2024 ජුලි 13 වන සෙනසුරාදා

වසන්ත යයි මදුෂ් එයි

 2024 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 02:05 539

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නොහොත් සුප්‍රකට "කැරොකේ වසන්ත" ලියුම්කරුගේ කන වැකුණේ මීට අවුරුදු 11කට 12කට පෙරය. ඒ බොරුල්ලේ සේවය කළ කොස්තාපල් කෙනකු විසින් ලියුම්කරුට ලබාදුන් තොරතුරක් අනුවය.

"මල්ලි ඊයේ රූ බේස්ලයින් එකේ මාර කේස් එකක්. ඩිෆෙන්ඩර් එකක් ඇවිල්ලා බැරියර් කඩාගෙන නවත්තන්නේ නැතුව යන්න හදලා. අපේ ට්‍රුෆික් එකේ රාළහාමිලා නවත්තගත්තම ඒ අයටත් සද්දේ දාලා ගිහිල්ලා. හොඳටම බීලා. මූව අල්ලන්න දෙන්නේ නෑනේ ලොක්කෝ" 

එම පොලිස් නිලධාරියා කීවේ එසේය.

සිදුවීම බරපතළය. එහෙත් පුද්ගලයා කවුදැයි සඳහන් නොවීය. මා පෙරළා විමසුවේ ඒ කවුදැයි යනුවෙනි. ඔහු නමින් "කැරොකේ වසන්ත" බව එම පොලිස් නිලධාරියා දැනුම් දුන්නේය. 
ලියුම්කරු කැරොකේ වසන්ත ගැන දැනගත්තේ එසේය. කෙසේ වෙතත් එම සිදුවීම පුවත්පතේ ලියූ නිසා ඊට පසුදින කැරොකේ වසන්ත ලියුම්කරු අමතන්නට අමතක කළේද නැත. එසේ අමතා ඔහු ඔහුගේ ස්වරෑපයෙන් සද්ද බද්ද දැම්මත් ඊට රිසි සේ පිළිතුරු ලබාදුන් නිසා වසන්ත අවසානයේ දුරකථන ඇමතුම විසන්ධි කළේය.

පසුව වසන්ත සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල විවිධ කතා ලියුම්කරුට අසන්න දකින්න ලැබිණි. එපමණක් නොව වසන්ත සමඟ කතාබහ කරන්නටද ලැබිණි. මේ වසන්ත ගැන ගුණ වයන්න හෝ වසන්ත සම්බන්ධයෙන් වැරදි කියන්නට කාලය නොවේ. මේ වසන්තගේ පරිච්ඡේදය පසුගියදා අතුරුගිරියේදී අවසන් වීම ගැන පුවතයි. මියගිය අයකුට තඩිබෑමේ කලාවක් අපට නැත. එහෙත් මේ ඝාතනය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් අප සතුය. එකී විමර්ශනයේදී වසන්ත කවුද? කින්ද? මන්ද? යන්න ලිවීම අප සතු යුතුකමකි. ඒ අනුව මෙතැන් සිට දිගහැරෙන්නේ කැරොකේ වසන්ත ඝාතනයේ සුල මුලය.

කවුද මේ කැරොකේ වසන්ත?

වසන්ත යනු අනූව දශකයේ මුල් භාගයේ පටන් කොළඹ රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ අයෙකි. ඊට පසුව ඔහු කැරොකේ ශාලා විවෘත කළේය. තවද මල් කඩ (මල් කඩ යනු නාට්‍යංගනාවන් සඳහා විශාල මිලට මල් මාලා මිලට ගෙන ගෙල පළඳන ක්‍රමයකි) විවෘත කළේය. එපමණක් නොව වසන්ත සුප්‍රසිද්ධ සන්හීල් ව්‍යාපාරයේ ආරම්භකයා ද විය. ඔහු කාමර 20කින් යුත් හෝටලයක හිමිකරු වූයේ අවුරුදු 20ක වයසකදීය. ඇත්තටම වසන්ත නයිට් ක්ල්බ් සහ කැරොකේ ශාලාවල මෙරට ගෝඩ් ෆාදර් විය. ඒ නිසාම ඔහුව නම් තුනකින් හැඳින්වීය. ඒ කැරොකේ වසන්ත, ක්ලබ් වසන්ත නොහොත් සන්හීල් වසන්ත නමිනි.

