2024 ජුලි 06 වන සෙනසුරාදා

ජංගම දුරකථනය නැතිවුණොත්

 2024 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 76

අප සැමගේ දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය උපකරණයක් බවට ජංගම දුරකථනය පත්ව ඇති බව ඉඳුරාම පැහැදිලි කරුණකි. එම නිසාම ජංගම දුරකථනයක මූල්‍ය වටිනාකම පරයා එහි උපයෝගිතා මත නිර්මාණය වී ඇති වටිනාකම ඉහළ ගොස් තිබේ. 

ඒ නිසාම ජංගම දුරකථනයක් අස්ථානගත වීම යනු හුදු සරල කරුණක් නොවන බව දුරකථන පාරිභෝගිකයෝ සියල්ලෝම දනිති. එහෙත් ජංගම දුරකථන අස්ථානගත වීමේදී සිදුකළ යුක්ත පිළිබඳ ඔවුන් බහුතරයකට නිසි අවබෝධයක් නොමැත. නැතිනම් එය ඉතා සංකීර්ණ කාලය කා දැමීමක ප්‍රතිඵල විරහිත ක්‍රියාවක්ය යන හැඟීම ජංගම දුරකථන පාරිභෝගිකයන් තුළ නොමැත.

එහෙත් ජංගම දුරකථන අස්ථානගත වීමත් සමඟ නොසිතන විපත් රුසක ඔබ පැටලීමේ අවදානමක් පවතී. එම නිසාම ජංගම දුරකථන නැතිවීමේ දී අනුගමනය කළ යුතු පහත පියවර පිළිබඳ ඔබ දැනුවත් විය යුතුය.

පියවර 01 

සබඳතාව විසන්ධි කර දමන්න. 

ජංගම දුරකථනය අස්ථානගත වූ විට හිතමිතුරන්ගෙන් ගලා එන උපදෙස් අනුව ඔබට ලැබෙන උපදෙස මෙය විය හැකිය.
“ඉක්මනින් සිම් එක කැන්සල් කරන්න"

කවුරුන් හෝ සිම්පත සමඟ දුරකථනය ක්‍රියාත්මක කරද්දී ඔහු හෝ ඇය සොයා ගැනීමට හැකිවේ යැයි මංමුලා සහගත විශ්වාසයක් බහුතරයක් සතු වේ. එහෙත් ජංගම දුරකථනය වෙනත් අයකු අතට පත්වීමට වඩා ඔබ නමින් ලියාපදිංචි සිම්පත වෙනත් අයකු අතට පත්වීම භයානක විය හැකිය. යම් අපරාධමය වරදක සන්නිවේදන අවශ්‍යතාවක් වෙනුවෙන් අදාළ තැනැත්තා ඔබගේ සිම්පත භාවිත කළහොත් ඔබට නීතිය ඉදිරියේ චෝදනා එල්ල වනු ඇත. නිරන්තර මෙවන් අකරතැබ්බ වාර්තා වන අතර අධිකරණ ක්‍රියාවලීන්ට පැටලී පීඩා විඳින්නෝ රුසකි.

එසේම ඔබගේ සමාජ ගිණුම් සහ ගනුදෙනු සඳහා අදාළ සියලු ගිණුම් ප්‍රවේශයන් කඩිනමින් වෙනස් කිරීමට වග බලාගත යුතුය.

මේ අනුව පළමු පියවර ලෙස ජංගම දුරකථන තුළ ඇති ඔබ නමින් ලියාපදිංචි සිම්පත අදාළ ආයතනය අමතා විසන්ධි කිරීමට සහ අදාළ පාර්ශ්ව වෙත දන්වා පෞද්ගලික වෙනත් ගිණුම්වලින් බැහැර වීමට කටයුතු කළ යුතුය.

පියවර 02

ඉමි අංකය සොයා ගන්න 
ජංගම දුරකථනය නැතිවීම හෝ අස්ථානගත වීම පිළිබඳ අදාළ පැමිණිල්ල යොමු කිරීමට මත්තෙන් IMEI අංකය දැන සිටීම ඉතා ඵලදායීය. IMEI අංකය යනු ජංගම පර්යන්ත උපකරණයක හඳුනා ගැනීමේ ජාත්‍යන්තර අංකයයි. සෑම දුරකථනයකටම එකින් එකට වෙනස් IMEI අංක පවතින අතර එය ඔබගේ හැඳුනුම්පත් අංකය හා සමාන අංකන ක්‍රියාවලියකි.

