2024 ජුලි 06 වන සෙනසුරාදා

ලෝක නින්දිතයන්ගේ ලැයිස්තුව

 2024 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 20

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇති නින්දිතයන්ගේ ලැයිස්තුව ලොව ආන්දෝලනයට ලක්වූවකි. ඒ ගැන BBC ය කළ විග්‍රහයකි මේ. 2001 වසරේදී, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ 1379 යෝජනාව මගින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේ, දරුවන් බඳවා ගන්නා සහ ඔවුන් භාවිත කරන "ගැටුම්වලට සම්බන්ධ පාර්ශවයන්" හඳුනාගෙන ලැයිස්තුගත කරන ලෙසයි.

එතැන් සිට, මෙම ලැයිස්තුව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් ආරක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලබන වාර්ෂික වාර්තාවට සම්බන්ධ වුණු අතර එහි "අදාළ සන්නද්ධ ගැටුම දරුවන්ට බලපෑ ආකාරය සහ එහිදී කරන ලද උල්ලංඝනයන් පිළිබඳ තොරතුරු" ඇතුළත් කෙරිණි.

සන්නද්ධ ගැටුම්වලින් දරුවන්ට සිදුවන බලපෑම පිළිබඳ වාර්තා කිරීම සඳහා 1996 දී නිර්මාණය කරන ලද දරුවන් සහ සන්නද්ධ ගැටුම් පිළිබඳව මහ ලේකම්වරයාගේ විශේෂ නියෝජිතවරයාගේ කාර්යභාරය තුළ ගැටුම් අතරතුර දරුවන්ට බලපාන බරපතළ උල්ලංඝනයන් හයක් හඳුනා ගනී.

මෙම උල්ලංඝනය කිරීම්වලින් පහක් සිදු කරන ඕනෑම අපරාධකරුවකු නිරායාසයෙන්ම එක්සත් ජාතීන්ගේ ‘නින්දිතයන්ගේ ලැයිස්තුවට’ ඇතුළත් වේ:
• දරුවන් බඳවා ගැනීම සහ භාවිත කිරීම
• දරුවන් ඝාතනය කිරීම සහ ආබාධිතයන් කිරීම
• දරුවන්ට එරෙහි ලිංගික හිංසනය
• පාසල් හා රෝහල්වලට පහර දීම
• දරුවන් පැහැර ගැනීම

තවත් උල්ලංඝනයක් වන්නේ, දරුවන් ඇතුළු සිවිල් වැසියන්ට මානුෂීය ආධාර වෙත ප්‍රවේශය අවහිර කිරීමය.

එය "සිව්වැනි ජිනීවා සම්මුතිය සහ එහි අතිරේක ප්‍රොටෝකෝල යටතේ තහනම් කර ඇති අතර එය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් සහ යුද්ධ අපරාධයක් විය හැකි යැයි" එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
වත්මන් ලැයිස්තුවට බොකෝ හරාම්, ඉස්ලාමීය රාජ්‍ය සහ තාලිබාන් වැනි සන්නද්ධ කණ්ඩායම් ද ඇතුළත් වේ.
පසුගිය වසරේ රුසියානු සන්නද්ධ හමුදා එයට එකතු විය.

ඊශ්‍රායලය අයිඩීඑෆ් එයට ඇතුළත් කිරීම ‘ආචාරධර්මවලට පටහැනි’ යැයි පවසමින් හෙළා දකී එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාව පිළිබඳව හමාස් හෝ ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති අතර, ඊශ්‍රායලය එය ‘ආචාරධර්මවලට පටහැනි’ යැයි පවසමින් විවේචනය කර ඇත.

ජූනි 7 වැනි දින, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ප්‍රධාන මාණ්ඩලික ප්‍රධානියා වන කෝට්නී රුට්රේ ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ලැයිස්තුගත කරන බවට "නිල ඇමතුමක්" අතරතුර එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායල තානාපති ගිලාඩ් අර්ඩන් වෙත දැනුම් දුන්නේය.

