මෙරටින් පළමු වරට මිරිස් යොදා ගනිමින් "මිරිස් අයිස්ක්‍රීම්" නිෂ්පාදනයක් හඳුන්වා දී තිබේ. වැලිමඩ දරගල ප්‍රදේශයේ පදිංචි ලසන්ත රුවන් ලංකාතිලක විසින් අත්හදා බැලූ මෙම නිෂ්පාදනය ඉතා සාර්ථක නිෂ්පාදනයක් වී ඇති අතර නුදුරේදීම දිවයින පුරා මෙම "මිරිස් අයිස්ක්‍රීම්" වෙළෙඳපොළට හඳුන්වා දීමට බලාපොරොත්තු වෙයි.
ලසන්ත විසින් මෙවැනි මිරිස් අයිස්ක්‍රීම් වර්ගයක් හඳුන්වා දීමට ගත් උත්සාහය සාමාන්‍ය උත්සාහයක් නොවීය. බොහෝ අත්හදා බැලීම් කරමින්, බොහෝ මහන්සි වී ලැබූ ජයග්‍රහණයක් ලෙසින් මෙය හැඳින්විය හැකිය. ලසන්තගේ උපන්ගම බදුල්ලය. නමුත් ඔහු හැදී වැඩුණේත්, වර්තමානයේ ජීවත් වන්නේත් වැලිමඩය. ඔහු ගමෙන් නගරයටත්, නගරෙන් කොළඹටත්, පැමිණ රුකියා කිහිපයක්ම කළේය. නමුත් ඔහු තවත් කෙනකු හෝ ආයතනයක් යටතේ රුකියාවක් කරන්නට කිසියම් අකමැත්තකින් පසුවිය. ඔහුට තමන්ගේම ව්‍යාපාරයක් හෝ තමන්ගේම ආයතනයක් කරගෙන යන්නට අවශ්‍ය විය. ඒ නිසාම කොළඹ කරමින් සිටි රුකියාවට "ආයුබෝවන්" කී ලසන්ත වැලිමඩට පැමිණියේය.
"මම කොළඹ ගත කරපු ඒ ජීවිතය හරිම යාන්ත්‍රික වුණා. ඒ නිසාම වැලිමඩට ආ මම වෙනත් ව්‍යාපෘති කිහිපයකටම සම්බන්ධ වුණා. නමුත් මට මගේම දෙයක් කරන්න ඕනෑ වුණා. අපි ප්‍රධාන නගරය කියන සිතියමෙන් ගොඩක් ඇතුළේ ජීවත් වුණු මිනිස්සු. ඒ නිසාම අපිට තෝරාගන්න තියෙන පළමු රස්සාව ගොවිතැනයි. මම මගේම කෘෂිකාර්මික නිෂ්පාදන කරන ආයතනයක් ආරම්භ කළා. ඒ ආයතනය තුළින් ද මට වෙනසක් කරන්න ඕනෑ වුණා." යැයි ලසන්ත රුවන් ලංකාතිලක දේශයට පැවසීය.
මේ අතරතුර ලසන්තට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ අතුල බණ්ඩාර මහතා මුණගැසුණි. ඔහු හා කළ දීර්ඝ සාකච්ඡාවකින් පසුව ලංකාවට අවශ්‍ය වියළි මිරිස්වලින් 98% ක් ගෙන්වනු ලබන්නේ විදෙස් රටවල්වලින් බව ඔහුට දැනගන්නට ලැබුණි. එයට ප්‍රධාන හේතුව වන්නේ මිරිස් බීජවල මිල වැඩිවීමය. සාමාන්‍යයෙන් වෙළෙඳපොළේ මිරිස් බීජ කිලෝවක් ලක්ෂ දෙකක් පමණ වේ. මේ නිසාම ගොවීන් මෙම බීජ නිෂ්පාදනය කිරීමේ ප්‍රවණතාවය අඩුය. එමෙන්ම මෙයට ඇතිවෙන ඇතැම් ලෙඩ රෝග සහ සමහර බීජවලින් හොඳ අස්වැන්නක් නොලැබීමත් ගොවීන් එයින් ඈත්වන්නට හේතු වී තිබේ. මේ නිසා ලසන්තට අනෙකුත් ගොවීන් වවන සම්ප්‍රදායික එළවළුවලට නොගොස් අවශ්‍ය කරන දෙමුහුන් බීජ නිෂ්පාදනය කිරීමට අදහසක් ඇතිවිය.
"මෙහිදී අතුල බණ්ඩාර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මිරිස් බීජ නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමන් වන සරත් කුමාර මහතාව මට හඳුන්වල දුන්නා. එතුමා හරහා බොහෝ දැනුමක් මම ලබා ගත්තා. එතුමා මාව මහ ඉලුප්පල්ලම කෘෂිකර්ම පර් යේෂණ මධ්‍යස්ථානයට සම්බන්ධ කළා. එහි ආචාර්ය කමල් එස්. කන්නංගර මහතා ලංකාවටම ආවේණික දෙමුහුන් බීජ ප්‍රභේදයක් අත්හදා බලා සාර්ථක වෙලා තිබුණා. එයට ගන්නා මව්පිය පාර්ශ්ව දෙකම ලංකාවෙයි. එතුමාගේ අවශ්‍ය දැනුම උපදෙස් ලබා ලංකාවටම අවශ්‍ය මිරිස් බීජ නිෂ්පාදනය කරන්න මම තීරණය කළා. මෙම මිරිස් බීජ එළිමහන් පරිසරයක නිෂ්පාදනය කරන්න බැහැ. ඒ වෙද්දී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ කෘෂි අංශ නවීකරණ වැඩසටහනේ තාක්ෂණික හා මූල්‍ය දායකත්වයක් ලබාගැනීමට අවස්ථාවක් ලැබුණා." යැයි ලසන්ත රුවන් ලංකාතිලක දේශයට අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසීය.
