2024 ජුලි 13 වන සෙනසුරාදා

බිත්තරවලටත් වැට්

 2024 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 02:02 49

යළිත් වරක් රටේ බිත්තර මිල ඉහළ ගොස් ඇත. මිල ඉහළ යාමට පෙර, පෙරහරේ කසකරුවා එනවා මෙන් එකවරම අහේතුකව බිත්තර හිඟයක් ඇතිවිය. අනතුරුව මිල ඉහළ නැගුණි. වෙළෙඳපොළේ තිබුණු බිත්තර වහ වහා වෙළෙඳසල්වලින් ඉවත් වූ අතර, කෙමෙන් කෙමෙන් ඒවා වැඩි මිලට කඩවලට එන්නට පටන් ගත්තේය. සිල්ලර වෙළෙඳුන් පැවසුවේ ''බිත්තර අපට සපයන්නේ වැඩි මිලටයි. ඒ හින්දා අපි කොහොමද අඩුවට දෙන්නේ'' යනුවෙනි. එකවරම බිත්තර මිල ඉහළ යාමට හා හිඟවීමට සාධාරණ හේතුවක් නම් සොයාගත නොහැකි විය. අයහපත් කාලගුණය නිසා මිල ඉහළ ගිය බව පැවසුවද කාලගුණය බිත්තර නිෂ්පාදනයට එතරම් තදින් බලපෑවා යැයි පිළිගැනීමට නොහැකි විය. මෙය මිල ඉහළ නැංවීමට ඉදිරිපත් කළ හේතුවක් පමණි.

කෙසේ වුවද අද වනවිට බිත්තරයක මිල රුපියල් 58 – 60 ආදී වශයෙන් ඉහළ නැග තිබේ. මෙහිදී සිදුව ඇති වෙනසක් වන්නේ රතු බිත්තර මිලද සුදු ඒවාට සමාන මිලට හෝ ආසන්න මිලකට විකිණීමට තිබීමය. අප දන්නා තරමින් එයට හේතුවක් වූයේ රතු බිත්තරවල මිල දිගටම සුදු බිත්තරවලට වඩා ඉහළ මට්ටමක තිබීම නිසා ඒවායේ ඉල්ලුම අඩු වීමය. එසේ ඉල්ලුම පහළ යාම නිසා වෙළෙඳපොළවල ගොඩගසා තිබූ රතු බිත්තර නරක වූ නිසා ඒවා ඉක්මනින් අලෙවි කර ගැනීමට සිදුවී තිබිණ. ඒ නිසා රතු බිත්තර මිල පහළ යවා ඇත.

මෙයට පෙර බිත්තර මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතුවෙන් වෙළෙඳ ඇමැතිවරයා රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව හරහා බිත්තර ඉන්දියාවෙන් ආනයනය කිරීමට තීරණය කළේය. එතැනදී ඉන්දියාවේ කිකිළියන්ට කුරුලු උණ වසංගතයක් ඇති බවට කතාවක් ප්‍රචාරය වූ අතර එම බිත්තර මෙරටට ගෙන්වුවහොත් දේශීය සතුන්ට එම රෝගය බෝවී පශු නිෂ්පාදනවල විනාශයක් ඇතිවිය හැකි බවට ඇතැම් අය කෑ කොස්සන් ගැසූහ. ඒ නිසා බිත්තර නිරෝධායනය කිරීමටද ඒවා පශු වෛද්‍ය අංශවලින් වට කිහිපයක් පරීක්ෂා කර වාර්තා ලබාගැනීමටද සිදුවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආනයනය කළ බිත්තර ජනතාව අතට යන විට දින 10 – 14 අතර කාලයක ප්‍රමාදයක් ඇතිවිය. මෙම බිත්තර ඉක්මනින් නරක් වන නිසා අධි ශීතකරණවල බහා තිබිය යුතු අතර, ඉක්මනින් අලෙවි කරගත යුතු බවටද උපදෙස් ලැබුණි. කෙසේ වුවද මෙලෙස ගෙනා බිත්තරවල පරපෝෂිතයන් සිටි බවට හෝ එමගින් දේශීය බිත්තර කර්මාන්තයට හානියක් සිදුවූ බවට හෝ වාර්තා වූයේ නැත.

