යළිත් වරක් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණ වීමේ අනතුරකට භාජනය වෙමින් පවතී. පසුගිය මාසය වනවිට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 285 – 290 ක තිබුණු රුපියලේ අගය මේ වනවිට 300 සීමාව ඉක්මවා යමින් ඇත. එයට එක් හේතුවක් වන්නේ ළඟදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නිසා ජනතාව සතුටු කිරීමේ දේශපාලන ව්‍යාපාරයක වගකිවයුත්තන් යෙදී සිටීම බව පැවසේ. පසුගිය වසරේ මුල සිට පැවැති දැඩි ආනයන සීමා මේ වනවිට ලිහිල් කර ඇත. අසීමාන්තිකව පිටරටින් භාණ්ඩ ගලා ඒමට අවකාශ සලසා ඇත. එසේම සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා පනවා තිබූ ආනයන බලපත්‍ර ක්‍රමය අහෝසි කර ඕනෑ කෙනකුට ආනයනය කිරීමට අවකාශ දී ඇත. එහෙත් මේ හේතුවෙන් ආනයන භාණ්ඩවල මිල තරගකාරී ලෙස අඩු වේ යැයි බලාපොරොත්තු වුවද එමගින් පාලක පක්ෂයට හිතවත් කිහිප දෙනකුගේ මඩි තර වී ඇත. මෙලෙස ඔවුන් අතිරික්ත ලෙස උපයන මුදල් දේශපාලනඥයන්ගේ ඡන්ද වැඩ සඳහා යොදවා ගන්නා බවද කියැවේ.
එසේම රට තුළ යම් ද්‍රව්‍යයක මිල ඉහළ ගිය විට හෝ හිඟ වූ විට මිල නියාමනයකට නොගොස් එකවරම ආනයන කිරීමට පෙළඹේ. බිත්තරවලට සිදුවූ දේ මෙයට හොඳ උදාහරණයකි. ආනයනයෙන් බිත්තර මිල අඩු නොවූ අතර ආනයනය නැවැත්වූ විට යළිත් මිල ඉහළ ගියේය. ඒ නිසා ආනයනය කිරීමෙන් තාවකාලික සහනයක් සැලසෙනු විනා ගැටලුවට විසඳුමක් ලැබෙන්නේ නැත. ආර්ථික සැලසුම්වලට දේශපාලනය ඈඳා ගැනීම අප රටේ කවදත් සිදුවූ දෙයකි. අද වනවිට රුපියල අවප්‍රමාණ වීමට පටන් ගැනීමද මෙහි එක් ප්‍රතිඵලයක් වෙයි. මෙම වසර අග භාගයේදී වාහන ආනයනය කිරීමට අවසර දීමට ආණ්ඩුව බලාපොරොත්තු වේ. එසේම තීරු බදු රහිත වාහන ආනයන බලපත්‍ර ක්‍රමය යළි පටන් ගැනීමටද සූදානමක් තිබේ. මේ තත්ත්වය මත පෙර සේම ආනයන පටන්ගත් විට ඩොලරය පෙර තිබූ රුපියල 400 මට්ටමට ළඟා වීමට ඇති ඉඩකඩ වැඩිය.
කෙසේ හෝ රුපියල අවප්‍රමාණ වූ විට ඩොලරයට ගෙවන්නට වන රුපියල් ප්‍රමාණය වැඩිවීමෙන් මෙරටට ආනයනය කරන භාණ්ඩවල මිල ඉහළ යයි. එයට සමානුපාතිකව දේශීයව නිෂ්පාදනය කරන භාණ්ඩ මිලද වැඩි වෙයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2021 2022 වර්ෂවල දරුණු බිඳ වැටීමකට ලක්ව තිබුණේ දරාගත නොහැකි තරමට භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම නිසාය. රටේ ජනතාව දුප්පත් වූවා යැයි කියන්නේ රට දුප්පත් වීමය. ආර්ථික වර්ධනය පහළ වැටී රටේ ආර්ථිකය සංකෝචනය වන්නට පටන් ගත්තේය. ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රට තුළ නොමැතිවීම නිසා ඔවුහු අමාරුවේ වැටුණහ. 2022 වසරේදී ආර්ථික වර්ධන වේගය ඍණ සියයට 11ක් දක්වා පහළ බැස්සේය. 2023 මුල් කාර්තුව පමණ වනවිට තත්ත්වය සුළු වශයෙන් යහපත් වූ අතර ආර්ථික වර්ධන වේගය ඍණ 3ක් විය. භාණ්ඩ මිලදී ගැනීමට අතේ ඇති මුදල් නොසෑහුණු නිසා දිළිඳුකම දෙගුණයකින් වැඩි විය.