ඒ වන විටත් ලසන්ත ඔහුගේ ආයතනය හරහා ගොවීන් පනස් දෙනකු තෝරාගෙන තිබුණි. ඒ හරහා මේ බීජ නිෂ්පාදනය කිරීමට ඔහුට අවශ්‍ය විය. ඒ අනුව මෙම කණ්ඩායම් ව්‍යාපෘතියට දායකත්වය ලබාදීමට කෘෂි අංශ නවීකරණ වැඩසටහන එකඟ විය. වර්ග අඩි දෙදහසේ හරිතාගාර පනහක දෙමුහුන් බීජ නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබුණි. මෙම ව්‍යාපෘතිය ආරම්භ කරද්දී බොහෝ දෙනකු තුළ පැවතියේ ඍණ ආකල්පයකි. "ඕවා හරියන්නේ නැහැ. ඕවා සාර්ථක වෙන්නේ නැහැ" යැයි බොහෝ දෙනා පැවසූහ. නමුත් ඒ කිසිවකින් ලසන්ත තම ගමන නතර කළේ නැත. ඒ අනුව කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය හරහා පළාත් හතරකට අවශ්‍ය මිරිස් බීජ ඇනවුම් සම්පූර්ණ කිරීමට ලසන්ත ඇතුළු කණ්ඩායමට හැකියාව ලැබුණි.
හරිතාගාර පනහක් ගොවීන් සමඟ එකතු වී ආරම්භ කරද්දී එක හරිතාගාරයකට පරාගනය නම් කාරණයත් සමඟ අඩුම තරමින් දිනකට හතර දෙනකුගේ හෝ සේවය අවශ්‍ය විය. ඒ අනුව අතුරු රුකියා ලෙසින් කාන්තාවන් දෙසීයකට පමණ රුකියා හිමිවිය. එම ප්‍රදේශවල රජයේ රුකියා හැර පෞද්ගලික ආයතනවල රුකියා ඇත්තේම නැති තරම්ය. ඒ අනුව එවැනි ප්‍රදේශවල ජීවත් වන අයට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගොවිතැනට යොමුවන්නට සිදුවිය. එසේත් නැත්නම් ඒ ප්‍රදේශය අතහැර නාගරීකරණ ප්‍රදේශයකට ගොස් රුකියා කිරීමට සිදුවිය. එම ප්‍රදේශවලින් නාගරීකරණ ප්‍රදේශයකට යොමුවීමෙන් විශාල ගැටලුවලට මුහුණ පාන්නට සිදුවේ. ප්‍රදේශයේ නුහුරු බව, රුවටිලිකාරයන්ට හසුවීම, අතවරවලට මුහුණ දීම, තම පවුල් ජීවිත කඩාකප්පල් වීම, දරුවන්ගේ සුරක්ෂිතභාවය ගිලිහීම වැනි තත්ත්වවලට ඔවුන්ට මුහුණ දීමට සිදුවිය. ඒ නිසාම ලසන්තගේ ව්‍යාපෘතිය හරහා ප්‍රදේශයේ කාන්තාවන්ට රුකියා අවස්ථා හිමිවිය.
දෙමුහුන් බීජ ඇට කිලෝවක් නිෂ්පාදනය කිරීමට වියළි මිරිස් (කරල් මිරිස්) කිලෝ හතරක් අවශ්‍ය විය. ඒ සඳහා මිරිස්වල පොතු ඉවත් කළ යුතුය. බොහෝ දෙනා එයින් මිරිස් කුඩු හෝ කෑලි මිරිස්, මිරිස් චට්නි නිෂ්පාදනය කිරීමට යෝජනා කළහ. නමුත් ඒ ක්‍රමයද වෙනස් කිරීමට ලසන්තට අවශ්‍ය විය. ඔහු ලොව ඇති නිෂ්පාදන සම්බන්ධයෙන් අධ්‍යයනය කළේය. එහිදී "මිරිස් අයිස්ක්‍රීම්" නිෂ්පාදනය කිරීමට ලසන්තට අදහසක් පහළ විය. ඒ අනුව ඌව විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණික පීඨයේ මාර්ගෝපදේශකත්වය යටතේ ලසන්තගේ සහයෝගය ද ඇතිව විවිධ අත්හදා බැලීම්වලින් පසුව අවසානයේදී එය සාර්ථක නිෂ්පාදනයක් බවට පත්විය. ඒ "මිරිස් අයිස්ක්‍රීම්" එකකි. එය ද්විතියික රසයකින් යුක්තය. එය මිරිස් රසැති අයිස්ක්‍රීම් රුසති අයිස්ක්‍රීම් එකකි. නුදුරේදීම එය රට පුරා ප්‍රචලිත වන නිෂ්පාදනයක් බවට පත්වනු ඇත.
• දිශානි ජයමාලි කරුණාරත්න