පසුව සැක සිතෙන්නට වූයේ බිත්තර මිල පහළ හෙලීම සඳහා ඇමැතිවරයා ගත් ප්‍රයත්නය අඩපණ කිරීම සඳහා ඇතැම් දේශීය බිත්තර නිෂ්පාදකයන් සහ අතරමැදියන් එක්ව මෙම ප්‍රයත්නය ගෙන ඇති බවටය. එහිදී ප්‍රචාරය වූයේ ඇතැම් දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් මේ ගනුදෙනුවෙන් විශාල කොමිස් මුදලක් ලබාගෙන ඇති බවකි. එසේ කොමිස් නොගත්තේ නම් ඉන්දියාවේ බිත්තර මිල අනුව බිත්තරයක් රුපියල් 20 – 25 පමණ මිලකට අලෙවි කළ හැකි බවද කියැවිණි.

මෙලෙස ගෙනා බිත්තර රුපියල් 32 ගණනේ ලක් සතොස සහ ඇතැම් සුපිරි වෙළෙඳසල් මගින් අලෙවි කිරීම ආරම්භ වූ අතර ඉල්ලුම්කරුවන් වැඩිවීම නිසා තොග නොසෑහීමෙන් බිත්තර 10 ක උපරිමයකට යටත්ව අලෙවි කිරීමට පටන් ගැනිණි. මෙම රට බිත්තර නිසා දේශීය බිත්තර මිල ඇත්තවශයෙන්ම පහළ වැටුණි.  මෙතෙක් කල් ඉහළ මිලකට අලෙවි කළ එම බිත්තරවල මිල ආනයනික බිත්තරවල මිලට යම් පමණකට ආසන්න මට්ටමකට පහළ ගිය බවද දැකගත හැකි විය. බිත්තර හිඟය අඩු වී ආශ්චර්යයකට මෙන් මිල පහළ යාම ජනතාව ලැබූ ජයග්‍රහණයක් විය. වට කිහිපයකින් බිත්තර මිලියන වශයෙන් විශාල ප්‍රමාණයක් ආනයනය කළ ද අනතුරුව ඉන්දීය බිත්තර ආනයනය මේ වනවිට නැත්තටම නැතිව තිබේ.

මේ අතර පසුගිය සතියේ පාරිභෝගික කටයුතු අධිකාරිය බිත්තර ඇතුළු තවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රුසක උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 43 – 47 මිලකට අලෙවි කළ යුතු අතර රතු බිත්තරයක් අලෙවි කළ හැකි උපරිම මිල වූයේ රුපියල් 45 – 49 අතරය. කෙසේ වුවද මෙම මිලට වැඩියෙන් තවමත් බිත්තර විවෘත වෙළෙඳපොළේ අලෙවි කරනු දැකගත හැකිය. මෙයට පෙරද බිත්තර ගැසට්ටුවක් මගින් මිල පාලනයට යටත් කර තිබූ අතර එම මිලට බිත්තර අලෙවි කිරීමට නොහැකි බව සනාථ වූ අතර ඒ අනුව බිත්තර පාලන මිල යටපත් වී ගියේය. එසේ වුවද යළිත් වරක් බිත්තරවලට උපරිම මිලක් නියම කර තිබීම තව කොච්චර කාලයකටදැයි වෙළෙන්ඳන් මෙන්ම පාරිභෝගිකයෝද විමසති.

පාරිභෝගික කටයුතු අධිකාරිය නියම කරන මිලට මේ වනවිට වෙළෙඳුන් ගරු කරන්නේ නැත. ඔවුන් හිතු හිතූ මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කිරීම කරගෙන යන බව පෙනේ. වැටලීම් සිදු කළද ඒවා ප්‍රදර්ශනාත්මක වැටලීම් බවට පත්ව තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරියකු ලියුම්කරු සමඟ පැවසුවේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන්නන් වැටලීම පමණක් අධිකාරියේ රාජකාරිය නොවන බවය. භාණ්ඩ වෙළෙඳපොළ පිළිබඳව තවත් කටයුතු රුසක් ඉටු කිරීමට අධිකාරියට සිදුව තිබේ. වැටලීම් කිරීම එම රාජකාරිවල එක්තරා අංශයක් පමණකි.

තමන් මුහුණපාන ගැටලු පිළිබඳ අදහස් දක්වන සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් එච්.එම්.ඩී.ආර්. අලහකෝන් මෙසේ කියයි.