මෙකී වසන්ත මේ රටේ සුප්‍රකට සහ කුප්‍රකට දේශපාලඥ‍යන්, කලාකරුවන්, ක්‍රීඩකයන්, පොලිස් නිලධාරින් ඇතුළු පිරිස හරි හරියට ඇසුරු කළේය. කෑවේය, බීවේය. එහෙත් කාලයක් ඒ සියල්ල රහසිගතව සිදුවිය. කෙසේ වෙතත් වසන්තගේ අඳුරුතම යුගය ආරම්භ වූයේ කොරෝනා සමයත් සමඟය. වසන්තගේ ව්‍යාපාර කරගෙන යාම ඉතාම බාධා සහිත වූයේ රටම ලොක්ඩවුන් කිරීම හේතුවෙනි. මේ නිසා වසන්තගේ කෝටි ගණනින් බැංකුවලට දේපළ උගස් කර ලබාගත් මිල මුදල් නැවත ගෙවා ගැනීමට නොහැකිව සින්න වෙන්නට පටන්ගෙන තිබිණි. නුවරඑළිය සහ බම්බලපිටිය සන්හීල් හෝටල් දෙකම බැංකුවට සින්න වූ බව ඔහුගේ සමීපතමයෝ සඳහන් කරති. කෙසේ වෙතත් සීදුව සන්හීල් හෝටලය විකුණා දැමූ බවද සඳහන් වේ. එක් වතාවක් ලියුම්කරු ලංකාවේ රාත්‍රී සමාජ ශාලා සම්බන්ධයෙන් විස්තරයක් ලබා ගැනීමට වසන්තව හමුවූ විට ඔහු සඳහන් කර සිටියේ දරුවන් දැන් ලොකු නිසා නැවත සමාජ ශාලා නොකරන බවටය. කෙසේ වෙතත් වසන්ත සම්පූර්ණයෙන් ලංකාව තුළ වූ තම ව්‍යාපාර අත්හැර දැමීය. අත්හැර දැමීමටත් වඩා සියල්ල අත්හැරෙන තැනට වැඩ සිදුවිය. එහෙත් ඔහු තම ව්‍යාපාර ලෝකය පුරා ප්‍රචාරය කළේ ඩුබායිවලට සංක්‍රමණය වන බව කියමිනි. ඒ ආකාරයෙන් වසන්ත කාලයක් ඩුබායි රාජ්‍යයට ගොස් කාලය ගත කළේය. එහෙත් ඔහු වැඩි කල් එහි සිටියේ නැත. නැවත ලංකාවට පැමිණි ඔහු පසුව කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි ඇල්ටෙයා ගොඩනැගිල්ලේ නිවෙසක ජීවත් විය. මේ සියල්ල ඔහුගේ කෝටිපති ජීවිතය පෙන්නුම් කරන අවස්ථා විය. ඒ සියල්ල ඔහු සමාජ මාධ්‍ය පුරා ප්‍රචාරය කළේය.

 