මෙම අංකය දැන ගැනීම සඳහා ඔබගේ දුරකථනයේ තරු සලකුණ කොටු සලකුණ බින්දුව හය සහ කොටු සලකුණ (#06#) ඇමතිය යුතුය. පූර්වේදීම ඔබට මෙම අංකය ලබාගෙන මතක ඇති තැනක සුරක්ෂිත කිරීමට හැකි නම් එය ඉතා අගනේය. නැතිනම් දුරකථනය මිලදී ගත් සමාගමෙන් අදාළ අංකය ලබා ගැනීමට ඔබ සිදුවනු ඇත.

පියවර 03

පැමිණිල්ල යොමු කිරීම 
ජංගම දුරකථන අස්ථානගත වීම පිළිබඳ පැමිණිලි යොමු කළ යුත්තේ ශ්‍රී ලංකා පොලීසිය වෙතය. මේ සඳහා මේ වන විටත් වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ. ඒ අනුව www.ineed.police.lk වෙබ් අඩවියට ජංගම දුරකථන අස්ථානගත වීම් පිළිබඳව කඩිනමින් පැමිණිලි කිරීම පහසුම සහ ප්‍රතිඵලදායකම ක්‍රමවේදයයි. මේ හරහා පැමිණිලි කළ විට ඔබේ පැමිණිල්ලේ වර්තමාන තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වීමටද ඔබට අවකාශයක් උදා වේ. කෙසේ නමුත් අදාළ පැමිණිල්ලේ දී IMEI ඉතා වැදගත්ය.
මෙලෙස මාර්ගගත ක්‍රමයට පැමිණිල්ල ඉදිරිපත් කිරීමට නොහැකි අවස්ථාවක ආසන්න පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිල්ල ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. කෙසේ වෙතත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ජංගම දුරකථන නැතිවීම සම්බන්ධ පැමිණිලි යොමුකිරීම ඵලදායී නොවන බව පැහැදිලිව සඳහන් කළ යුතුය. මෙම ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා පොලීසිය සමඟ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව එක්ව කටයුතු කරන නමුත් එම ආයතනය පැමිණිලි බාරගනු නොලබයි.

විසඳුම් ලැබීම

වෙනත් අයකු ඔබගේ දුරකථනය ලබාගත් අවස්ථාවකදී ඔහු ඊට සිම්පතක් ඇතුළත් කර භාවිත කරන විට IMEI හරහා එම දුරකථනය භාවිත කරන්නා පිළිබඳ දැන ගැනීමේ හැකියාවක් පවතින බව ඔබ දැන සිටිය යුතුය. එවන් අවස්ථාවලදී ඇතුළත් කරවන නව සිම්පතට අනුව අදාළ පුද්ගලයා පොලීසිය වෙත කැඳවා ප්‍රශ්න කිරීමේ හැකියාව නෛතිකව පොලීසිය වෙත ලැබී තිබේ. 
 

විශේෂයෙන් දැනගන්න

මෙරට මෙන්ම ලෝකවාසී බොහෝ දෙනකු ජංගම දුරකථන භාවිත කරන නමුත් ජංගම දුරකථන නිසි පරිදි භාවිත කිරීම පිළිබඳ නිසි අවබෝධයක් බොහෝ දෙනකු තුළ නොමැත. පෞද්ගලික තොරතුරු, ඡායාරෑප, ජංගම දුරකථන තුළ ගබඩා කර තැබීම ඉතා අහිතකර තත්ත්වයකි. මෙම තොරතුරුවල ආරක්ෂාව පිළිබඳ ජංගම දුරකථන අස්ථානගත වූ අවස්ථාවලදී කිසිදු ආයතනයකට වගවීමට හැකියාවක් නොමැත.

“ෆෝන් එක නැතිවුණොත් ආයේ ගන්න පුළුවන්. ඒත් මේකේ තියෙන දේවල්" 

බොහෝ දෙනකු මෙලෙස පවසන්නේ නොදැනුවත්භාවය නිසාවෙන් පෞද්ගලික දත්ත තොරතුරු ජංගම දුරකථනය තුළ ගබඩා කරන බැවිනි. 

•   චමිඳු නිසල් ද සිල්වා