කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ අත්දැකීම් බෙදා හදා ගන්න නිර්මාණය කරපු "සල්ලි සොයමු" හරහා නව ව්‍යවසායකයන් අපි ඔබ වෙත රුගෙන එනවා. අද අපේ කතාවට එක් වෙන්නේ යොවුන් ව්‍යවසායිකාවක්. ඇය නමින් රවීෂා බණ්ඩාර. රවීෂා වයස අවුරුදු 22 ක උපාධි අපේක්ෂිකාවක්. ඇය ගොඩනගා ඇත්තේ කාන්තා ටී-ෂර්ට් නිර්මාණය කොට මාර්ගගත ක්‍රමයට අලෙවි කරන ව්‍යාපාරයක්.
රවීෂා බණ්ඩාර ගොඩනගා ඇති සන්නාමය "Roselie”. ඇය කරළියට එන්නේ Roselie Clothing ලෙසින්. කුඩා කර්මාන්ත ශාලාවක් සහ ඍජු සහ වක්‍ර සේවකයන් 12 ක් පමණ මෙම කුඩා ව්‍යාපාරය සතුයි. කොහොම නමුත් රවීෂා මේ දියුණුව අත්පත් කරගෙන තියෙන්නේ වසර දෙකක් වගේ ඉතා කෙටි කාලයක් ඇතුළත.
“අමතර ආදායමක් ලබන්න විවිධ ව්‍යාපාර හරහා අපි උත්සාහ කළා. මුල් කාලේ කේක් බිස්නස් එකකුත් කළා. අපේ පවුලේ ඉන්නෙ ගෑනු ළමයි දෙන්නෙක්. මමයි අක්කයි. කාන්තා ඇඳුම් පැළඳුම් ගැන අපිට යම් දැනුමක් තියෙන නිසා, ඒ සම්බන්ධයෙන් ව්‍යාපාරයක් කරන්න ඕනෑ කියලා අපි හිතුවා. එහෙම තමයි මේ ව්‍යාපාරයට අදහස ආවේ."
මෙම අදහස තම නිවෙසේ වැඩිහිටියන් සමඟ ද කතාබස් කොට ව්‍යාපාරයක් බවට පත්කිරීමට රවීෂා සහ සොයුරිය තීරණය කළා. ව්‍යාපාරයට නමක් වගේම අදාළ ව්‍යාපාර ගිණුම් නිර්මාණය කිරීම ඇතුළු කටයුතුත් ආරම්භයේදීම නිසි පිළිවෙළට සිදු කරන්න රවීෂා බණ්ඩාර කටයුතු කළ බව ඉතාම පැහැදිලියි.
“සමාජ මාධ්‍ය ඇතුළේ Facebook, Instagram, WhatsApp ගිණුම් අපි හැදුවා. ඒ වගේම අපේ මුල්ම නිෂ්පාදන ඒ සමාජ මාධ්‍ය ගිණුම්වලට දැම්මා. ඊට පස්සේ ඒවායේ Links අපි අපේ යාළුවන් ඥාතීන් ඇතුළු පිරිස් සමඟ බෙදා ගත්තා. මුලින්ම අපි දන්න කියන අයගෙන් තමයි අපිට ඇණවුම් ලැබුණේ. ඊට පස්සේ අපි සමාජ මාධ්‍ය ඇතුළේ අපේ නිෂ්පාදන ඇඩ්වර්ටයිස් කළා. ඒ එක්කම තවත් ඇණවුම් අපිට ලැබෙන්න පටන් ගත්තා."
නූතනත්වය සමඟ මුසුව යොවුන් ව්‍යවසායිකාවක් ලෙස කරළියට පැමිණීමට රවීෂා සමත් වෙන්නේ මේ ප්රවේශයත් සමඟයි. ඉහළම ප්‍රමිතියේ රෙදි වර්ග අමුද්‍රව්‍ය තම නිෂ්පාදන සඳහා භාවිත කිරීමට තමන් කටයුතු කරන බව ඇය කියා සිටියා. ඒ වගේම අනන්‍ය මෝස්තර රටා Roselie lothing නිෂ්පාදන වෙනුවෙන් ඔවුන් භාවිත කරනවා. මේ සියලු කාන්තා ටී-ෂර්ට් එම්බ්‍රොයිඩර් කරන ලද ඒවා. ඉතා ආකර්ශනීය සරල රටා සහ රෑප හැඩතල රවීෂාගේ නිෂ්පාදනවල දැකගත හැකියි. සැබැවින්ම එම නිෂ්පාදන කාන්තාවන් ආකර්ශනය කිරීමට සමත්. නූතන ව්‍යාපාර ඩිජිටල්කරණයත් මේ සන්නාමයේ නැගීම පිටුපස වන විශාල සාධකයක්.
“සමාජ මාධ්‍ය ඇතුළේ ප්‍රවර්ධනය කිරීම නිසා අපිට ඇණවුම් විශාල වශයෙන් ලැබෙන්න පටන් ගත්තා. ඒ වගේම පළමුවර මිලදී ගත් ගොඩක් දෙනා, නැවත නැවත අපේ නිෂ්පාදන මිල දී ගත්තා. සමහරු තමන්ගේ හිතවතුන්ට අපේ නිෂ්පාදන හඳුන්වා දීලා තිබුණා. මේ සමඟම අපේ වෙළෙඳපොළ තවත් පුළුල් වුණා. දැන් මාසයක් තුළ ටී-ෂර්ට් 500 ක ධාරිතාවකට අපි ළඟා වෙලා ඉන්නවා. ඒ වගේම ආයතන දෙකකට විතර අපි අලෙවිය සඳහා අපේ ටී-ෂර්ට් ලබා දෙනවා."
වර්තමාන ව්‍යාපාර ලෝකය තුළ තරුණ ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන් තම ප්‍රවේශය ලබාගත යුත්තේ කෙසේද යන්න පැහැදිලි කිරීමට රවීෂා බණ්ඩාර ඉතාම හොඳ උදාහරණයක්. ඇය පියවරෙන් පියවර ඉදිරියට එමින් සිටිනවා. ආරම්භයේදී මාසෙකට ටී-ෂර්ට් 50 ක් පමණ තමයි ඔවුන් නිෂ්පාදනය කිරීමට සමත් වුණේ. දැන් එය දස ගුණයකින් වර්ධනය වෙලා. ඇතැම් මාසවලදී 1000 ක සීමාවටවත් තමන්ට ළඟා වෙන්න හැකිවුණු බව රවීෂා බණ්ඩාර අපත් සමඟ සඳහන් කළා.
තමන්ගේ ව්‍යාපාරය පුළුල් කරන්න කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් ඉකුත් කාලයේ දී යම් ණය මුදලක් පවා ඇය ලබාගෙන තිබෙනවා. ඒ වගේම අනාගතය පිළිබඳ ඉතාම හොඳ සැලසුමකුත් රවීෂා සතුයි.
“අපි බලාපොරොත්තු වෙනවා අපේ ඇණවුම් ප්‍රමාණය තවදුරටත් වැඩි කරගන්න. ඒ වගේම නිෂ්පාදන ධාරිතාවත් ඉහළ නංවාගන්න. අපනයන අවස්ථා පිළිබඳවත් ඉදිරියේදී හොයලා බලන්න බලාපොරොත්තු වෙනවා. ඒත් හැමදෙයක්ම එක පාර කරන්න බලාපොරොත්තු වන්නේ නැහැ. පියවරෙන් පියවර තමා අපි ඉස්සරහට යන්න උත්සාහ කරන්නේ."
මේ දක්වා ගමනට තමා හදිසි නොවුණු බවත් පියවරෙන් පියවර ඉදිරියට අඩි තබන බවත් රවීෂා බණ්ඩාර අප සමඟ කියා සිටියා. කෙසේ නමුත් වසර දෙකකට ආසන්න ඉතා කෙටි කාලයක් තුළ අත්පත් කරගෙන ඇති දියුණුව පැසසිය යුත්තක්.
“අපි ඩිජිටල් ප්ලැට්ෆෝම්ස් ඇතුළේ ව්‍යාපාර කරද්දී වෙළෙඳපොළ ගැන හොඳට බලන්න ඕනෑ. මොනවටද වෙළෙඳපොළක් තියෙන්නේ, කොහොමද අපි ඒ වෙළෙඳපොළට යන්නේ වගේ දේවල් ගැන හොයලා බලලා, අවබෝධයක් ඇතුව වැඩේ පටන් ගන්න එක වටිනවා. උදාහරණයක් විදිහට කාන්තාව ඉලක්ක කරගත්ත නිෂ්පාදන ගත්තොත්, මේ වෙනකොට ඩිජිටල් ප්ලැට්ෆෝම්ස්වල පලාවණ්ය නිෂ්පාදනවලට වඩා ජුවලරි, ඇඳුම්, ඕනමන්ට්ස් වගේ දේවල්වලට තමා ඉල්ලුමක් තියෙන්නේ."
නූතන ඩිජිටල් ලෝකය ජය ගනිමින් නව ව්‍යාපාර අවස්ථා සොයා ගනිමින් ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් ව්‍යාපාරිකයන් ඉදිරියට පැමිණිය යුතු යුගය උදා වී තිබේ. රවීෂා වැනි තරුණ ව්‍යවසායිකාවන් රටක් ලෙස අප වෙත ලබා දෙන්නේ පැහැසර බලාපොරොත්තුවකි.
• චමිඳු නිසල් ද සිල්වා