දේශපාලනඥයන් සිතා සිටින්නේ ශ්‍රී ලංකාවේ වනරක්ෂිත මෙන්ම සතා සතුන් ද ඔවුන්ගේ බූදලයක් ලෙසිනි. වනජීවී නීති වෙනස් කරමින් වනය වනසන්නට කෙටුම්පත් සකසන්නේ එහෙයිනි. මන්නාරම දිස්ත්‍රික්කයේ විල්පත්තුව රක්‍ෂිතය ආශ්‍රිතව පිහිටි වෙඩිතලතිව් ස්වභාව රක්‍ෂිත කලාපයේ අක්කර 415ක පමණ කොටසක් ඉස්සන් වගාව සඳහා වෙන්කර දෙමින් රක්ෂිතභාවය ඉවත් කිරීමට වනජීවී ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණේ එබැවිනි. පරිසරවේදීහු මේ සඳහා දැඩි විරෝධයක් පළ කළහ. පසුව ඔවුහු අධිකරණයේ පිහිට පැතීමට තීරණය කළහ. ඒ අනුව ඇමැතිනියගේ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 27 දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. එමෙන්ම අමාත්‍යවරිය ඇතුළු වගඋත්තරකරුවන්ට ශ්‍රෙෂ්ඨාධිකරණයේ පෙනී සිට කරුණු පැහැදිලි කිරීමටද නොතීසි නිකුත් කළේය.
පරිසර ආරක්‍ෂණ පදනම ඇතුළු පරිසර සංවිධාන දෙකක් ගොනුකර තිබූ එම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබාදුන් ප්‍රීති පද්මන් සුරසේන, ශිරාන් ගුණරත්න හා අචල වෙන්ගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එම නියෝගය කළහ.
වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයේ කොටසක් රක්‍ෂිතභාවයෙන් ඉවත් කරමින් එසේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් පාරිසරික වශයෙන් විශාල හානියක් සිදුවන බවත් විශේෂයෙන්ම මෙම රක්ෂිත කලාපයේ ජලජ ජීවීන්ගේ සුරක්‍ෂිතභාවයට මෙන්ම ප්‍රදේශයේ පාරිසරික සමතුලිතතාවයටත් එමගින් දැඩි හානියක් සිදුවන බවත් එම පාරිසරික සංවිධාන සිය පෙත්සම් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පවසා තිබිණි.
වනජීවී විෂය භාර අමාත්‍යවරිය එම ප්‍රදේශය රක්‍ෂිතභාවයෙන් ඉවත් කර ඇත්තේ ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේද කිසිවක් අනුගමනය නොකර බවත්, අවශ්‍ය විශේෂ විද්‍යාත්මක වාර්තා ලබාගෙන නැති බවත් පෙත්සම විභාගයට කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා හා නීතිඥ සචිනි සෙනෙවිරත්න මහත්මිය අධිකරණයට පවසා සිටියහ. රක්‍ෂිතයක් ලෙස නම් කර ඇති යම් ප්‍රදේශයක් රක්‍ෂිතභාවයෙන් ඉවත් කරන්නේ නම් අනුගමනය කළ යුතු පියවර වන සත්ත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂණ ආඥා පනතේ දෙවැනි හා පස්වැනි වගන්ති යටතේ සඳහන් වන බවත් ඒවා කිසිවක් අනුගමනය කර නොමැති බවත් පෙත්සම්කරුවන් එමගින් අධිකරණයට කියා තිබිණි.
වනජීවී හා වන සංරක්‍ෂණ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි, පරිසර අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් නීතිපතිවරයා, වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වන සංරක්‍ෂකවරයා, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු 10 දෙනකු එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබිණි. කෙසේ වුවත් මෙම නඩු තීන්දුවලින් පවා දේශපාලනඥයන් පාඩමක් ඉගෙන ගන්නා බවක් අපට නම් නොපෙනේ. කෙටි කලකට රට පාලනයට පත්වන මොවුන් ක්‍රියා කරන්නේ ලංකාව ඔවුන්ට ඔප්පුවකින් ලියා දුන් ගාණටය.
