2024 ජුලි 13 වන සෙනසුරාදා

මෝටර් රථ හිමිකම් පවරන්නේ ලියාපදිංචි කරන්නේ කොහොමද?

 2024 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 02:03 336

මෝටර් රථයක හිමිකම් පැවරීම සහ ලියාපදිංචිය පිළිබඳ කටයුතුවලදී මහජනතාව බොහෝ සෙයින් පීඩාවට පත්වන බව දෛනිකව වාර්තා වෙමින් පවතී. බොහෝ විට විවිධ වංචනිකයන්ගේ ගොදුරක් බවට පත්වීමටද මෙම ක්‍රියාවලිය තුළදී මහජනතාවට සිදුවේ. මෙවැනි ගැටලු නිර්මාණය වීමට හේතු වී ඇත්තේ මෙම ක්‍රියාවලිය පිළිබඳ සමාජය තුළ පවතින අනවබෝධයයි. ඒ අනුව මෙම ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමට මෙවර "ජන මෙහෙවර" ඔස්සේ අපි කටයුතු කරමු.

ලියාපදිංචි හිමිකම් පැවරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය

මෙම ක්‍රියාවලිය සඳහා පළමුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හෝ සියලුම දිස්ත්‍රික් ලේකම්  කාර්යාලවලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් නොමිලයේ ලබාදෙන ආකෘති පත්‍ර කට්ටලය ඔබ විසින් ලබාගත යුතුය. මෙම ආකෘති පත්‍ර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිසි පරිදි අංකනය කොට තිබේ.  

ඒ අනුව මේ සඳහා අවශ්‍ය වන එම්.ටී.ඒ 6 ආකෘති පත්‍රය පිටපත් 6 කින් සමන්විත වේ. එම පිටපත් ඒ, ඒ1, බී, බී1 යනුවෙන් සලකුණු නම් කොට තිබෙයි. මීට අමතරව එම්.ටී.ඒ 8 නමින් හඳුන්වනු ලබන ආකෘති පත්‍රය පිටපත් දෙකකින් සමන්විත වේ. ඒවා සී සහ සී1 යනුවෙන් නම් කොට ඇත. මෙම ආකෘති පත්‍ර වර්තමාන හිමිකරු සහ නව අයිතිකරු විසින් සම්පූර්ණ කළ යුතු අතර එහිදී ඔවුන් වෙත වෙන් වෙන්ව වගකීම් පැවරෙයි. ඒ අනුව අප පළමුව සඳහන් කළ එම්.ටී.ඒ 6 ආකෘති පත්‍රයේ සියලුම පිටපත් වාහනයේ වර්තමාන ලියාපදිංචි අයිතිකරු සම්පූර්ණ කළ යුතුය. අනතුරුව වර්තමාන අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 6 හි ඒ සහ ඒ 1 පිටපත් තමා ළඟ තබාගෙන එම්.ටී.ඒ. 6 හි බී, බී1 සහ එම්.ටී.ඒ. 8 සී, සී1 පිටපත් නව අයිතිකරු වෙත බාරදිය යුතු වේ.

වර්තමාන ලියාපදිංචි අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 6 ඒ පිටපත ‍මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වෙත ලේඛනගත තැපෑලෙන් හෝ අතින් ගෙනැවිත් භාරදී ඊට අදාළ සී.එම්.ටී. 52 දරන කුවිතාන්සියක් ලබා ගැනීමට කටයුතු කළ යුතුය. එසේම එම්.ටී.ඒ. 6 ඒ 1 පිටපත වර්තමාන ලියාපදිංචි අයිතිකරු සන්තකයේ තබාගත යුතු වේ. එසේම නව අයිතිකරු ද නිසි ලෙස සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 6 හි බී පිටපත, එම්.ටී.ඒ. 8 හි සී පිටපත සහ මෙහි පහත සඳහන් වන අනෙකුත් අදාළ ලියකියවිලි සමඟ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන පන්තියට අදාළ ලියාපදිංචි හිමිකම් පැවරුම් අංශය වෙත භාරදී සී.එම්.ටී 52 දරන කුවිතාන්සියක් ලබාගත යුතු වේ. එසේම නව අයිතිකරු එම්.ටී.ඒ 6 හි බී 1 පිටපත හා එම්.ටී.ඒ 6 හි සී පිටපත තමා ළඟ තබා ගත යුතුය.

සාමාන්‍ය සේවා යටතේ මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් පැවරීම සඳහා මෙම ක්‍රියාවලිය අනුගමනය කළ යුතු වේ. ප්‍රධාන ලියකියැවිලි  කොළඹ 05, නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඇති වාහන පන්තියට අදාළ ලියාපදිංචි හිමිකම් පැවරුම් (සාමාන්‍ය සේවා) අංශයට භාරදීම ප්‍රමාණවත්ය. නැතහොත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයට හෝ අදාළ ප්‍රදේශීය ලේකම් කාර්යාලයට, රජයේ කාර්යාල විවෘත දිනවල පෙ.ව. 9.00 සිට 2.00 දක්වා එම ලිපි ලේඛන භාරදීමේ හැකියාව පවතී.