මෙම ඇමතුම සාමාන්‍යයෙන් "අලුතින් ලැයිස්තුගත කර ඇති රටවලට අනතුරු ඇඟවීමට සහ තොරතුරුවල රහස්‍යභාවය රුක ගැනීම සඳහා දෙනු ලැබේ,” යැයි එක්සත් ජාතීන්ගේ ප්‍රකාශිකා ස්ටෙෆාන් ඩුජාරික් පැවසීය.
IDF මෙම ලැයිස්තුවට ඇතුළත් කිරීමට ප්‍රතිචාර වශයෙන්, අර්ඩන් තමා රුට්රේ සමඟ දුරකතන සංවාදයක නිරතවන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල පළ කළ අතර, එම සංවාදය අතරතුර ඔහු එම පියවර හැඳින්වූයේ "හමාස් සංවිධානයට පමණක් වාසිදායක ආචාරධර්මවලට පටහැනි තීරණයක්" යනුවෙනි.
X හි අදාළ සංවාදයේ "කොටසක් පමණක් පළ කිරීම" ඩුජාරික් විසින් "තැතිගන්වන සුලු සහ අනුමත කළ නොහැකි" ක්‍රියාවක් ලෙස විස්තර කරනු ලැබුවේ, එය "මෙම සංවිධානයට සේවය කරන වසර 25 තුළ මා කිසි දිනෙක දැක නැති දෙයක්" බව ද පවසමිනි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “හමාස් මිනීමරුවන්ට සහාය දෙන අය සමඟ එකතු වූ අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉතිහාසයේ අසාදු ලේඛනයට එකතු කරගෙන ඇති" බවය.
“අයිඩීඑෆ් යනු, ලෝකයේ වඩාත්ම සදාචාරාත්මක හමුදාවයි; එක්සත් ජාතීන් වැරදි විශ්වාස මත පදනම්ව ගනු ලබන කිසිදු තීරණයක් එය වෙනස් නොකරනු ඇත,” ඔහු මෙම ලැයිස්තුගත කිරීමට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේය.
ඊශ්‍රායලය ප්‍රථම වරට මෙම ලැයිස්තුවට එක් කර තිබුණ ද සන්නද්ධ ගැටුම්වල සිටින ළමුන් පිළිබඳ මීට පෙර වාර්තාවල එම රට අන්තර්ගත වී තිබේ.
“ඊශ්‍රායල් හමුදා විසින් එල්ල කරන ලද කඳුළු ගෑස් ආශ්වාස කිරීමෙන් ළමුන් 524 දෙනකු (පලස්තීනුවන් 517ක්, ඊශ්‍රායල ජාතිකයන් 7ක්) ආබාධිත වූ අතර 563 දෙනකුට වෛද්‍ය ආධාර අවශ්‍ය විය,” යනුවෙන් පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවේ සඳහන් විය.

ඊශ්‍රායලයේ නම මීට පෙර නිකුත් කරන ලද වාර්තාවල සඳහන් නොකිරීම සම්බන්ධයෙන් මහ ලේකම් ගුටේරස් මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට ලක්විය.
‘එක්සත් ජාතීන්ගේ ‘නින්දිතයන්ගේ ලැයිස්තුවට’ ඊශ්‍රායල හමුදා ඇතුළත් කිරීම මීට පෙර සිදුවිය යුතුව තිබුණු දෙයක්,’ යැයි හියුමන් රයිට්ස් වොච්හි ළමා අයිතිවාසිකම් පිළිබඳ අධ්‍යක්ෂක ජෝ බෙකර් නව වාර්තාව එළිදැක්වීමෙන් පසු පැවසීය.
‘හමාස් සංවිධානයේ ඉස් අල්-දීන් අල්-කසාම් බලකාය සහ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයේ අල්-කුඩ්ස් බලකාය මේ ලැයිස්තුවට ඇතුළත් වෙන්නම ඕනේ සංවිධාන,’ ඇය වැඩිදුරටත් පැවසුවාය.
‘ඊශ්‍රායලය මෙම නින්දිතයන්ගේ ලැයිස්තුවට ඇතුළත් කරන්න ගාසා තීරයේ දරුවන් 15,000ක් මරා දානකම් ඉන්න ඕනේ නැහැ,’ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ මහ ලේකම් ඇග්නස් කැලමාර්ඩ් මේ මස මුලදී ලිවීය.
ලැයිස්තුගත කිරීම කුමන බලපෑමක් ඇති කරයිද?

