2024 ජුලි 06 වන සෙනසුරාදා

මැතිවරණ කාලයේ ගිලා බසින ශ්‍රී ලංකාවේ ආර්ථිකය

 2024 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 20

අසාර්ථක වෙමින් පැවති යුගය අවසන් කර සාර්ථකත්වය කරා ගමන් කරන රටක් බව ප්‍රකාශ වෙමින් තිබේ. පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ඉදිරියට ගෙන යමින් සිටින බව අවධාරණය කළේය. ඉතාම දුෂ්කර තැනක සිට ආර්ථිකය ස්ථාවර කරන මොහොත දක්වා ගමන් කරන්නට සමත්ව තිබේ. එය ජයග්‍රහණයකි. කොවිඩ් වසංගත තත්ත්වය සමඟ ලෝකයේ සැලකිය යුතු රටවල් ප්‍රමාණයක් අර්බුදයට පත් වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් දේශපාලන කැළඹීම් හට ගැනිණ. ආණ්ඩු වෙනස් විය. ජනප්‍රිය පාලකයන් බලයෙන් පහ කෙරිණ. ආර්ථිකය ගොඩනගන්නට ගත් පියවර තුළ පවා විශාල විනාශ සිදුවිය. ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආර්ථිකය ස්ථාවර කරන හා ඉදිරියට ගෙන යන අරමුණ ඇතිව මාස හතළිස් අටක සැලැස්මක් ප්‍රකාශයට පත් කළේය. 

ස්ථාවර කරන ලද ආර්ථිකය දියුණු කළ යුතු වේ. දැනට දක්වන පරිදි වසර ගණනාවක් ගතවන තුරු සියයට තුන ඉක්මවන ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළ නොහැක. සියයට තුනක් යනු පසුගිය වසර පනහක කාලය තුළ පැවති සියයට පහක ආර්ථික වර්ධනයට වඩා පහත් අගයකි. මහජනතාවගේ අපේක්ෂා ඉටුකරන්නට අසමත් වන පසුබිමක් බව පෙන්වා දිය යුතු වේ. අවම වශයෙන් දළ දේශීය නිෂ්පාදිතය සියයට පහක් හෝ එයට වඩා ඉහළ අගයක් දක්වා පරිවර්තනය වෙනුවෙන් කැපවීමක් කරන්නට සිදුවේ.

මැතිවරණ සිතියම අනුව ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය ළඟාවෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපතිවරයා පත්කර ගැනීමේ ඡන්දය කල් දැමීමට ඉඩක් නැත. පාර්ලිමේන්තු මැතිවරණයක් ඉලක්ක කරගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූල බලය දැන් ලැබී ඇත. මෙම මැතිවරණ දෙක අතරින් එකක් වහාම පැවැත්වෙනු ඇති අතර වසර හයක් තිස්සේ කල් දමා ඇති පළාත් සභා ඡන්දය හෝ නියමිත කාලයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද රාමුවෙන් තොරව පවත්වාගෙන යන පළාත් පාලන ආයතනවල මැතිවරණ ගැන මෙම අවස්ථාවේ දී තර්ක කිරීම පලක් නැත.

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ සහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අරමුණෙන් සිටින නායකයන් ඡන්ද උණුසුම පුරවැසියන් හමුවට කැඳවාගෙන පැමිණ තිබේ. රට ගොඩනගන්නට පුළුවන්කම ඔවුහු පෙන්වති. ප්‍රතිපත්ති සකස් කරන අතර පොරොන්දු දේශපාලනයට ක්‍රමයෙන් ඇතුළු වෙමින් සිටිති. ආර්ථිකයේ පවතින අවදානම නොසලකන අතර බලයට පැමිණියහොත් පොදු ජනතාවට දෙන සහන ගැන දැනටමත් ඉඟි පළ කරමින් සිටිති.

සිංගප්පූරුව නවීන ආර්ථිකයකට නිර්මාණය කළ ලී ක්වාන් යූ මහතාගේ පරම්පරාවේ තුන්වැනි පෙළපත දැන් බලයට පැමිණ සිටිති. පළමු පෙළපතේ සිටි ලී ක්වාන් යූ මහතා බලයට පැමිණි පසු ශ්‍රී ලංකාව ආදර්ශයට ගෙන තීන්දු ගත් බව ඔහුගේ ජීවිත කතාවේ සඳහන් කොට තිබේ. ශ්‍රී ලංකාව අසාර්ථක වූ අතර සිංගප්පූරුවේ සාර්ථකත්වය ගැන වර්ණනා කරන හෙතෙම ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයන් මැතිවරණයක දී නැති සම්පත් වෙන්දේසි කරන බව ප්‍රසිද්ධියේ කියා සිටියේය.
ආණ්ඩුවක් තුළ ආර්ථිකයක් තිබේ. උපයන ආදායමක් හා එය වියදම් කරන ක්‍රමයකි. අයවැය මගින් මෙම රාමුව පූර්ව විනිශ්චයකට යටත් කරයි. මෙම අවුරුද්දේ ඡන්ද පවත්වන හෙයින් 2025 වසර සඳහා අයවැය සකස් කරන්නේ නැත. ඡන්දයෙන් බලයට පත්වන ආණ්ඩුවට ඔවුන්ගේ දර්ශනය අනුව අයවැය සකස් කර ගැනීමට අවස්ථාවක් තිබේ.