මදුෂ් කොටුවෙයි - වසන්ත තනිවෙයි

මේ සියල්ල සිදුවන අතරවාරයේ ඩුබායිහි සැඟව සිටි ප්‍රබල පාතාල කල්ලි නායකයකු මෙන්ම ගෝඩ් ෆාදර් යැයි සිතා සිටි මාකඳුරේ මදූෂ් ඩුබායි පොලීසියට කොටුවිය. ඒ තමන්ගේ දියණියගේ උපන්දින සාදයේදීය. ඒ අතර අද ගෝඩ් ෆාදර් වෙන්නට අර අඳින කේ.පී.අයි හෙවත් කංජිපානි ඉම්රාන් ද සිටියේය. ගායක අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් ද ඒ කණ්ඩායමෙහි වූහ. අවසානයේ සියලු දෙනා ශ්‍රී ලංකාවට පිටුවහල් කළ අතර එතෙක් කට්ටි පනිමින් චණ්ඩිකම් කළ මදූෂ් පොලිස් බාරය පත් විය.
මෙම සිදුවීම සිදුවන මොහොතේ වසන්තගේ නම ද උඩට පැමිණියේය. ඒ ඔහු එම උපන්දින සාදයට සහභාගි නොවීම හේතුවෙනි. මේ සම්බන්ධයෙන් ලොකු කතාබහක් ඇතිවිය. වසන්ත ඒ ගැන කීවේ තමන්ද එම සාදයට සහභාගි වීමට සිටි බවත් තමන්ව දෙවියන් බැලූ නිසා ඊට සහභාගි වීම මග හැරුණු බවත්ය. එහෙත් වසන්ත පිළිගත් දෙයක් වූයේ මාකඳුරේ මදූෂ් තමන්ගේ මිතුරකු බවටය.

මදූෂ්ගේ ඔත්තුකරු වසන්තද? මොරිල්ද?

මදූෂ් ඩුබායි හිදී කොටුවීම සැබවින්ම තවත් මත්කුඩු ජාවාරම්කරුවකු වූ "අන්නාසි මොරිල්" ගේ ක්‍රියාදාමයක් විය. මොරිල් මෙරට ආරක්ෂක අංශ සමඟ එක්වී මදූෂ්ට ප්‍රහාරයක් සිදු කළේ කුඩුවලට තිබූ සටන හේතුවෙනි. ඒ වන විටත් පාකිස්ථානයෙන් මදූෂ් සහ මොරිල් දෙදෙනාම ලංකාවට කුඩු එවමින් සිටියහ. එහෙත් කුඩු ජාවාරමේ ආධිපත්‍ය තමන්ට අවශ්‍ය නිසා මොරිල් මදූෂ්ට එම ගැටේ ගැසුවේය.
කෙසේ වෙතත් මදූෂ්, කංජිපානි ඇතුළු පිරිස මෙරට ආරක්ෂක අංශ භාරයේ සිටියදී රහස් රුසක් දැන සිටි මදූෂ් පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මිය ගියේය. සැබවින්ම එය බොහෝ දෙනාට ගැටලුවක් විය. සියල්ල දැන සිටි මදූෂ් කුමක් පොලීසිය හමුවේ වැමෑරුවේද යන්නය. එහෙත් ඒ සියල්ල අදටත් රහසකි.

ඒ සිදුවීමෙන් පසුව කංජිපානි බූස්ස රුඳවුම් භාරයට ගැනිණි. කාලය ගත විය. බරපතළ චරිතයක් වූ කැරොකේ වසන්ත සමාජ මාධ්‍ය තුළින් වෙනස් පුද්ගලයෙක් ලෙස සමාජය තරණය කරමින් සිටියේය. විශාල අනුගාමිකයන් පිරිසක් ඔහු සමඟ බැඳෙන්නට වූහ. ඔහු ආදරණීය ස්වාමියකු, පියකු සහ විනෝදකාමී හිත හොඳ අයකු ලෙස නූතන පරම්පරාව තුළ පැල්පදියම් විය. වසන්ත එලෙස කෝටිපති රුඟුම් රුඟුවත් ඒ වනවිට ආර්ථික වශයෙන් දැවැන්ත ලෙස කඩා වැටී සිටියේය.
කංජිපානි පනියි

මේ අතර කංජිපානි සිතාගත නොහැකි මොහොතක ඇප ලබා එළියට ආවේය. එළියට පැමිණි කංජිපානි අතුරුදන් විය. තමා සම්බන්ධයෙන් නැවත කතා වෙන විට ඔහු කල්පිටිය හරහා ඉන්දියාවට පැන ගොස් තිබිණි. එසේ අතුරුදන් වූ කංජිපානි නැවත කරළියට පැමිණීමට පටන් ගත්තේ ඇතැම් පොලිස් නිලධාරින්ට සිදු කළ තර්ජන ගර්ජන හේතුවෙනි.
මේ අතර කොළඹ අපරාධ කොට්ඨාසයේ සිටි දුමින්ද නැමැති පොලිස් නිලධාරියාට කංජිපානි කරන තර්ජනයක් සම්බන්ධයෙන් හඬ පටයක් නිකුත් විය. එය ඉතාම බරපතළ තර්ජනයකි. එහෙත් පාතාලය, අපරාධ විද්‍යාව ගැන දන්නා අයට ඒ හඬ පටය රඟ දැක්වීමක් බව බැලූ බැල්මට පෙනී ගියේය. එසේ සිතන විට දුමින්ද ප්‍රංශයට පැන ගොස් අවසන්ය. දුමින්ද ප්‍රංශයට පැන්නේ කෙසේද යන්න දන්නා එකම කෙනා කංජිපානි පමණි.