මෙම වාර්තාව දරුවන්ගේ තත්ත්වය කරළියට ගෙන ඒමට අදහස් කරන නමුත් එයට නෛතික බලයක් නොමැත.
Oxford Institute for Ethics, Law and Armed Conflict හි ජ්‍යෙෂ්ඨ පර් යේෂකයකු  වන එමානුවේලා-කියාරා ජිලාඩ් බීබීසීය වෙත පැවසුවේ, ‘එම ලැයිස්තුවට රටවල් සහ ආයතන ඇතුළත් කිරීමේ අරමුණ ප්‍රධාන වශයෙන් ‘නම් කිරීම සහ ලැජ්ජාවට පත් කිරීමයි. ලැයිස්තුවේ ඉන්න පාර්ශවලට එරෙහිව ක්ෂණික ස්ථිර නීතිමය පියවර ගැනීමක් සිදු වෙන්නේ නැහැ,’ යනුවෙනි.

‘කෙසේ වෙතත්, ඊශ්‍රායලය නීතියට අනුකූලව කටයුතු කිරීම පිළිබඳ කනස්සල්ලක් ඇතැයි රාජ්‍යයන් විශ්වාස කරනවා නම්, ඒකෙන් ඒ එක් එක් රාජ්‍යවල තීරණවලට බලපෑම් ඇති කරන්න පුළුවන්. නමුත් ඉන් කිසිදු සම්බාධක දැමීමක් හෝ තහනමක් ගැන අදහස් වෙන්නේ නැහැ.’

හමාස් සංවිධානය සහ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය දැනටමත් ඊශ්‍රායලය, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ අනෙක් රටවල් විසින් ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කරනු ලැබ ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් ලෙස වාර්තාවේ ඔවුන් ගැන සඳහන් කිරීම ‘ඔවුන්ගේ නෛතික තත්ත්වයට බලපාන්නේ නැත,’ යනුවෙනි.
ඊශ්‍රායලය සහ හමාස් යන දෙපාර්ශවයම පිළිබඳව සමීපව නිරීක්ෂණයට ලක්වීමත්, එම නිරීක්ෂණ පිළිබඳව ආරක්ෂක කවුන්සිලයේ අදාළ යෝජනාවල සඳහන් කළ හැකි නිසාත් සන්නද්ධ ගැටුම්වල සිටින ළමුන් පිළිබඳව නිරීක්ෂණය කිරීම සහ වාර්තා කිරීම සම්බන්ධයෙන් ගත් කල ජිලාඩ් පවසන්නේ, ලැයිස්තුගත කිරීමේ ධනාත්මක ප්‍රතිඵල ද ඇති බවය.
එක්සත් ජාතීන්ගේ මෙම ලැයිස්තුවෙන් ඉවත් වීම සඳහා, ඔවුන්ගේ වාර්තාවේ නම් කර ඇති අදාළ සංවිධාන, උපුටා දක්වන ලද ආකාරයේ දරුවන්ට එරෙහි උල්ලංඝනය කිරීම් තවදුරටත් සිදුවීම වැළැක්වීමට අදහස් කරන "ක්‍රියාකාරී සැලසුම්" සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සංවාදයක නිරත විය යුතුය.

BBC ඇසුරින්