කෙසේ නමුත් ඡන්ද ගොඩ බෙදා ගැනීමේ අරමුණින් මහා භාණ්ඩාගාරයේ නැති ධනය මහජනතාව ඉදිරියේ බෙදා ඔවුන් සනසවන්නට ආණ්ඩුව සූදානම්ය. දේශපාලන පක්ෂ පවා ඔවුන් ජයග්‍රහණය කළහොත් ජනතාවට ලැබෙන වාසි ප්‍රකාශ කරමින් සිටියි. මෙය වෙන්දේසියකි. වෙන්දේසියෙන් දිනන වැඩිම ලංසුව තබන පුද්ගලයා හෝ කණ්ඩායම අතට ඊළඟ ධුර කාලයේ වරම හිමි වේ. 

බලයට පත්වූ පසු පොරොන්දුවල තරම දැනේ. ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ඡන්ද පොරොන්දු අනුව නොමිලේ සහල්, පොහොර සහනාධාර, ලක්ෂ ගණනින් රජයේ රුකියා, පාන් අඩු මිලට, දින සියයයේ සංවර්ධනය, යහපාලනය, දූෂිතයන්ට ප්‍රසිද්ධියේ දඬුවම් කිරීම පමණක් නොව රට ඉසුරුමත් තැනකට ඔසවා තබන බවද එක හෙලා කියා සිටියේය. මෙකී පොරොන්දු යථාර්ථයක් බවට පත් වූයේ නැත. 

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා වශයෙන් අනුරාධපුරයේ දී පොහොර සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන බව ප්‍රකාශ කළේය. පාලන කාලය අවසන් වන විට නොමිලේ තබා මුදල් ගෙවාවත් පොහොර ලබා ගැනීමට ද නොතිබුණි. ගොවි ණය කපා හරින අතර සහතික මිල ක්‍රමයක් ඇති කරන බව කියා සිටිය ද ඒවා සාර්ථක වූයේ නැත. තරුණයන් කෘෂිකර්මයට යොමු කරන අතර ගොවියන් ධනවතුන් බවට පත් කරන බවද කියා සිටි එතුමා බලයට පත් විය. ප්‍රධාන ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාස මහතා පවා ජනසවිය හා සමාන සහනාධාර ක්‍රම හා රජයේ සේවක වැටුප් වැඩි කරන බව කියා සිටි බව මතක් කළ යුතුය. අපේක්ෂකයන් දෙදෙනාම අපනයනය ඉලක්ක කරන වැඩසටහන් ගැන වේදිකාවේ දී කියා සිටි නමුත් අවසානයේ දී ශ්‍රී ලංකාව විදේශ විනිමය හිඟ සහ දැවැන්ත ණය බර දරාගත නොහැකි තැනක නතර වී තිබේ. බලයට පත් වූ පිරිස් පොරොන්දු අමතක කළ අතර ප්‍රතිවාදීහු රට ඉදිරියට ගෙන යන අලුත් යෝජනා විශාල විරෝධතා මතුකර ඒවා නොකෙරෙන තැනට පත් කරන්නට සමත් වූහ. අවුරුදු දෙකක් ඇතුළත ස්ථාවර කරන ලද රට දියුණුව කරා යොමු කරන්නට එනම්, උත්පාදන ආර්ථිකයක් වෙත ගෙන යන්නට දේශපාලන ක්‍රමය සූදානම් නැත. ආර්ථිකය ගොඩනගන සැලැස්ම තුළ රජයේ ව්‍යවසාය අභියෝගයක්ව තිබුණි. ඒවා කාර්යක්ෂම කරන අතර පෞද්ගලීකරණය ඔස්සේ විදේශ ආයෝජන ගෙන්වීම අවශ්‍ය කෙරිණ. නමුත් සේවක විරෝධතා ඉදිරියේ ඒවා පසෙක තබා තිබේ. ආයෝජනවලට ඉඩ දෙන අලුත් පනත් සම්මත කළ නමුත් ඒවා ක්‍රියාත්මක කළහොත් ලැබෙන ප්‍රතිඵලය දන්නා පාලකයෝ නවීකරණ අදහස් පසෙක තැබූහ. ඒ වෙනුවට ලාභ උපක්‍රම තෝරාගෙන තිබේ. ඉන්ධන, ගෑස්, විදුලිය ගාස්තු අඩු කරමින් සිටිති. මහජන උපයෝගීතා කොමිසම නැවත වතාවක් විදුලිය ගාස්තු අඩු කරන්නට මහජන අදහස් විමසා ඇත. සහල් නොමිලේ දෙන අතර පාසල් දරුවන්ට දිවා ආහාරය සැපයේ. වැඩි කරන ලද බදු නැවත සංශෝධනයට සූදානම්ය. වැට් බද්ද අඩු කරන සැලැස්මක් ළඟදීම ක්‍රියාවට නංවන බව කියැවේ. සෑම පුරවැසියකුගේම බදු ලිපිගොනු කතාව දැන් අමතක අතර දේපළ බද්ද ගැන තිබුණු භීතිය අවම වන පරිදි සංශෝධන ගෙනැවිත් තිබේ.