අතුරුගිරියෙන් කංජිපානි 

නැවත එයි

නැවතත් කංජිපානි කතාව එළියට පැමිණියේ පසුගියදා අතුරුගිරිය ප්‍රදේශයේ දී මහ දවල් අමු අමුවේ වසන්ත ඇතුළු පිරිසට වෙඩි තැබීමත් සමඟය. බොහෝ දෙනා ගැස්සී ගියේ වසන්තට මෙහෙම දෙයක් වුණේ ඇයිද යන ගැටලුව හේතුවෙනි. රටම දන්නා වසන්තට මෙහෙම කරන්න තරම් හේතුව කුමක්ද යන්න ගැටලුවක් වී තිබිණි.
එහෙත් වසන්ත ඝාතනය සිදුවූ අලුතින් ආරම්භ කළ ටැටූ  ෂොප් එක තුළ ඒ සියල්ල සඳහා ඉඟියක් එහි පැමිණි ඝාතකයන් හිතාමතාම දමා ගොස් තිබිණි. ඒ වසන්තට වෙඩි තැබූ ටී 56 ගිනි අවියෙන් නිකුත් වූ හිස් උණ්ඩ තුළ KPI ලෙස මාර්කර් පෑනකින් ලියා තිබීමය. KPI යනු වෙන කවුරුත් නොව කංජිපානි ඉම්රාන් බව ආරක්ෂක අංශ දැන සිටියේය. කංජිපානිගේ කුඩුවලද ඒ සංකේතය දක්නට ලැබිණි. එහෙත් කංජිපානි සහ වසන්ත අතර ඇති ගැටලුව කුමක්ද යන්න ප්‍රශ්නයකි. ඒ වනවිට පාතාලය තුළ කතාව විසිරී ගොස් තිබිණි.

වසන්ත - කංජිපානි ආරෝව

වසන්ත - මදූෂ් අතර මිත්‍රකම අනුව වසන්ත මදූෂ්ගේ කුඩු සල්ලි සුදු කළ අයකු බව පාතාලයේ රහසකි. මේ නිසා වසන්ත මදූෂ්ගෙන් නිතර මුදල් ගත් බව සඳහන් වේ. එහෙත් වසන්ත කඩා වැටුණු පසුව ඔහු නැවත එම මුදල් දීම පැහැර හැරි බවත් ඒ ගැටලුව නිසා වසන්ත උපන් දින සාදයට නොපැමිණ මදූෂ් කොටුවන්නට ඔත්තුව දුන් බවත් පාතාලයේ අදහස වී තිබිණි. ඒ එක් අදහසකි. දෙවැනි සිදුවීම නම් කංජිපානි නිදහස් වී පැනගත් පසු වසන්තට ඇමතුම් ලබා දී තම මිත්‍රයා මෙන්ම කුඩු ව්‍යාපාර සගයා වූ මදූෂ්ගෙන් ලබාගත් මුදල් වසන්තගෙන් ඉල්ලා සිටියද ඔහු එය මග හැරීමය. මේ නිසා කංජිපානි වසන්තට අවස්ථා රුසක් ලබාදුන්නත් ඒ සියල්ල ඔහු මගහැරි බව පැවසේ. කෙසේ වෙතත් අවසාන වශයෙන් වසන්ත කංජිපානිට බැණ වැදුණු බව තවත් අදහසක් විය. මේ සියල්ල පාතාලයේ රහස්ය.

