පසුගියදා කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි තට්ටු 70 කින් යුක්ත ඇල්ටෙයාර් ගොඩනැගිල්ලට ඇතුළු වූ 15 හැවිරිදි යොවුන් වියේ පසුවන ගැහැනු දරුවකු සහ පිරිමි දරුවකු ඉන් පහළට වැටී මිය යාමේ සිදුවීම සමාජයේ තවමත් කතාබහට ලක්වන්නකි. එය සියදිවි නසා ගැනීමක්ද? එසේත් නැතිනම් අත්වැරදීමක්ද? යන්න තවම පොලීසියට නිශ්චිතවම සොයා ගැනීමට හැකි වී නැත. ඊට හේතු වී ඇත්තේ සීසීටීවී හරහා දක්නට ලැබෙන එම දරුවන්ගේ හැසිරීම සහ ඔවුන්ගේ මරණය තෙක් සිදුවූ ඇතැම් සිදුවීම් සියදිවි නසා ගැනීමට සූදානම් වන බවක් පෙන්නුම් නොකිරීමය.
කොළඹ කුරුඳුවත්තේ පිහිටි ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබූ දෙදෙනාගෙන් පිරිමි දරුවා වැල්ලවත්ත හමාස් ඇව්නිව් හි පදිංචි ඩිවෝන් ශූරෝ ය. ඔහුගේ පියා ඉන්දියානු ජාතිකයෙකි. එසේම දැරිවිය කැලණිය සපරමාදු ප්‍රදේශයේ පදිංචිව සිටි රෝස් මිරායි ද සේරම් ය. ඇගේ පියා නීතිඥවරයකු වන අතර මව ගණකාධිකාරිවරියකි. එකම පාසලේ එකම පන්තියේ ඉගෙනුම ලැබූ මෙම දෙදෙනා මිතුරන් වන අතර ඔවුන්ගේ පවුලේ අය ද සමීපව ඇසුරු කරන බව සඳහන්ය.
දෙදෙනා පාසල අවසන් වී ත්‍රීරෝද රථයකින් ඇල්ටෙයාර් ගොඩනැගිල්ලට පැමිණ ඇත්තේ පසුගිය අඟහරුවාදා දහවල් 2.40 ට පමණ පාසල් නිල ඇඳුමෙන් බව කියති. එසේ පැමිණ ඇල්ටෙයා ගොඩනැගිල්ලට ඇතුළු වීමට උත්සාහ දරා ඇත්තේ 61 වැනි මහලේ සිටින තම මිතුරකුගේ නිවෙසේ සාදයක් පැවැත්වෙන බව දන්වමිනි. පසුව ආරක්ෂක නිලධාරින් එම නිවෙසට ඇමතුම් ලබා දී ඇති නමුත් ඒ නිවෙසේ කිසිවකු සිට නැත. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා නිරන්තරයෙන් එම නිවෙසට යන එන අය බැවින් ආරක්ෂක නිලධාරින් ඊට ඇතුළු වීමට අවසර දී ඇතැයි පැවසේ. ඉන් පසුව දෙදෙනාම පස්වැනි මහලේ පිහිටි ව්‍යායාම මධ්‍යස්ථානයට ඇතුළු වී සිය පාසල් නිල ඇඳුමෙන් වෙනත් ඇඳුමකට මාරු වී ඇත. පසුව පිරිමි දරුවා තම බෑගය දැරිවියට ලබා දී නැවත බිම් මහලට පැමිණි අතර පසුව පාරට පැමිණ යතුරුපැදියකින් පැමිණි අයකුගෙන් පාර්සලයක් ලබාගෙන ඇත. පොලීසිය පවසන්නේ ඒ දුම්වැටි බවයි. පසුව එම දුම්වැටි ලබාගත් ඔහු නැවතත් පස්වැනි මහලේ සිටින තම මිතුරිය වෙත ගොස් ඇතැයි කියති. ඇල්ටෙයාර් ගොඩනැගිල්ල තුළ ඇතැම් ප්‍රවේශ වීම් සඳහා විශේෂ ඇතුළුවීමේ කාඩ්පත් අවශ්‍ය වන අතර ඒවා එම ගොඩනැගිල්ලේ පදිංචි මිතුරා විසින් ලබා දී තිබූ බව පොලීසිය සඳහන් කරයි. විශේෂයෙන්ම තම මිතුරාගේ නිවෙසේ සාදයක් පවත්වන බවට දෙදෙනාම නිවෙස්වලට පවා දන්වා තිබිණි. එම ගොඩනැගිල්ලේ සාදයක් පැවැත්වීමත්, ඔවුන් ඇඳුම් මාරු කරගැනීමත් යන කාරණා සමඟ සසඳන විට මෙම සිදුවීම සියදිවි නසා ගැනීමක් බවට සැකයක් මතු නොවන බව පොලීසිය සඳහන් කරයි.
පිටස්තරයකුට යා නොහැකි 67 වැනි මහල වෙත මෙම දරුවන් දෙදෙනාම ගොස් ඇති අතර ඔවුන් හදිසි පිටවීමේ දොරටුවක් අසලට ගොස් තම පොත් බෑගය, සපත්තු සහ දුම්වැටි පෙට්ටිය දමා එම දොරටුවෙන් එළියට ගොස් ඇතැයි පැවසේ. එහෙත් කනගාටුවට කරුණ නම් එම අවස්ථාව වන තෙක් සීසීටීවී රෑප රාමු පැවතියද ඉන් එපිට සීසීටීවී සවිකර නොමැති වීමය. ඒ අනුව පොලීසිය සැක කරන්නේ දෙදෙනා අඩි හතරක් පමණ වන තාප්පයේ ඉඳගෙන ඇති බවත් ඉන් අනතුරුව පහළට ඇද වැටී ඇති බවත්ය.
කෙසේ වෙතත් දෙදෙනාගේ මළ සිරුරු සොයාගෙන ඇත්තේ තුන්වැනි මහලේ තිබියදීය. ඒ ආරක්ෂක අංශ නිලධාරින්ට ඇසුණු සද්දයක් අනුව කළ සොයා බැලීමකදීය. ඒ වන විටත් එම සිරුරුවලට දැඩි තුවාල සිදුවී තිබූ බව පොලීසිය සඳහන් කරයි.
මෙම හදිසි මරණ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ අදහස් දරති. ඇතැම් අය මෙය ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් වූ සිදුවීමක් බවත්, සමහරු මත්ද්‍රව්‍ය මත සිදුවූ මරණයක් බවටත් අදහස් පළ කරති. මෙලෙස විවිධ මත පැවතියද මොවුන් සියදිවි නසාගත්තාද නැතිද යන්න තවමත් පොලීසිය විසින් තහවුරු කරගෙන නැත. ඔවුන්ගේ මරණ තවමත් අබිරහසකි. එහෙත් මේ සිදුවීම දරුවන්ටත් දෙමාපියන්ටත් හොඳ පාඩමක් බව කිව යුතුය. එනම් මෙය දෙමව්පියන් හා දරුවන් යන දෙපාර්ශ්වය අතර ඇති වගකීම සහ අවධානය පිළිබඳ ප්‍රශ්නාර්ථයකි. ඒ සියල්ල අත්හල තැන අනතුර අත ළඟ බව කිව යුතුමය.
• ගයාන් ගාල්ලගේ