අයවැය හිඟය පුළුල් වූ අතර රජය එය පාලනය කිරීමට දැඩි ලෙස රාජ්‍ය වියදම් කපා දැමීමට පෙළඹුණි. එහෙත් බාහිරව එසේ පෙනුණද වරප්‍රසාද ලත් කොටස ඔවුන්ගේ වියදම් අසීමාන්තිකව ඉහළ නංවාගත් බව දක්නට ලැබුණි. රටේ උත්සව ආදියට වැය කරන කෝටි සංඛ්‍යාත අනවශ්‍ය වියදම් එසේම පැවතුණි. රට අභ්‍යන්තරයේ වියදම් අසීමාන්තිකව වැඩිව පැවති විට රුපියල බිඳ වැටීම නිසා රට තුළට එන භාණ්ඩවල මිලද පාලනයකින් තොරව ඉහළ යාමෙන් ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්නා වැනි තත්ත්වයක් ඇතිවිය. මහා භාණ්ඩාගාරයේ පවත්වාගෙන ආ විදේශ සංචිත ගිණුමේ මුදල් ඩොලර් මිලියන ගණනට පහළ බැස්සේය. රට තුළ මුදල් අහේනියක් ඇතිවූ විට කිසිදු සැලසුමකින් තොරව මුදල් නෝට්ටු මුද්‍රණය කළ ද ඩොලර් නෝට්ටු එසේ අපට මුද්‍රණය කළ නොහැකිය.
ඒ නිසා විදේශ සංචිත සෝදා පාළුවට ලක්වූ අතර වෙළෙඳ ගිණුමේ පරතරය ද අසීමාන්තික ලෙස පුළුල් විය. රට තුළට එන ඩොලර් ප්‍රමාණය අඩුවීම මෙයට ප්‍රධාන හේතුව විය. අපනයනය දුර්වල වූ නිසා එම ආදායම අඩු විය. වෙනත් රටවල භාණ්ඩ සමඟ තරග කිරීමට අපේ අපනයනවලට නොහැකිවීම නිසා ඒවා ලෝක වෙළෙඳපොළේ මුල්ලකට තල්ලු විය. එසේම විදේශ ප්‍රේෂණ රටට පැමිණීම මන්දගාමී වූයේ රටට එවන තම මුදල් පිළිබඳ ශ්‍රමිකයන්ට සැකයක් ඇතිවූ නිසාය. විදේශවල ශ්‍රමිකයන් මෙරටට එවන මුදල්වලට යම් බද්දක් ගැසීමට යන බවටද රාවයක් ඇතිවිය. මේ නිසා ශ්‍රමිකයන් තම මුදල් මෙරටට නොඑවා තමා ළඟ රුස්කර තබා ගැනීමට හෝ විදේශ බැංකුවල තැන්පත් කිරීමට පෙළඹුණි.
එහෙත් පාලනය මාරුවීමෙන් පසු 2023 වසර අග සිට විදේශ මුදල් යම් පමණකට රටට ගලා ඒමේ ප්‍රවණතාවක් ඇතිවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආර්ථික වර්ධන වේගය ඍණවල සිට ධනවලට මාරු වී ගියේය. 2023 දෙවැනි කාර්තුව වනවිට රටේ දළ දේශීය නිෂ්පාදනය සියයට 3 කින් ඉහළ ගියේය. ඉලක්කම් දෙකක්ව තිබූ උද්ධමනය වේගයෙන් පහළ ගිය අතර 2024 මුල උද්ධමනය සියයට 0.9 තරමට පහළ වැටුණි. 2023 බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9.8 දක්වා ඉහළ ගියේ යහපත් අනාගතයක් පෙන්නුම් කරමිනි. ජාත්‍යන්තර ඩොලර් සංචිතය ඩොලර් බිලියන 5.5 කට ඉහළ නංවා ගැනීමට හැකි විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරික තුනක් ලබා ගැනීමට හැකිවීමද ඩොලර් ආදායම ඉහළ යාමට හේතු විය. ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර ඇත්තේ 2024 ආර්ථික වර්ධනය සියයට 2.2 දක්වා ඉහළ නගිනු ඇති බවටය.
