2024 ජුලි 06 වන සෙනසුරාදා

මෙවර මැතිවරණ නිරීක්ෂණ වෙන්නෙ කොහොමද?

 2024 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 54

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම එළැඹෙන සැප්තැම්බර් 17 වැනිදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබේ. 

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතට අනුව, ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට පෙර මාසයකට අඩු නොවන සහ මාස දෙකකට වැඩි නොවන කාලසීමාවක් තුළ එනම් ජූලි 17 න් පසු ජනාධිපතිවරණය කැඳවීමට මැතිවරණ කොමිසමට හැකිය. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව නියමිත කාලසීමාව තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව නාමයෝජනා කැඳවන බවයි.

අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත් ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන බවටත් ජනාධිපතිවරයා ද ප්‍රකාශ කර තිබේ. මේ වන විට විවිධ පක්ෂ හා සන්ධාන රට වටා යමින් දහසක් පොරොන්දු ජනතාවට ලබා දෙමින් බලයට පත්වීම සඳහා කටයුතු කරමින් සිටියි. වසර 76ක් මුළුල්ලේම ජනතාව ඇන්දූ දේශපාලන පක්ෂ ජනතාවට සුරංගනා ලෝක මවා පාමින් සිටින අතර රට බංකොලොත් කළ දේශපාලකයන්ට තම කතිරයේ බලය පෙන්වීමට ජනතාව ද සූදානමින් සිටිති.

ඕනෑම මැතිවරණයකදී විවිධ අක්‍රමිකතා, දූෂණ ක්‍රියා, වංචා සිදුවීම වැළැක්විය නොහැකිය.  එවැනි අක්‍රමිකතා, වංචා සහ දූෂණවලට එරෙහි වෙමින් නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා බොහෝ සෙයින් වෙහෙසෙන කණ්ඩායමක් වන්නේ මැතිවරණ නිරීක්ෂණ සංවිධානයි. වර්තමානයේ එවැනි සංවිධාන 8ක් පමණ මෙරට ක්‍රියාත්මක වන අතර ඉන් ප්‍රධාන පෙළේ සංවිධානයක් වන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් පැෆරල් සංවිධානයයි.

ඉදිරි ජනාධිපතිවරණය අරභයා පැෆරල් සංවිධානයේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සිදුවන්නේ කෙසේදැයි අප විමසා සිටියේ එම සංවිධානයේ සභාපති රෝහණ හෙට්ටිආරච්චි මහතාගෙනි. පැෆරල් සංවිධානය අදියර තුනක් යටතේ මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත වන බව ඒ මහතා දේශයට ප්‍රකාශ කළේය. ඒ පූර්ව මැතිවරණ නිරීක්ෂණය, මැතිවරණ දින නිරීක්ෂණය සහ සහ පශ්චාත් නිරීක්ෂණ ක්‍රියාවලිය ලෙසිනි. මේ වන විටද ජනාධිපතිවරණය සඳහා පූර්ව මැතිවරණ නිරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි ඒ මහතා කියා සිටියේය. 

'තැපැල් ඡන්ද පැවැත්වීමේ සිට අපේ නිරීක්ෂණ කණ්ඩායම් ඒ සඳහා සහභාගී වෙනවා. අවම වශයෙන් 1500ත් 2000ත් අතර පිරිසක් ඒ සඳහා සහභාගී වෙනවා. මැතිවරණ දිනයේ නියෝජිතයන් 4000ක් ඡන්ද මධ්‍යස්ථාවලට යොදවනවා. ඊට අමතරව ජංගම කණ්ඩායම් 200ක් නිරීක්ෂණ කටයුතුවලට එක් වෙනවා. එයට අවම වශයෙන් 1000ක පමණ පිරිසක් සහභාගී වෙනවා. ඡන්ද ගණනය කරන ස්ථාන සඳහා 100ත් 200ත් අතර පිරිසක් යෙදවීමට අපේක්ෂා කරනවා. මේ තමයි අපේ ප්‍රධාන සැලසුම. ඊට අමතරව මෙවර ජනාධිපතිවරණය සඳහා සමාජ මාධ්‍ය නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කරනවා. බොහෝ විට සමාජ මාධ්‍ය තුළින් වෛරී ප්‍රකාශ, වැරදි තොරතුරු සහ වැරදි අර්ථකථන සමාජගත කරන බව පෙනෙන්නට තිබෙනවා. මේවා පාලනය කරන්න අප සංවිධානයත්, මැතිවරණ කොමිසමත් හෑෂ්ටැග් නමැති තරුණ සංවිධානයත් එක්ව නිරීක්ෂණය කිරීමට පියවර ගන්නවා. එවැනි දේ සම්බන්ධයෙන් ඒ මොහොතෙම පියවර ගන්නවා.' යනුවෙන් සඳහන් කළේය. 