''මෙයට පෙර බිත්තරවලට උපරිම සිල්ලර මිලක් නියම කළද එම මිලට බිත්තර අලෙවි කළ නොහැකි වුණා. අන්තිමට එම පාලන මිල ගැසට්ටුවට පමණක් සීමා වුණා. අන්තිමට සිදුවුණේ කර්මාන්තය බිඳවැටීමට පටන් ගැනීම පමණයි. මිල පහළ දැමීමට නම් සිදුකළ යුත්තේ නිෂ්පාදනය ඉහළ දැමීමයි. එහෙම නිෂ්පාදනය වැඩි කරන්නට කටයුතු නොකර කොතරම් මිලවල් දැම්මත් වැඩක් වෙන්නේ නැහැ. මේ වනවිට ගොවිපළවලින් බිත්තර වෙළෙඳපොළට නිකුත් කරන්නේ රුපියල් 42 – 43 අතර මිලකට වන අතර, ඒවා ලාභයක් සුළු වශයෙන් හෝ තබාගෙන රුපියල් 43 – 47 අතර මිලකට අලෙවි කරන්නේ කෙසේද යන්න ප්‍රශ්නයක්. මෙයින් සිද්ධ වෙන්නේ ගොවීන් හා වෙළෙඳුන් බිත්තර නිෂ්පාදනයේ සහ අලෙවියෙන් ඉවත් වීමයි. ඔවුන් බිත්තර ව්‍යාපාරය අතහැර දමා යාම නිසා රටේ බිත්තර හිඟයක් ඇතිවීම වළක්වන්න බැහැ. කවුරුද පාඩුවට ව්‍යාපාරවල නිරත වන්නේ? ඒ නිසා ඔවුන් වෙනත් ලාභ ලබන ව්‍යාපාරවලට යොමුවීම වළක්වන්න බැහැ


අනිත් ගැටලුව වන්නේ ලබන ජනවාරිවල සිට බිත්තරවලට සියයට 15ක වැට් බද්දක් පැනවීමට යාමයි. එවිට බිත්තර මිල තවදුරටත් ඉහළ යාම වැළැක්විය නොහැකියි. වැට් බද්ද කෙළින්ම පාරිභෝගිකයා මතයි පැටවෙන්නේ. දැනටමත් බඩඉරිඟු ආදී කුකුළු කෑමවලට සහ රසායනවලට වැට් බදු ගෙවන්න සිදුවෙලා තියෙනවා. එම නිසා තමයි බිත්තර මිල මේ තරමට වැඩිවෙලා තියෙන්නේ. එහෙම තිබියදී තවත් සමස්ත කර්මාන්තයටම වැට් ගැහුවොත් කොහොම හිටීද? ඒ නිසා කුකුළු කෑමවල සහ කෘෂි රසායනවල මිල පහළ හෙලන්න ආණ්ඩුවට පුළුවන් නම් ඔය නීති නොදැම්මාට බිත්තර මිල පහළ හෙලන්න අපට පුළුවන්. බිත්තර මිල වැඩි බව අපිත් දන්නවා. ඒත් පවතින පරිසරය අනුව මෙම කර්මාන්තය පවත්වාගෙන එන්න අවශ්‍ය නිසයි මේ විදියට මිල පවත්වාගෙන යන්න සිද්ධවෙලා තියෙන්නේ. එය අපි කැමැත්තකින් කරන දෙයක් නොවෙයි.''

පාරිභෝගික අයිතින් සුරුකීමේ ජාතික ව්‍යාපාරයේ සංවිධායක අසේල සම්පත්:

''පාරිභෝගික කටයුතු අධිකාරියට අපේ රටේ බිත්තර මිල පාලනය කරන්න බැරි නම් එවැනි ආයතනයක් පවත්වාගෙන යාමේ අරමුණ කුමක්ද? අපේ රටේ නිෂ්පාදනය වන බිත්තර ජනතාවගේ පාරිභෝජනයට හොඳ හැටි ප්‍රමාණවත්. එහෙත් ගැටලුව වන්නේ එම නිෂ්පාදන වෙළෙඳපොළට නොපැමිණීමයි. අදෘශ්‍යමාන බලවේගයක් නිෂ්පාදනය තමා ළඟ තබාගෙන වෙළෙඳපොළ පාලනය කිරීමට පටන් අරන්. ඒ අයයි නිෂ්පාදනය ටිකෙන් ටික වෙළෙඳපොළට එවන්නේ. මිල ඉහළ පහළ දමන්න එම අතරමැදියන්ට අවස්ථාව දීලා තියෙනවා. මේ වනවිට පාරිභෝගික සේවා අධිකාරිය මුළුමනින්ම බිත්තර මිල නියාමනය කිරීමෙන් ඉවත් වෙලයි ඉන්නේ. එවිට වෙළෙඳපොළ මුදලාලිලා අතලොස්සකගේ ග්‍රහණයට යටත් වෙනවා.
බිත්තර විතරක් නොවෙයි. අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය රුසකම මිල තීරණය කරන්නේ තුන්වැනි පාර්ශ්වයක්. එවිට ආණ්ඩුවක් මොකටද කියලා හිතෙනවා.''

• යසවර්ධන රුද්රිගූ