2024 ජුලි 06 වන සෙනසුරාදා

දෙමළ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් සෙවීමට ජීවිතය කැප කළ සම්පන්ධන්

 2024 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 17

අඩසියවසකට ආසන්න කාලයක් දේශපාලනඥයකු ලෙස හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ රාජවරෝතියම් සම්පන්ධන් මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජූනි 30 වැනි ඉරුදින අභාවප්‍රාප්ත විය. මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කළ වයෝවෘද්ධතම මන්ත්‍රීවරයකු වූ ඒ මහතා මිය යන විට 91 වැනි වියේ පසු විය.

දෙමළ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් සෙවීම සඳහා සිය දේශපාලන ජීවිතය කැප කළ  සම්පන්ධන් මහතා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් 1977 වසරේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරීපත් විය. ඔහු 1977 සිට 1983 දක්වාත් නැවත 1997 සිට 2000 දක්වා සහ 2001 සිට අභාවප්‍රාප්ත වන තෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළේය. 2015 සිට 2018 දක්වා විපක්ෂ නායකවරයා වූ අතර ඒ මෙරට පාර්ලිමේන්තුවේ 14 වැනි විපක්ෂ නායකවරයා ලෙසිනි. ඉන් පෙර දෙමළ ජාතිකයකු විපක්ෂ නායකවරයා වූයේ 1977 දීය. ඒ ජේ.ආර්. ජයවර්ධන රජයේ විපක්ෂ නායකවරයා වූ අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් ය.

වෘත්තියෙන් නීතිඥයකු වූ සම්පන්ධන් මහතා 2001 වසරේ සිට යුද්ධයෙන් පීඩාවට පත් උතුරු සහ නැගෙනහිර දෙමළ ජනතාව නියෝජනය කරන ප්‍රධාන කණ්ඩායම වන දෙමළ ජාතික සන්ධානයට නායකත්වය ලබාදුන් අතර 2024 වසරේ අප්‍රේල් මාසයේදී ඔහුගේ අසනීප තත්ත්වය හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාස තුනක නිවාඩුවක් පාර්ලිමේන්තුව විසින් ලබා දී තිබුණි. ඔහු ජීවිතයෙන් සමුගත්තේ ඒ අතරතුරය.

සම්පන්ධන් මහතා උපත ලැබුවේ 1933 පෙබරවාරි 5 වැනිදාය. ගල්ඔය ව්‍යාපෘතියේ ගබඩා අධිකාරී ඒ. රාජවරෝතියම්ගේ පුත්‍රයා වූ ඔහු ත්‍රිකුණාමලයේ මන්ත්‍රීවරුන් වූ එස්. සිවපාලන් සහ එන්.ආර්. රාජවරෝතියම්ගේ ඥාතියෙකි. යාපනයේ ශාන්ත පැට්‍රික් විද්‍යාලය, කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, ත්‍රිකුණාමලයේ ශාන්ත ජෝශප් විද්‍යාලය සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඔහු පාසල් අධ්‍යාපනයෙන් පසු ලංකා නීති විද්‍යාලයෙන් උපාධිය ලබා ත්‍රිකුණාමලයේ නීතිඥ වෘත්තියේ නියැළුණේය.

සම්පන්ධන් මහතාගේ දේශපාලන ආගමනය සිදුවූයේ 1956 දී ඉලංකෙයි තමිල් අරසු කච්චි (ෆෙඩරල් පක්ෂය) හා සම්බන්ධ වීමෙනි. ඉලංකෙයි තමිල් අරසු කච්චි නායක එස්. ජේ.වී. චෙල්වනායගම් 1963 සහ 1970 දී සම්පන්ධන්ට නාමයෝජනා ලබා දුන් නමුත් ඔහු තරග කිරීම ප්‍රතික්ෂේප කළේය.

1972 මැයි 14 දින ඉලංකෙයි තමිල් අරසු පක්ෂය, (ITAK) සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය (ACTC), ලංකා කම්කරු කොංග්‍රසය, ඊලත් තමිලර් ඔටෲමයි මුන්නානි පක්ෂය සහ සමස්ත ලංකා දෙමළ සම්මේලනය එක්ව ද්‍රවිඩ එක්සත් පෙරමුණ (TUF) පිහිටුවා ගත් අතර පසුව එය ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) බවට පත් විය. සම්පන්ධන් 1977 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ත්‍රිකුණාමලයේ ද්‍රවිඩ එක්සත් පෙරමුණු අපේක්ෂකයා වූ අතර එම මැතිවරණය ජයග්‍රහණය කර ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසියේය. 