මේ අන්දමට රටේ ආර්ථිකයේ යම් පමණක වර්ධනයක් පෙන්නුම් කර තිබියදී රුපියලේ අගය දුර්වල වීම නිසා බලාපොරොත්තු වන ආර්ථික ඉලක්කවලට ළඟා විය නොහැකි බවට සැකයක් මෝදු වී ඇත. මෙම තත්ත්වය ඇතිවීමට හේතු පාලකයන් විසින් නිවැරදිව වටහාගත යුතු අතර පවතින තත්ත්වය සමනය කිරීමට ඉහළම ප්‍රමුඛත්වය දිය යුතු බවට ආර්ථික විශ්ලේෂකයෝ උපදෙස් දෙති. එසේ නොවූ කල කිරි කළයක් දොවා ගොම ඇබින්දක් මුසු කළා වැනි ප්‍රතිඵලයක් ලැබෙනවා ඇත. විශේෂයෙන් එක් එක් අයගේ සිත් සතුටු කර දේශපාලන වාසි ලබාගැනීම සඳහා යළිත් ආනයනය ලිහිල් කිරීම මේ අවස්ථාවේ අනුචිත බව ප්‍රකාශ වේ. එසේම රටේ ශ්‍රමිකයන් විදේශවලට ඇදී යාම පාලනය කර ඔවුන් රට තුළ රඳවා ගැනීමට උනන්දු විය යුතු වෙයි. එසේම ආනයන දුර්වල කරමින් අපනයන වර්ධනය කළ යුතු වෙයි. කෙසේ හෝ රටට එන ඩොලර් ප්‍රමාණය වැඩි කර ගතහොත් රුපියල බිඳවැටීම වළක්වා ගත හැකිය. රට යම්තම් හෝ හිස ඔසවාගෙන එන මේ අවස්ථාවේ රුපියලේ විදේශ අගය ශක්තිමත්ව තබා ගැනීමට කටයුතු කිරීම රටට ආදරය කරන සැමගේම වගකීමකි.
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ආර්.අයි.ආර්. ප්‍රසන්න මේ පිළිබඳ අදහස් දක්වමින් අවධාරණය කළේ කිසිම විටක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තම මුදල් ඒකකවල අගය සැමදාම ස්ථාවරව තබා ගැනීමට කිසිදු රටකට නොහැකි බවය. එය රටේ ඩොලර් සංචිත අනුව තීරණය වන්නකි.
'අද සැම රටකටම වාගේ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතුවල නිරත වීමට සිදුවෙනවා. තනිවම දේශීය ආර්ථිකයක් පවත්වාගෙන යන්න බැහැ. ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනු ඇමෙරිකානු ඩොලර් මගින් කරන නිසා ඩොලරයට සාපේක්ෂව තම රටේ මුදල් ඒකකය මනින්න සිදුවෙනවා.
කොහොම වුණත් ඩොලරයට රුපියල් 400 ගෙවන්න තිබුණු වකවානුව නිමවෙලා පසුගිය දිනවල රුපියල් 250 මට්ටමට බැසීමෙන් ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වෙලා තිබුණු බව පිළිගැනුණා. ඒ වුණාට යළිත් රුපියල දුර්වල වෙන්න පටන්ගෙන මේ වනවිට 300 ඉක්මවා ගොස් තිබෙනවා. මේ තත්ත්වය නිසා ආනයන භාණ්ඩවල මිල වැඩිවෙලා තියෙනවා. එයට සමානුපාතිකව දේශීය ද්‍රව්‍යවලද මිල ඉහළ යනවා. රජය ඩොලර් මිලදී ගෙන විදේශ සංචිත ශක්තිමත් කිරීමට යාම නිසා තමයි මෙය සිදුවන්නේ. ඩොලර්වලට ඇති ඉල්ලුම ඉහළ යාම නිසා මිල වැඩි වෙනවා. හැබැයි මෙම තත්ත්වය තාවකාලිකයි. මෙම රුපියල බිඳවැටීම ක්‍රමයෙන් නිවැරදි වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට මුදල් ලැබෙන විට ඩොලර් රටට ලැබීමේ ප්‍රවණතාව ඉහළ යනවා. ඩොලර් පිටතට ගලාගෙන යන වේගය අඩුවෙලා රට තුළට විවිධ ක්‍රමවලින් මුදල් ලැබෙන්නට පටන්ගෙන තිබෙනවා.