තලෙයිමන්නාරම් අර්ධද්විපයෙන් උතුරු දෙසට පැතිර පවතින වෙඩිතලතිව් කලපුව ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු කලාපයේ පවතින ජෛව විවිධත්වයෙන් අනූන සාගර පරිසර පද්ධතියකි. එය විශාලත්වයෙන් හෙක්ටයාර 29,180ක් වන අතර අප රටේ තුන්වැනි විශාලතම සාගර රක්ෂිත භුමියයි. මෙහි පරිසර විද්‍යාත්මක වටිනාකම නිසා 2016 වසරේදී මෙම කලාපය වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ සාගර “ස්වභාව රක්ෂිතයක්” ලෙස නම් කෙරිණි. ඒ අනුව ශ්‍රී ලංකාවේ 11 වැනි ස්වභාව රක්ෂිතය බවට එය පත්විය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මෙවැනි රක්ෂිතවල විද්‍යාත්මක අධ්‍යයන උනන්දු කිරීම සිදුවේ.
කෙසේ වුවත් රක්ෂිතය ප්‍රකාශයට පත්කර සුළු කාලයකින් මෙහි කොටසක් වාණිජ ජලජීවී වගාවක් සඳහා රක්ෂිතභාවයෙන් ඉවත් කරගැනීමට යෝජනාවක් පැමිණියේය. එහෙත් පරිසරවේදීන් ඇතුළු පාර්ශ්ව කිහිපයක විරෝධතා මත යෝජනාව තාවකාලිකව යටපත් විය. එහෙත් අළු යට ලූ ගිනි පුපුරක් සේ පැවති එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට පසුගිය මැයි මස 6 දා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චිගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි. එසේ අංක 2383/05 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මෙම ස්වභාව රක්ෂිතයේ කොටසක් රක්ෂිභාවයෙන් ඉවත් කිරීම සිදුවිය. ඒ අනුව මෙම වටිනා කලපු සහ සාගර පරිසර පද්ධතියට අවදානමක් එල්ල විය. පසුගිය 27 දා ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ඒ ගැසට්ටුව ක්‍රියාත්මක කිරීම වළක්වමිනි. මේ අතර පසුගිය වර්ෂයේ වාර්තා වූයේ මෙම රක්ෂිත භුමියේ ඉදිකිරීමට යෝජනා වී තිබූ ජලජීවී වගා කර්මාන්තපුරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ව්‍යාපෘති සැලසුම්, නිෂ්පාදන සැලසුම් උපදේශන සේවා හා මිනුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය 2020 වර්ෂයේදී නිස්කාරණයේ රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වැය කර තිබූ බවය. ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක ඒ බව සඳහන් විය. ව්‍යාපෘතියක් පටන් ගැනීමටත් පෙර මෙතරම් මුදලක් වියදම් කිරීම නම් අපට උභතෝකෝටික ප්‍රශ්නයකි.
අප රටේ පිහිටි සීමිත කඩොලාන බිම් පෙදෙස් අතරින් විශාලතම කඩොලාන වනාන්තරය ලෙස සැලකෙන්නේ වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයයි. වයඹදිග වෙරළ තීරයේ පිහිටා ඇති වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතය මන්නාරම දිස්ත්‍රික්කයේ වන්කලෙයි අභය භූමියට මායිම්ව පැතිර තිබේ. ස්වභාවික කඩොලාන බිම් තීරය නිසා දුලබ මුහුදු ශාක, උදම් රළ කලාප, ලවණ මිශ්‍ර වගුරු බිම්, මුහුදු තණබිම් හා කොරල්පර ආදියෙන් යුක්ත සුවිශාල පරිසර පද්ධතියක් නිර්මාණය වී ඇත. ලංකාවේ නිල් පිහිනුම් කකුළුවන්ගේ නිජබිම වන්නේද වෙඩිතලතිව්ය. එමෙන්ම මෙහි පාරිසරික සුන්දරත්වයද ඉතා ඉහළය.
මෙය පිහිටා ඇත්තේ උතුරු පළාතේ ය. වර්ෂ 2014 දී උතුරු පළාතේ ස්වභාව සම්පත් නිරීක්ෂණය කර සංරක්ෂණය කිරීමට හා යටිතල පහසුකම් සැපයීමට ඒකාබද්ධ උපායමාර්ගික පාරිසරික තක්සේරු වාර්තාවක් රජය විසින් සකස් කෙරිණි. එම වාර්තාවේ ප්‍රධාන නිර්දේශයක් වූයේ වෙඩිතලතිව් ස්වභාව පරිසර පද්ධතිය රුක ගැනීමේ අත්‍යවශ්‍යතාවයයි. එම වාර්තාවේ නිර්දේශ කර ඇත්තේ ‘වෙඩිතලතිව් “ඉහළ ප්‍රමුඛතා සංරක්ෂණ ප්‍රදේශයක්” ලෙස ගැසට් කරන ලෙසය. වෙඩිතලතිව් කඩොලාන ප්‍රදේශය ද ඇතුළත්ව මුහුදින් හා ගොඩබිමෙන් හෙක්ටයාර් 29,180 ක ප්‍රදේශයක් 2016 මාර්තු 1 දින (අතිවිශේෂ ගැසට් පත්‍ර අංක : 1956/13) වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතය ලෙස ප්‍රකාශයට කරන ලද්දේ එම නිර්දේශය ක්‍රියාත්මක කරමිනි.
සමාගමක අවශ්‍යතාව මත ස්වභාව රක්ෂිත ප්‍රදේශයක පාරිසරිකව වටිනා ඉඩම් නිදහස් කළ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්ව අවසන්ය. නීතිවිරෝධීව රාජ්‍ය බලය යොදාගෙන සිදු කළ මෙම ක්‍රියාව නිසා වැරදි පූර්වාදර්ශ රුසක්ම වත්මන් ආණ්ඩුව විසින් සමාජගත කළ බව කිව යුතු නොවේ. කෙසේ වුවත් අධිකරණය එම වැරුද්ද නිවැරදි කිරීමට නියෝග කිරීම පැසසුම් කටයුතු කරුණකි.
මේ අතර පසුගිය 24 දා අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේ ත්‍රිකෝණමඩු රක්ෂිත වනාන්තර කලාපය තුළ හෙක්ටයාර් 5000ක භුමිය විනාශ කරමින් අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් සිදුකරන කැලෑ හෙළි පෙහෙළි කිරීම වැළැක්වීමට පියවර ගන්නා බවට මීට පෙර අධිකරණය හමුවේ ලබා දී තිබෙන ප්‍රතිඥාවට අදාළ නියෝගය වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යවරිය ඇතුළු නිලධාරීන්ට ලිඛිතව දැනුම් දීමට පියවර ගන්නා ලෙසය.
අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) මගින් නොයෙකුත් පෞද්ගලික පාර්ශ්වයන්ට කොන්ත්‍රාත් පදනම් මත ලබාදුන් ඉඩම් එළිකිරීම ඇතුළු කටයුතු නතර කිරීමට මේ අනුව සිදුවන බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කර සිටී. පරිසර යුක්ති කේන්ද්‍රය මගින් අධිකරණයේ නඩුවක් ගොනු කර එම රක්ෂිත හෙළි කිරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් මීට මාස හතරකට පෙර ලබා ගත්තද එම නියෝගය උල්ලංඝනය කරමින් සමාගම් විසින් රක්ෂිතයට, ඩෝසර් හා යන්ත්‍ර සූත්‍ර ඇතුළත් කරමින් වටිනා ශාක විනාශ කර ගොඩනැගිලි පවා ඉදිකර ඇති බව ගොවීහු සඳහන් කරති.
• කුසුම්සිරි විජයවර්ධන