මෙකී සිදුවීම් නිසා අවසානයේ කංජිපානි වසන්තට අවසන් නිවේදනය ලබා දී තිබුණු බව දැනගන්නට ඇත. බලපිටියේ පදිංචි ටැටූ නැමති හීන දකින තරුණයා මේ ගැටුමට කොටුවූයේ ඒ අතරතුරේදීය.

ටැටූ සහ පැටී

එම තරුණයාගේ එකම හීනය වූයේ කෙසේ හෝ ටැටූ ෂොප් එකක් දා ගැනීමය. මේ හීනය පසුපස යන තරුණයාට හමුවූ මිත්‍රයකු වූ මහේෂ් හෙවත් 'කෙහෙතු' ඒ හීනයට උදව් කිරීමට පොරොන්දු වූයේ දැනට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින සුජීව රුවන් කුමාර හෙවත් ලොකු පැටී සම්බන්ධ කරමිනි. ලොකු පැටී යනු දකුණේ පාතාලයේ ප්‍රබල කණ්ඩායම් දෙකක් වන කොස්ගොඩ සුජී සහ රත්ගම විදුර යන කණ්ඩායම් දෙකෙන් රත්ගම විදුර නියෝජනය කරන කණ්ඩායමේ අයෙකි. ලොකු පැටීගේ මල්ලි වූ පොඩි පැටී මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් නිලධාරී රංගජීව ඇතුළු කණ්ඩායමට පිළියන්දල ප්‍රදේශයේ එල්ල කළ ප්‍රහාරයේ යතුරුපැදිකරුය. ඒ ප්‍රහාරය මදූෂ් විසින් සූදානම් කළ බව පැවසේ.

ඒ අනුව ටැටූ ශිල්පියාට ඇමතුම් ලබාදුන් ලොකු පැටී මෙයට එකඟ වෙන අතර ඒ සඳහා ස්ථානයක් බලන ලෙස පැවසීය. ඒ අනුව අතුරුගිරිය ප්‍රදේශයෙන් එම ස්ථානය තෝරාගෙන තිබිණි. මෙම ස්ථානය සුවිශේෂී වන්නේ 2017 වසරේදී එම ස්ථානයේ පවත්වාගෙන ගිය සැලුන් එකක් තුළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ රියැදුරු වූ බණ්ඩාර වෙඩි තබා ඝාතනය කළ ස්ථානය වීමය. එම ඝාතනයට ඔත්තුව දී තිබුණේ එකී සැලුන් එකේ කාන්තාව විසිනි. පසුව එම කාන්තාවද ඝාතනයට ලක්වූ අතර එකී සැලුන් එක ගිනි තබා විනාශ කර දැමීය. එම ගිනි තැබීමෙන් පසුව නැවත අලුත්වැඩියා කොට තිබියදී මෙම ස්ථානය ටැටූ ආයතනය සඳහා තෝරාගත් බව සඳහන් වේ.

අදාළ ටැටූ හිමිකරු වෙත පළමුව ලක්ෂ දෙකක්ද, ඉන් පසුව ලක්ෂ හතකුත්, ඊටත් පසුව ලක්ෂ හයකුත් වශයෙන් මුදල් දැමූ ලොකු පැටී සඳහන් කර ඇත්තේ මෙය විවෘත කිරීම සඳහා ජනප්‍රිය පුද්ගලයන් ගෙන්වන ලෙසය. ටැටූ ශිල්පියාගේ මිත්‍රකම හේතුවෙන් කේ. සුජීවා ගෙන්වන බව ඔහු දන්වා ඇති අතර එකී අවස්ථාවේ කංජිපානිලාගේ අරමුණ එළියට දැමුණේ ඇඟට පතට නොදැනීවමය. ඒ වැඩිම අනුගාමිකයන් පිරිසක් සමාජ මාධ්‍යවල සිටින කැරොකේ වසන්ත එම ස්ථානය විවෘත කිරීම සඳහා රුගෙන එන ලෙස දන්වමිනි. ඒ අනුව අදාළ දුරකථන අංකය පවා ලබා දී තිබුණේ ලොකු පැටී විසිනි. ඒ වසන්තගේ බිරියගේ දුරකථන අංකයයි. ඒ අනුව ඇමතුම් ලබා දී වසන්ත ඒ සඳහා කැමති කරගත් අතර ඔහු අදාළ උත්සවයට පැමිණෙන බව දැනුම් දුන්නේය.