සම්පන්ධන් සහ අනෙකුත් සියලුම TULF මන්ත්‍රීවරු 1983 මැද භාගයේ සිට  පාර්ලිමේන්තුව වර්ජනය කළහ. හය වසරකට වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ නොසිටින ලෙසට එල්.ටී.ටී.ඊ සංවිධානය ඔවුනට පීඩනයක් එල්ල කර තිබිණි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හයවැනි සංශෝධනය අනුව වෙනම රාජ්‍යයක් සඳහා සහයෝගය නොදෙන බවට දිවුරුම් දීමට අවශ්‍ය විය. එම දිවුරුම් දීම කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේප කරමින් මාස තුනක කාලයක් පාර්ලිමේන්තුවට නොපැමිණීම හේතුවෙන් සම්පන්ධන් ඇතුළු කණ්ඩායමට 1983 සැප්තැම්බර් 7 වැනි දින පාර්ලිමේන්තු අසුන අහිමි කෙරිණි. සම්පන්ධන් TULF හි සම භාණ්ඩාගාරික, උප සභාපති සහ ප්‍රධාන ලේකම් ලෙස ද කටයුතු කළේය.

1989 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඊළාම් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විමුක්ති පෙරමුණ (ENDLF), ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (EPRLF), දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය (TELO) සහ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) යන පක්ෂ එක්ව සන්ධානගත වූ අතර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් සම්පන්ධන් තරග කළේය. එහෙත් එම දිස්ත්‍රික්කයේ කිසිදු ආසනයක් එම සන්ධානයට දිනා ගැනීමට නොහැකි විය. 1994 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔහු ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණු අපේක්ෂකයකු වූ නමුදු එම අපේක්ෂකයන් අතරින් දෙවැනි ස්ථානයට පත්වූ බැවින් ඔහුට පාර්ලිමේන්තු වරම් අහිමි විය. 1997 ජූලි 5 වැනි දින අරුණාසලම් තංගතුරෙයිගේ ඝාතනයෙන් පසුව ඔහු 1997 දී නැවත පාර්ලිමේන්තුවට පිවිසියේය. 2000 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණු අපේක්ෂකයකු වූ නමුදු එම දිස්ත්‍රික්කයේ කිසිදු ආසනයක් දිනා ගැනීමට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ අසමත් විය.

2001 ඔක්තෝබර් 20 දින සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය, ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ, දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය සහ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ එක්ව දෙමළ ජාතික සන්ධානය (TNA) නිර්මාණය විය. දෙමළ ජාතික සන්ධානයේ නායකයා වූයේ සම්බන්ධන්ය. 2001 පාර්ලිමේන්තු මැතිවරණයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂකයකු ලෙස ඔහු තරග කළ අතර යළි පාර්ලිමේන්තුවට තේරීපත් විය.

දෙමළ ජාතික සන්ධානය ප්‍රභාකරන්ගේ එල්.ටී.ටී.ඊ සංවිධානය ශ්‍රී ලංකා දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස පිළිගත් අතර එල්.ටී.ටී.ඊ හිතවාදී පිළිවෙතක් අනුගමනය කළේය. මෙය ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ තුළ භේදයක් ඇති කළේය. එහි සභාපති වී. ආනන්දසංගරීගේ නායකත්වයෙන් යුත් ඇතැම් සාමාජිකයෝ එල්.ටී.ටී.ඊ සංවිධානයට විරුද්ධ වූහ. ආනන්දසංගරී 2004 පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට (TNA) ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණු (TULF) නාමය භාවිත කිරීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කළේය. සම්පන්ධන් ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානය සමඟ සිටීමට කැමති වූ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණු සාමාජිකයෝ ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන පක්ෂය නැවත පණ ගැන්වීමට පියවර ගත්හ. සම්බන්ධන් ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ නායකයා බවට පත් විය.

සම්පන්ධන් 2004, 2010 සහ 2015 පාර්ලිමේන්තු මැතිවරණවලදී නැවත තේරී පත් විය. පාර්ලිමේන්තුවේ කථානායකවරයා 2015 සැප්තැම්බර් 3 වැනි දින සම්පන්ධන් විපක්ෂ නායක ලෙස පිළිගත්තේය. 2015 ජනාධිපතිවරණයේදී, සම්පන්ධන්ගේ නායකත්වය යටතේ දෙමළ ජාතික සන්ධානය විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරග කළ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තීරණය කළේය.

සම්පන්ධන් විවාහ වූයේ පී.කේ. රුද්‍රාගේ දියණිය වන ලීලාදේවි සමඟය. ඔවුනට පුතුන් දෙදෙනෙක් (සංජීවන් සහ සෙන්තුරන්) සහ එක් දියණියක් (ක්‍රිෂාන්තිනී) සිටිති.

සම්පන්ධන් මහතා පාර්ලිමේන්තුව තුළ නිර්භීත සහ නිර්දය හඬක් විය. 2009 සිවිල් යුද්ධය අවසන් වූ දා සිට ඔහු වෙහෙස නොබලා ‘එක්සත්, නොබෙදුණු, නොබෙදිය හැකි’ රටක් තුළ දෙමළ ජනයාට සමාන අයිතිවාසිකම් ඉල්ලා සිටියේය. අතීතයේ දී ලබා දුන් එහෙත් දෙමළ ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට අපොහොසත් වූ බොහෝ පොරොන්දු සම්බන්ධයෙන් හඬ නැගූ ඔහු මියෙන තුරුම දේශපාලන විසඳුමක් සඳහා නිරන්තරයෙන් කැප වී සිටියේය.

•   ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා.