ මෝටර් රථය අරන් තියෙනවා. ඊට පස්සෙ තවත් ලක්ෂ 50ක් ගිණුමකට බැර කරලා තියෙනවා. ඉන්පසු නැවතත් තවත් ලක්ෂ 100ක් සම්පත් බැංකුවේ ගිණුමකට බැර කරලා තියෙනවා. ගෙවීමට ඇති ඉතුරු ලක්ෂ 400 සඳහා ඇය වැලිබල් ආයතනයෙන් කල්බදු පහසුකමක් ලබාගෙන තියෙනවා ස්පීඩ් ඩ්‍රාෆ්ට් කියන ක්‍රමවේදය යටතේ. ඒ 2023 මාර්තු 07 දිනයේ දී. ඒ සඳහා අත්සන් තබලා තියෙන්නේ අංගම්පොඩි ප්‍රගීත් ධනුෂ්ක මෙන්ඩිස් සහ ජයසිංහ ආරච්චිගේ චන්දිම නුවන් කියලා දෙදෙනෙක්. මේ ස්පීඩ් ඩ්‍රාෆ්ට් එක නැවත 2023 ජූනි 30 වැනිදා අවසන් කරලා තිබෙනවා. ඒ සඳහා නැවත ඒ වසරේම ජූලි 24 ලක්ෂ 450 ක ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් අරගෙන දෙසැම්බර් 18 අවසන් කර තිබෙනවා. ඉන් පසුව නැවතත් ලක්ෂ 250 ක ලීසිං පහසුකමක් සහ ලක්ෂ 200 ක ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් වෙන වෙනම ආරම්භ කරලා තිබෙනවා. මේ ලීසිං වර්තමානය වන විටත් තිබෙනවා. "සංජය මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණේ එලෙසය.
මීට අමතරව මිලියන 148 කට මිලදී ගත් නිවෙස සම්බන්ධයෙන් ද ඔහු තමන් සොයාගත් තොරතුරු බීබීසීය හමුවේ විස්තර කර තිබුණේ මෙසේය.

“මේ තැනැත්තිය පසුගිය වසරේ දී "The Grand” මහල් නිවාස සංකීර්ණයේ සුඛෝපභෝගී නිවෙසක් රුපියල් මිලියන 148 කට මිලට ගෙන තියෙනවා. එහි මුදල් අවස්ථා 15 කදී පසුගිය වසරේදීම ගෙවා අවසන් කර තිබෙනවා. 2023 දෙසැම්බර් 12 ඇය මිලියන 40ක් අවසන් වාරිකය විදිහට ගෙවලා තියෙනවා. ඊට පෙර ජූලි 26 මිලියන 50කුත් ගෙවා තිබෙනවා."

එමෙන්ම ඇය බැංකු 9 ක ගිණුම් 20ක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඒ තුළ කෝටි 30 ක් සංසරණය වී ඇති බවත් සංජය හෙළි කළේය. කෙසේ වෙතත් සංජය පමණක් නොව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවා අධිකරණයට කරුණු වාර්තා කරමින් දන්වා සිටියේ මේ ගිණුම්වල තොරතුරු ලබා ගැනීම සඳහා අවසර ලබා දෙන ලෙසයි. ඒ අනුව මේ වනවිට එම ගිණුම් පරීක්ෂා කරමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.
පියුමි ප්‍රකාශ කරන ආකාරයට ඇයට මෙම මුදල් ලැබී ඇත්තේ රෑපලාවන්‍ය ආලේපන ව්‍යාපාරය හරහාය. එය ඇය නිතර සඳහන් කරන දෙයකි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සංජය මහවත්ත බීබීසියට සඳහන් කර තිබුණේ මෙවැන්නකි.
“අපි සතුව දැනට තිබෙන ලේඛනවලට අනුව මෙම සමාගම 2022 වසරේ අප්‍රේල් 19 දින තමයි ලියාපදිංචි කර තිබෙන්නේ. එහි අධ්‍යක්ෂකවරුන් ලෙස පියුමි හංසමාලි සහ ලොකු ලියනගේ වසන්ති පෙරේරා කියන දෙදෙනා සිටිනවා. අපට ගැටලුවක් තිබෙනවා මේ ආලේපනය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය තිබෙනවාද කියන එක. ඒ වගේම මෙහි සායනික පරීක්ෂණ කර තිබෙනවාද? මේවා නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාරය කොහෙද තියෙන්නේ? ආනයන හා අපනයන බලපත්‍ර වගේම රේගුවේ නිෂ්කාශනය කළේ කොහොමද? කියන දේවල් සොයා බැලිය යුතුයි."

මේ ආලේපන සමාගමේ විකුණුම් එක්තරා භාණ්ඩ හුවමාරු ආයතනයක් විසින් සිදුකර ඇති නිසා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස අදාළ ආයතනයේ ප්‍රධානියාට දන්වා තිබුණි. එහෙත් පුදුමය නම් රටේ නීතියට අවනත නොවී ඔහු එය මග හැරීමය. මේ නිසා රහස් පොලීසියට ඔහුගෙන් ප්‍රකාශ‍යක් ලබා ගැනීමට අධිකරණයේ පිහිට පතන්නට සිදුවිය.

තවමත් මේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදුවෙමින් පවතින නිසා පියුමිගේ හදිසි ධනවත් වීමේ රහස ගැන අනාවැකි පළ කළ නොහැකිය. සමාජයේ විවිධ සැකයන් පැවතියද ඒ සැකයන් මත අපට කිසිදු තීරණයකට පැමිණීමේ හැකියාවක් නැත. එසේම සංජය මහවත්ත පවසන්නේ සත්‍ය ද අසත්‍ය ද යැයි අපි නොදනිමු. මක් නිසාද ඒ සියල්ල අධිකරණය සහ විමර්ශන මත පදනම් වන බැවිනි. එහෙත් තවමත් පියුමි හංසමාලි තමන්ගේ සමාජ මාධ්‍ය තුළ නිදහසේ සැරිසරමින් තමා නිවැරදි බව ප්‍රකාශ කරමින් සිටියි. කෙසේ වෙතත් සියල්ල තීන්දු වන්නේ සිදු කරන විමර්ශන සහ අධිකරණ තීන්දු මතය. එහෙත් එක දෙයක් කීමට තිබේ. පියුමි පමණක් නොව මේ රටේ හදිසියේ ධනවත් වූවෝ විශාල පිරිසක් සිටිති. විශේෂයෙන් දේශපාලනඥයෝ ඒ අතර උඩින්ම සිටිති. ඒ නිසා ඒ අය ගැන ද සොයා බලන්නේ නම් මේ සියල්ලෙහි සත්‍ය හෙළිවනු ඇත.

• ගයාන් ගාල්ලගේ