හොඳම වෙලාව - නරක වෙලාව

ඒ අනුව සියල්ල සූදානම් වන අතර ආරාධනා පත්‍ර මුද්‍රණය කර ප්‍රචාරය කිරීමද සිදු කෙරිණි. නැකැත පෙරවරු 9.48 ලෙස යොදාගෙන තිබිණි. ඒ අනුව පිරිස පැමිණ ආයතනය විවෘත කර කිරිබත් කමින් සිටියහ. එකවර මෝටර් රථයකින් පැමිණි දෙදෙනකු ටී 56 ගිනි අවි දෙකකින් වෙඩි තැබූයේ එතැන සිටි කිසිවකුට කිසිවක් කරකියා ගත නොහැකි වන්නටය.

ඔවුන් එම එම වෙඩි ප්‍රහාරයට පැමිණෙන හැටිත්, වෙඩි තබන හැටිත්, වෙඩි තබා පලා යන හැටිත් සියල්ල ආරක්ෂක කැමරාවල චිත්‍රපටයක දර්ශන ලෙස සටහන් වී තිබිණි. කෙසේ වෙතත් මෙම කැමරා පද්ධතියේ එක් පිවිසුමක් ඩුබායි සිටින ලොකු පැටී ලබාගෙන තිබිණි. ඒ විවෘත වීමේ අවස්ථාව දැක ගැනීම සඳහා යැයි පවසමිනි. එහෙත් අවසානයේ වසන්තට වෙඩි තබන හැටි ලොකු පැටී සහ රොටුන්ම්බේ අමිල යන දෙදෙනා ඩුබායි සිටත් කංජිපානි ඉම්රාන් ප්‍රංශයේ සිටත් සජීවීව නැරඹූ බව දැනගන්නට ඇත. කෙසේ වෙතත් පොලීසිය පැවසුවේ ප්‍රහාරයෙන් පසුව සැකකරුවන්ගේ පලා යාම ඉතාම සූක්ෂමව සහ සැලසුම් සහගතව සිදුවූ බවය. එනම් ඔවුන් මෝටර් රථයෙන් ගොස් වෑන් රථයකට නැගීමත්, ඉන් අනතුරුව අතුරුදන් වීමත් ආදී වූ මේ සියල්ල සාක්ෂි සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තිබෙන කෙනකු විසින් ලබා දී ඇති බවය.

කෙසේ වෙතත් මෙම ඝාතනය ලොකු පැටී විසින් සැලසුම්සහගතව සිදු කළ ඝාතනයක් බවට මේ වනවිට තහවුරු වී ඇත. එහෙත් ඝාතනයට සම්බන්ධ වෙඩික්කරුවන් සම්බන්ධයෙන් කිසිදු ආරංචියක් තවමත් නැත. මොවුන් රටින් පැන ගත්තාද නැද්ද යන්න පිළිබඳ තවමත් තොරතුරක් නැත.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන් සැක කෙරුණේ ටැටූ ආයතනයේ හිමිකාර තරුණයාය. එහෙත් ඔහු මෙම ඝාතනයට ඍජුව සම්බන්ධ බවට තහවුරු වී නැති බවත් ඔහු පැටීගේ උපායට හසුවී ඇති බවත් තහවුරු වී ඇත. කෙසේ වෙතත් සැකකරු ලොකු පැටී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව දැන දැන මුදල් ගැනීම ඔහුට එල්ල වී ඇති බරපතළ චෝදනාවකි.