ලියාපදිංචි හිමිකම් පැවරීමේ එක්දින සේවාව

මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් පැවරීමේදී අවශ්‍ය ලියැවිලි මොනවාද?

එම්.ටී.ඒ. 6 ඒ ආකෘතිය (පැවරුම් නිවේදනය)
එම්.ටී.ඒ. 6 බී ආකෘතිය (පැවරුම් නිවේදනය)
එම්.ටී.ඒ. 8 සී ආකෘතිය (අයැදුම්පත)

මෙම ක්‍රමවේද යටතේ පැවරුම්කරු හෝ නව අයිතිකරු සී/ස සමාගමක් නම් එහි ආකෘති පත්‍රවල තෙරපුම් මුද්‍රාව සහිතව අත්සන් කළ යුතුය. තෙරපුම් මුද්‍රාව නොමැති නම් ඒ බවට ආයතනයේ ලිපි ශීර්ෂයක ලියූ ලිපියක් සහ සමාගම් ලියාපදිංචි කිරීමේ සහතිකයේ ඡායා පිටපතක් ඉදිරිපත් කළ යුතුය.

පැවරුම්කරු හවුල් ව්‍යාපාරයක් නම් අනෙකුත් හවුල්කරුවන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන ලිපියක් ඉදිරිපත් කිරීමටද කටයුතු කළ යුතු වේ. පවරන්නා තනි පුද්ගල ව්‍යාපාරයක් නම් ඉහත පරිදි ව්‍යාපාර හිමිකරුගේ ලිපිය සහ ව්‍යාපාර ලියාපදිංචි සහතිකය ප්‍රමාණවත්ය.

මීට අමතරව මෙම ක්‍රියාවලියේදී අයැදුම් කරන දිනට මාස 6 ක් තුළ ලබාගත් සහතික කරන ලද පැවරුම්කරුගේ උඩුකය ඡායාරෑප දෙකක් (2.0 x 2.5 ප්‍රමාණයේ වර්ණ හෝ කළු සුදු) අවශ්‍ය වේ. තවද පැවරුම්ලාභියාගේ ජාතික හැඳුනුම්පත එහි ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය පැවරුම් දිනට අදාළ වර්ෂය සඳහා ආදායම් බලපත්‍රය සහ එහි ඡායා පිටපතක්, වාහනයේ ලියාපදිංචි සහතිකය ආදිය ඉදිරිපත් කළ යුතුය. උගසක්, පරම අයිතියක් හෝ බද්දක් ලියාපදිංචි වී ඇත්නම් එය අවලංගු කළ ලිපිය ද වාහනයේ හිමිකම පැවරීමට විරුද්ධත්වයක් නොමැති බවට පවරන්නාගේ ලිඛිත ප්‍රකාශයක් (වර්තමාන ලියාපදිංචි හිමිකරු) හා සහතික කරන ලද ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක් අවශ්‍ය වේ.

මීට අමතරව ලියාපදිංචි අයිතිකරු (පැවරුම්කරු) අත්සන් කරන ලද MTA 6 හි "A" පිටපත (මෙම පිටපත පැවරුම්කරු විසින් තැපැල් මගින් එවා ඇත්නම් හෝ ගෙනැවිත් භාරදී ඇත්නම් අදාළ නොවේ.), සුඛෝපභෝගී බදු ඇත්නම් ඒවා ගෙවූ රිසිට්පත්වල මුල් පිටපත් සහ ඒවායේ ඡායා පිටපත් ද මෙම සේවාව ලබා ගැනීම සඳහා අවශ්‍යය. පැවරුම්ලාභියා කාන්තාවක් වන විට විවාහයෙන් පසු වෙනස් කළ නමක් සඳහන් කරන්නේ නම් විවාහ සහතිකයේ සහතික කරන ලද පිටපතක් අවශ්‍ය වේ.
විශේෂයෙන් දැනගන්න

මෙරට මෝටර් රථ ලියාපදිංචිය සහ හිමිකම් පැවරීම පිළිබඳ බොහෝ දෙනකු නොදැනුවත් බව ඉතා පැහැදිලි කරුණකි. තරමක සංකීර්ණ නමුත් බලධාරීන් හමුවී මේ පිළිබඳ තවදුරටත් දැනුවත් වීමේ හැකියාව ඔබ සතු බව සඳහන් කළ යුතුය.
රථවාහන අලෙවියේදී නිසි ලෙස හිමිකම් පැවරීමකින් තොරව රථවාහන අලෙවි කිරීමටද බොහෝ දෙනෙක් පෙළඹී සිටිති. මෙය පැහැදිලිවම අන්තරායකාරී කටයුත්තකි. මේ වන විටත් මෙම ක්‍රමවේදය අනුගමනය කිරීම හේතුවෙන් බොහෝ දෙනෙක් නෛතික ගැටලුවලට මුහුණ දී පීඩාවට පත්ව සිටිති. එබැවින් ඉහත ක්‍රමවේද අනුගමනය කරමින් රථවාහන ලියාපදිංචිය සහ හිමිකම් පැවරීම අත්‍යවශ්‍යය.

•  චමිඳු නිසල් ද සිල්වා 

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03