මැතිවරණයකදී අපේක්ෂකයන් විසින් විවිධ අක්‍රමිකතා සහ දූෂණ සිදු කරන බවට සෑම මැතිවරණයකදීම අසන්නට ලැබේ. විශේෂයෙන් අධික ලෙස මුදල් වියදම් කරමින් මැතිවරණ නීති උල්ලංඝනය ඉන් ප්‍රධාන තැනක් ගනී. ඉදිරි ජනාධිපතිවරණයේදී ද ඇතැම් අපේක්ෂකයන් විවිධ අයුරින් මුදල් වැය කිරීමට කටයුතු කරනු ඇත. 

සෑම අපේක්ෂකයකුටම මැතිවරණය වෙනුවෙන් කිසියම් මුදල් ප්‍රමාණයක් වියදම් කිරීමට නීතියෙන් බලය පැවරෙන්නේය. එහෙත් ඇතැම් අපේක්ෂකයන් නියමිත මුදලට වඩා අධික මුදලක් මැතිවරණ වෙනුවෙන් වැය කරන බව පෙනෙන්නට තිබේ. එමෙන්ම විවිධ අල්ලස් දීම් ද දැකිය හැකිය. පළාත් පාලන මැතිවරණයකදී නම් එක් ඡන්ද දායකයකු වෙනුවෙන් අපේක්ෂකයකුට වැය කළ හැක්කේ රුපියල් 20ක් පමණි. ජනාධිපතිවරණයට දින නියම කරන තෙක් අපේක්ෂකයකුට වැය කළ හැකි මුදල කොපමණදැයි සඳහන් කළ නොහැකිය. එය දැනගත හැකි වන්නේ නාමයෝජනා බාර දී දින පහක් ඇතුළතය. අපේක්ෂකයන් නාමයෝජනා ලබා දීමෙන් පසු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කොට එය තීන්දු කෙරෙනු ඇත.

මේ සම්බන්ධයෙන් රෝහණ හෙට්ටිආරච්ච් මහතා සඳහන් කළේ මැතිවරණ වියදම් සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සියල්ල ඒකාබද්ධව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මේ දිනවල සැලසුම් කරමින් සිටින බවටය. එමෙන්ම ජය ගන්නා අපේක්ෂකයා විසින් ඉදිරිපත් කරන ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රායෝගික වැඩපිළිවෙළක් බවට පත් කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ දිනවල සොයා බලමින් සිටින බවද හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

මැතිවරණ නිරීක්ෂණ ආයතනවලට එවැනි නිරීක්ෂණ සඳහා විශාල මුදලක් වැය කරන්නට සිදු වේ. එම ආයතන සඳහා බොහෝ විට මූල්‍ය ආධාර ලැබෙන්නේ බටහිර රටවලිනි. එහෙත් මේ වන විට එවැනි ආධාර ලැබෙන්නේ සීමිතවය. ඒ සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා දේශයට මෙලෙස අදහස් දැක්වීය. 

'පසුගිය සමයේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා බටහිර රටවලින් මූල්‍ය පහසුකම් ලැබුණා. වර්තමානයේ පවතින පලස්තීන අර්බුදය හා යුක්‍රේන අර්බුදය මත බටහිර රටවල් එම රටවලට වැඩි වශයෙන් මූල්‍ය ආධාර සපයන හෙයින් මැතිවරණ නිරීක්ෂණ සඳහා අපට ලැබෙන්නේ සීමිත මුදලක්. ඒ නිසා පෙර මැතිවරණයන්හි නිරීක්ෂණ කටයුතු සිදු කළ ආකාරයටම මෙවර මැතිවරණ නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට අසීරුයි. ඒත් අපට හැකි අයුරින් නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට කටයුතු කරනවා. මැතිවරණ නිරීක්ෂණ කටයුතු සිදු කෙරෙන්නේ මැතිවරණ කොමිසමේ අවසරය මත සංවිධානාත්මක ලෙසයි. මෙරට සෑම පුරවැසියෙක්ම මැතිවරණ නිරීක්ෂකයකු ලෙස කටයුතු කළ යුතුය යන්න මගේ අදහසයි.  