මෙම වෙඩි ප්‍රහාරය හමුවේ වසන්ත පමණක් නොව වසන්තගේ බිරිඳ ද බරපතළ තුවාල ලැබීය. කෙසේ වෙතත් ඇයගේ බෑගයේ තිබී රිවෝල්වරයක් සොයාගත් අතර එය නීතිවිරෝධී ගිනි අවියක් බව පොලීසිය තහවුරු කරගෙන ඇත. මීට අමතරව කේ. සුජීවා ද තුවාල ලැබීය. එහෙත් අවසානාවන්ත ඉරණමකට මුහුණ දුන්නේ ඇගේ ස්වාමියා වූ නයන වාසුල නැමැත්තාය. ගම්පහ මහානාම හිමියන් ලෙස සුප්‍රසිද්ධ එම හිමිනම සුජීවා සමඟ විවාහ වීම සඳහා සිවුරු අත්හැර 2021 වසරේ විවාහ ගිවිසගත් බව සහෝදර හිමිනමක් විසින් මුහුණුපොතේ සඳහන් කර තිබිණි. කෙසේ වෙතත් එම විවෘත කිරීම සඳහා සහභාගි වූ නයන වාසුල අවසානයේ වෙඩි ප්‍රහාරයෙන් මිය ගියේය. ඊට අමතරව ටැටූ ආයතනයේ හිමිකරුගේ බිරිඳ ද බරපතළ තුවාල ලැබූ අතර ඒ අතර ඒ අතර තවත් පුද්ගලයෙක්ද වෙයි.

මෙම ඝාතනය ඉතාම සංවිධානාත්මක ප්‍රහාරයකි. විශේෂයෙන් මෙම ප්‍රහාරයෙන් පසුව සැලවූ අලුත්ම කරුණ නම් මාකඳුරේ මදූෂ්ගෙන් මුදල් ගත් සහ මාකඳුරේ මදූෂ්ගේ ඝාතනයට වගකිව යුතු සියලු දෙනාගෙන් පලිගැනීමට කංජිපානි සූදානම් වන බවය. ඒ අතර ප්‍රසිද්ධ ගායකයකු සහ නළුවකු මෙන්ම පොලිස් නිලධාරින් ද සිටින බවත් සඳහන් වේ. මේ වනවිට ඩුබායි සිට ලැබෙන තොරතුරු අනුව වාර්තා වන්නේ කංජිපානි ඉම්රාන් විසින් නැවත මාකඳුරේ මදූෂ්ගේ කල්ලියට පණ දෙන්නට උත්සාහ දරමින් සිටින බවය. මේ අතර ලොකු පැටී, පොඩි පැටී, උනාකූරුවේ ශාන්න හෙවත් මදූෂ්ගේ ගුරා, රොටුන්ගේ අමිල පවා මෙම කණ්ඩායමේ සිටින බව සඳහන්ය.

ඊට අමතරව එම කල්ලියේ අනෙක් ඉලක්කය වන්නේ කොස්ගොඩ සුජී සහ අන්නාසි මොරිල්ය. මේ අයට ඉක්මනින් ප්‍රහාර දියත් කිරීම සඳහා මේ කල්ලිය සූදානමින් සිටිති. මේ අතර වසන්තගේ දේහය විවෘත වූයේ පසුගිය සිකුරාදා උදෑසනය. එහෙත් බදාදා රාත්‍රියේ ඉම්රාන් නැමති අයකු මල් ශාලාවට ඇමතුමක් දී පවසා ඇත්තේ මළ සිරුර වහාම එළියට දමන ලෙසත් එසේ නොකළහොත් ඔවුන්ටද ප්‍රහාර එල්ල කරන බවත්ය. මේ නිසා මළගෙදර සඳහා දැඩි ආරක්ෂාවක් ලබාදීමට සිදුවිය.
වසන්තගේ ගමන අවසන් වී ඇත. ඔහුව ඒ ගමන යවන්නට තුන් පාරක් උත්සාහ ගෙන ඇත. අවසානයේ අතුරුගිරියෙන් වැඩේ අවසන් විය. නැවත මදූෂ් කරළියට එමින් ඇත. අවසානයක් නැත. නැවතත් පාතාල යුද්ධය ආරම්භ වී ඇත. එය යුක්තියට කොටුවේද යන්න අපි නොදනිමු.

• ගයාන් ගාල්ලගේ