මෙවැනි උපක්‍රමවලින් සිදුවන්නේ කුමක්ද? නැවත වතාවක් රජයේ ආදායම පහත වැටේ. ආදායම අඩුවන පසු දේශීය ණය ගන්නට සිදුවේ. රජයේ ණය ඉල්ලුම හේතු කොටගෙන පොලි අනුපාත වැඩි වෙමින් පවතින බව මූල්‍ය වෙළෙඳපොළ වාර්තා දක්වයි. ආනයන සඳහා ඉඩ දෙන අතර විනිමය හිඟය රටට බලපවත්වන බව පෙනේ. සූක්ෂම ලෙස රුපියලේ අගය අවප්‍රමාණය වෙමින් පවතී. උද්ධමනය නැවතත් හිස ඔසවන්නට පටන්ගෙන ඇත. මෙකී පසුබිම අනුව ආර්ථික අර්බුදය ජය ගෙන එහි ප්‍රතිඵල අත්පත් කරගන්නට කලින් එම වාසි ජනතාවට බෙදා දී ඡන්දය දිනන්නට සූදානම් වන බව නිරීක්ෂණය කළ හැක.

දේශපාලන පක්ෂ හා ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන නොගැලපෙන ක්‍රමවේද මත පදනම් වනු නිසැකය. ජයග්‍රහණය ලබන කණ්ඩායමට ලබන වසරේ අයවැය සකස් කරන්නට සිදුවේ. ආදායම හා වියදම අතර පරතරය ඉහළ තැනක පවතින බව පෙනීමේදී සංවර්ධනයට තීන්දු ගත නොහැක. රජයේ වියදම පාලනය කරගත නොහැකි වන අතර වියදම සඳහා තවත් ධනය උපයන අලුත් මාර්ග සූදානම් කිරීමට අපොහොසත් වනු ඇත. ජාතික සම්පත්, දේශීයකරණය, දූෂණය මැඩලීම, වංචාව තුරන් කර රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම වැනි බරසාර තීන්දු ගැනීම පහසු නොවන බව සැකයක් නැත. එම තීරණ ගැනීමට තරම් පුළුල් ආර්ථික පසුබිමක් වහාම ලබාගත නොහැකි බව යථාර්ථයයි. අඩුම තරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර කොන්දේසි වෙනස් කර ගැනීමට හෝ ඉඩ නොලැබෙන බව පැහැදිලිව පෙනේ. 

ආණ්ඩු බලය ලබාගැනීම සඳහා තරග කරන දේශපාලනඥයන් ඉදිරියේ කෙටි කාලයකට එනම් ඡන්ද මාස කිහිපය තුළ පොදු ජනතාවට අස්වැසිල්ලක් ලැබෙනු ඇති අතර අවසානයේ දී ධනය උපයන අලුත් පියවර වහාම අනුගමනය නොකළහොත් අර්බුදය අනෙක් පැත්තකින් ඉදිරියට එන අවදානමක් තිබේ. එහි පීඩනය සමඟ වැඩ කරන ජනතාව නැවත පාරට එන බව සැකයක් නැත. ඉදිරිපත් කරන පොරොන්දු හා ජනතාව අපේක්ෂා කරන පරතරය සමඟ සුළු බහුතරයකින් ආණ්ඩු පිහිටුවන දේශපාලනයට තවත් ගැටලුවකට මුහුණ දෙන්නට සිදුවීම වැළැක්විය නොහැක. කවර පාර්ශවය බලයට පත්වන නමුත් බහුතරය විපක්ෂය විය හැකිය. විපක්ෂ කණ්ඩායම හා ඔවුන්ගේ වෘත්තීය සමිති ආණ්ඩුවේ පළමුවැනි කාර්තුවේ සිට නැවත තමන්ගේ පැත්තට ජනතාව ලබාගැනීමේ සටන ආරම්භ කරනු ඇත. මැතිවරණ වේදිකාවේ පොරොන්දු එයට හොඳ සාධකයකි. ආර්ථික අර්බුදය අවබෝධ කරගෙන දැනට ස්ථාවර කරගෙන ඇති ස්ථානයේ සිට ඉදිරියට ගමන් කළ හැකි ක්‍රමය ජනතාව හමුවේ තැබීම වගකිව යුතු දේශපාලනය බව සඳහන් කළ යුතු වේ.

•  සාරා කන්දෙගොඩ