සංචාරක ව්‍යාපාරය දියුණුවීම නිසාද විදේශවලට යන සේවාලාභීන් තමාගේ ඉපැයීම් රටට වැඩිපුර එවීම නිසාද අපේ රටට ඩොලර් ලැබෙනවා. ඒ නිසා රුපියල යම් පමණකට හෝ දුර්වල වීම තාවකාලිකයි. එසේම රටට ලැබෙන ඩොලර් හොර පාරවලින් පිටතට යාමේ ප්‍රවණතාව වැඩිවෙලා තියෙනවා. ඩොලරයේ අගය කෘත්‍රිමව පාලනය කිරීම පසුගිය කාලයේ සිදුවූ බව අපට මතකයි. මෙහිදී මහ බැංකුව ඩොලරය පාලනය කරන්න පටන් ගත්තා. ඒ පාලනය ලිහිල් වූ විට රබර් බෝලයක් දිය යට තද කරගෙන ඉඳලා අතහැරියා වගේ ඩොලරය සියල්ල බිඳගෙන ඉහළට ගියා. එහි අසාර්ථකභාවය තේරුම් ගිය නිසා වර්තමානයේදී ඩොලරය පාලනය කිරීමෙන් මහ බැංකුව ඉවත් වෙලා තියෙනවා. ඒ නිසා තමා මේ විචල්‍යභාව ඇතිවෙලා තියෙන්නේ. එහෙත් එය ඉදිරියේදී යම් සමතුලිතතාවයකට පත්වේවි යැයි බලාපොරොත්තු විය හැකියි.
පසුගිය සමයේ ආනයන පාලනය කිරීම නිසා තමයි රුපියල තිබුණු තැනින් හොඳ තත්ත්වයකට ආවේ. එහෙත් මේ වනවිට ටිකින් ටික ආනයන ලිහිල් කරමින් පවතිනවා. දැන් ඉදිරියේදි වාහන ආනයන කිරීමට කටයුතු කරන බවත් පැවසෙනවා. එම තත්ත්වය මත තවත් රුපියල දුර්වල වෙන්න පුළුවන්. රටින් පිටතට යන ඩොලර් ප්‍රමාණයට වැඩියෙන් අපනයනය මගින් ඩොලර් රටට ලබාගත හැකි වුවහොත් මෙම තත්ත්වය යහපත් කළ හැකියි. ඒ නිසා අපනයන ප්‍රවර්ධනයට කටයුතු කළ යුතු වෙනවා. රජයට එවැනි සැලසුමක් තිබේද යන්න කියන්න බැහැ. රාජ්‍ය වැය වැඩිවන විට ආනයන බිල වැඩි වෙනවා. මෙම තත්ත්වය අහිතකර වීමට බලපානවා.
රට තුළ අලුත් ව්‍යාපෘති තවම ආරම්භ වී නැහැ. පවතින නීති ලිහිල් කර විදේශ ආයෝජකයන්ට අවස්ථාව ලබා දෙන්නේ නම් නිෂ්පාදනය වැඩි කළ හැකියි. එහෙත් තවම පවතින්නේ අර්බුදයකයි. රුපියල ශක්තිමත් වනවිට ආනයන භාණ්ඩ ලාභ වුණත්, අපනයනවලින් අපට ලැබෙන ආදායම පහළ යනවා. විදේශ ප්‍රේෂණවල අගය අඩු වෙනවා. ශ්‍රමිකයන් ඩොලර් රටට නොඑවා ළඟ තබාගන්න බලනවා. මෙය දෙපැත්ත කැපෙන ආයුධයක් වගෙයි. ආනයන අඩුකර අපනයන වැඩි කිරීමේ සැලසුමක් නැහැ. එහෙත් මම හිතනවා තව මාස 6ක් පමණ වනවිට මෙම තත්ත්වය සමතුලිත වෙයි කියලා. එවිට කලින් වගේ ගරා වැටීමක් සිදුවන එකක් නැහැ. යම් අඩුත් නැති වැඩිත් නැති මට්ටමක තබාගන්න පුළුවන්. ආපසු ඇවිත් ඩොලරය රුපියල් 280 මට්ටමට ළඟා විය හැකියි. එහෙම නැතුව ඉස්සර තිබුණු මට්ටමට බහින එකක් නැහැ. එහෙත් යම් ස්ථාවර මට්ටමක තිබෙනවා නම් ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කිරීම පහසු වෙනවා. මොකද අස්ථාවර වනවිට ආයෝජකයන් පවා සැකයෙන් තමා බලන්නේ. ණය ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාත්මක වූ විට ණය ගෙවීම නැවතීම නිසා ඩොලර් ඉතුරු වෙනවා.'
• යසවර්ධන රුද්රිගූ