අපට මූල්‍ය ආධාර තිබුණත් නැතත් නිරීක්ෂණ සංවිධාන විදිහට ඡන්ද දායකයන් දැනුම්වත් කිරීමට සහ විවිධ මැතිවරණවලදී සිදුවන ක්‍රියා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීම සිදු කරනවා. මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ පසු නිරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා දැවැන්ත මූල්‍ය පසුබිමක් හා විශාල මානව සම්පතක් අවශ්‍ය වෙනවා. වර්තමානයේ රටේ ආර්ථික වාතාවරණය ඉතා අහිතකරයි. යාපනය, අනුරාධපුර හෝ මොණරාගල වැනි දුර බැහැර ප්‍රදේශයක මැතිවරණ නිරීක්ෂණ කටයුතු සිදු කරන්න ප්‍රවාහන කටයුතු සඳහා අති විශාල මුදලක් වැය කරන්නට සිදු වෙනවා. පෙර පැවැති මැතිවරණවලට වඩා විශාල පිරිවැයක් ඉදිරියේ පැවැත්වෙන මැතිවරණ නිරීක්ෂණය සඳහා අපට වැය කරන්න සිදු වෙනවා. කලින් මැතිවරණවලදී අපිට මැතිවරණය පමණයි නිරීක්ෂණය කිරීමට තිබුණේ. මෙවර නිරීක්ෂණ දෙකක් සිදු කළ යුතුයි. ඒ මැතිවරණය සහ මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන්. මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන ආකාරය සහ ඒ සඳහා වැය කළ හැකි සීමාව ඉක්මවනවද යන්නත් සොයා බැලිය යුතුයි. එම නිසා අවම මුදල් ප්‍රමාණයක් හා වැඩි අවශ්‍යතා ප්‍රමාණයක් සහිත මැතිවරණයක් ලෙස මෙවර ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු හඳුන්වන්න පුළුවන්. 

අපට පමණක් නොවෙයි නිරීක්ෂණ ආයතන එකක් හෝ දෙකක් හැරෙන්නට අනෙකුත් මැතිවරණ නිරීක්ෂණ ආයතන සියල්ලම පාහේ  මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටිනවා. ඒ හැමෝම මෙම කටයුතු සිදු කරන්නේ ඉතාමත් අසීරුවෙන්. පුරවැසියන් ලෙස අපි අපේ යුතුකම ඉටු කළ යුතුයි. බොහෝ විට වැඩි අවදානමක් තිබෙන්නේ මැතිවරණයට පෙර සහ මැතිවරණ දිනයේයි. මැතිවරණයෙන් දවස් 31කට පසු මැතිවරණ වියදම් පිළිබඳ වාර්තා අපට ලැබෙනවා. ඒවාද නිරීක්ෂණය කළ යුතුයි. පශ්චාත් මැතිවරණ කාලය තුළ අපි වැඩි අවධානයක් යොමු කරන්නේ මැතිවරණ වියදම් සම්බන්ධවයි. නියමිත මුදලට වඩා වැය කර ඇති බවට අනාවරණ වූ අපේක්ෂකයකුට උපරිම වශයෙන් රුපියල් ලක්ෂයක දඩයක් පැනවිය හැකියි. වසර තුනක් ගතවන තෙක් දේශපාලනයේ යෙදිය නොහැකි ලෙස ඔහුගේ අයිතිවාසිකම් අහිමි කළ හැකියි. එවැනි වරදක් කළ බවට සනාථ වූ පුද්ගලයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නම් ඔහුව අධිකරණ තීන්දුවකින් ඉවත් කළ හැකියි.' යනුවෙන් සඳහන් කළේය.

මැතිවරණයක් යනු ජනතාවගේ පරමාධිපත්‍යය ප්‍රකාශ කරන දිනයයි. ජනතාවට දේශපාලකයන්ට කිසියම් පණිවිඩයක් දීමට ඇති එකම දිනය වන්නේද මැතිවරණ දිනයයි. එහෙයින් ජනතාව තම වටිනා ඡන්දය නිවැරදි පුද්ගලයකු වෙනුවෙන් භාවිත කිරීමට වගබලා ගත යුතුය. එසේ නොමැති වුවහොත් සිදුවන්නේ යළිත් වරක් අගාධයට වැටෙන්නටය. එහෙයින් තම ඡන්දය භාවිත කිරීමේදී හදවතට නොව බුද්ධියට ඉඩ දීමට ඡන්ද දායකයන් වග බලාගත යුතුය.

•   ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා