2024 ජුලි 20 වන සෙනසුරාදා

කේ.පී.අයි. ඇත්තටම ’කැඳ’ ඉම්රාන්ද?

 2024 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 02:03 252

කැරොකේ වසන්ත ඝාතනයෙන් පසුව මේ වනවිට අපේ රටේ පාතාලයේ ක්‍රියාකාරකම් වෙනස්ම මුහුණුවරක් ගෙන ඇති බව දිනෙන් දින ලැබෙන ප්‍රවෘත්ති හරහා අපට දකින්නට හැකිය. හිස් පතොරම් කොපුවල කේ.පී.අයි සටහන් වීමේ සිට ඝාතන මෙහෙයුම්කරැවන් විදෙස් රටක සිට සිදුවීම සජීවීව බලා සිටීම දක්වාත්, අවසන් වශයෙන් දැඩි සත්කාර ඒකකයේ සිටින වසන්තගේ බිරිඳගේ ඇඳ අසලට මල් වඩමක් යාම දක්වාත්, වාද බයිලා සේ බැනර් ප්‍රදර්ශනය දක්වාත්, එම ඝාතනය වෙනත් මුහුණුවරක් දක්වා දිනෙන් දින වෙනස් වෙමින් ඇත. ඒ නිසා බොහෝ ජනතාවට මෙම ඝාතනය දැන් දැන් ප්‍රශ්න රුසක් මතු කරමින් තිබේ. පුදුමය වන්නේ බොහොමයක් සිදුවීම් නාට්‍යානුසාරයෙන් සිදුවන බව දැන් දැන් පෙනෙන්නට වන බැවිනි.

කැරොකේ වසන්ත ඝාතනය සිදුවූ දින කේ.පී.අයි ලෙස හිස් උණ්ඩ කොපුවල සටහන් වීම නිසා සැකය එල්ල වුණේ මාකඳුරේ මදූෂ්ගේ සමීපතමයකු වන කංජිපානි ඉම්රාන් වෙතය. ඉම්රාන් ඒ වන විට ප්‍රංශයට පැන දේශපාලන ආරක්ෂාව පතා සිටියේය. එම සිදුවීම එසේ තිබෙන විට වසන්තගේ මරණයේ අවමංගල්‍ය වැඩ කටයුතු කළ ජයරත්න මල් ශාලාවට ඇමතුමක් ලැබිණි. එම ඇමතුම ලැබුණේ වසන්තගේ මළ සිරැර එළියට දමන ලෙස පවසමිනි. ඒ ඇමතුම ලබාදුන්නේ ඉම්රාන් බව පැවසිණි. එය ඉම්රාන් මෙම මරණයට සම්බන්ධ බවට සමාජයට ඒත්තු ගැන්වූ දෙවැනි සිදුවීම විය.

එම සිදුවීම් දෙකින් මේ කතාව අවසන් වූයේ නැත. මදූෂ්ගේ මළ සිරැර භූමිදානය කළ මහරගම ගොඩිගමුව කනත්තේ තාප්පයෙහි "අපේ අයියේ.. එක එක්කෙනා එවනවා... අපි එනකල් බලාගන්න.." යැයි සඳහන් කරමින් මදූෂ්ගේ රැව සහිත ඡායාරෑප බැනරයක් ප්‍රදර්ශනය කර තිබූ අතර පුදුමය නම් එහිද කේ.පී.අයි නම සඳහන් වී තිබීමය. ඊටත් වඩා පුදුමය වන්නේ මදූෂ්ගේ උපන් නගරය වන මාතර, බස් ස්ටෑන්ඩ් එක තුළද එවැනිම බැනරයක් ප්‍රදර්ශනය කර තිබීමය. ඒ හරහා ද මෙම ඝාතනයට කංජිපානි සම්බන්ධ බවට ඒත්තු ගැන්වීමට උත්සාහ කර තිබුණි. සැබවින්ම එහි අරමුණ වූයේ කංජිපානි එය සිදු කළ බව සනාථ කිරීමය.

එහෙත් සැකය උපදින කාරණා කිහිපයක් ඇත. එනම් විශාල ජනතාවක් ගැවසෙන තැනක දහවල් කාලයේ එවැනි බැනර, බියකින් සැකයකින් තොරව ප්‍රදර්ශනය කළේ කවුද? දෙක යුක්තියේ මෙහෙයුම් ආදිය සිදුවන මොහොතක, ඝාතකයන් පසුපස පොලිසිය හඹා යන මොහොතක, අපරාධකරැවන් තම ජීවිතය අනතුරේ හෙළා මෙවැනි බැනර ප්‍රදර්ශනය කිරීමට කරළියට පැමිණේද යන සැකයයි. ඊටත් වඩා උණ්ඩයක නම ලියා, ඇමතුම් ලබා දී තවදුරටත් බැනර පවා ප්‍රදර්ශනය කර කේ.පී.අයි වශයෙන් ප්‍රදර්ශනය වීම හරහා කංජිපානි අරමුණු කරන්නේ කුමක්ද? ඒ සියල්ලට වඩා දැන් සැකය වන්නේ කේ.පී.අයි යනු ඇත්ත වශයෙන්ම කංජිපානිද යන්නය.

කෙසේ හෝ කුමන හෝ කණ්ඩායමක් භීතිය වපුරන්නට ගියද මේ සියල්ල විහිළු සහගත සිදුවීම් පමණි. ඊට හොඳම උදාහරණය නම් කංජිපානිගේ බැනර්වලට විරෝධය පළ කර තවත් පිරිසක් මාලිගාවත්ත සහ මහරගම පමුණුව ප්‍රදේශයේ දුම්රියපළ අසල පොස්ටර් කිහිපයක් ප්‍රදර්ශනය කිරීමය. එම පෝස්ටර් අතින් ඇඳ තිබූ අතර ස්ථාන දෙකේම අලවා ඇත්තේ එකම සංවිධානයකින් බව පැහැදිලිය. එම පෝස්ටර්වල සඳහන් වී තිබුණේ "කැඳ ඉම්රාන්ගේ පවුලේ උන්ටත් එම දඬුවමයි", "පාතාලයේ හැම එකාම මදූෂ් ගිය තැනට යන්න සැරසියල්ලා" යනුවෙනි. කෙසේ වෙතත් මෙම පෝස්ටර් මදූෂ්ගේ පෝස්ටර්වලට එරෙහිව ඇලවූ ඒවා බව තහවුරැ කරගෙන ඇත. එහෙත් මෙලෙස වාද බයිලා සේ පෝස්ටර් අලවන්නේ එකම කණ්ඩායමක්ද? නැතිනම් කණ්ඩායම් දෙකක්ද? යැයි සැක උපදවයි. මේ ආකාරයෙන් හැසිරීමට තරම් රටේ නීතිය සම්බන්ධයෙන් ජනතාව තැකීමක් කරන්නේ නැතිදැයි සැකයක් පවතී.

මේ සියල්ල ඇහැට හොරා කරන්න හැකිවුණත් පසුගියදා අසන්නට ලැබුණු ප්‍රවෘත්තිය නම් කිසිසේත් සිදුවිය නොහැක්කකි. එනම් ඉතාම බරපතළව අසාධ්‍ය තත්ත්වයේ සිටින වසන්තගේ බිරිඳගේ නමට මල්වඩමක් යැවීමය. එය කිසිසේත් කළ නොහැකි ක්‍රියාවක් වන අතර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඇයට මෙලෙස මල් වඩම් යැවීමට හැකියාව ලැබුණේ කෙසේද? ඇය ආරක්ෂාව මත සිටිනවාද? නැද්ද? අපි නොදනිමු. එහෙත් එවැන්නක් බිය සැකයෙන් තොරව රෝහලකට යවන්නට තරම් හැකියාවක් පවතීදැයි තහවුරැ කර ගැනීමේ හැකියාවක් අපට නොමැත. මෙය සැබවින්ම ගෝඩ් ෆාදර් සිනමා පටය හා සමානය. එය ද අභිබවා ගොස් මොවුහු අධි රංගනයක යෙදෙමින් සිටිති.

මේ සියල්ල මගින් උත්සාහ කරනුයේ මෙකී වසන්ත ඝාතනය කංජිපානි විසින්ම සිදුකර ඇතැයි ඒත්තු ගැන්වීමය. කර්මය හෝ ආග‍ම දහම ගැන නොසිතන උන්, කිරිබත් කකා සිටි වසන්තට වෙඩි තැබූ උන්, ටී-56 උණ්ඩ ජීවම් කළ බවටද කතා පැතිරවූහ. වෙඩික්කරැවකු හෝ අත්අඩංගුවට නොගෙන පතුරම් ජීවම් කළ බව කීවේ කවුද? උණ්ඩ දුටු සැණින් ඒ බව කීමට පොලිසියේ කට්ටඩියන් සිටීද? මේවා හතර බීරි කතාය. මේවා මෙහි අපරාධකරැවන් පවා අපහසුවට ලක්වන කතාය. එපමණක් නොව ලංකාවේ මේ තාක් සිදු නොවූ ක්‍රියාවක් පොලිසිය මේ අපරාධ විමර්ශනයේදී සිදු කළේය. එනම් මේ ඝාතනයේ ප්‍රමුඛ සාක්ෂිකරැ වූ ටැටූ ශිල්පියා මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කරමින් සිදු කළ රඟ දැක්වීමය. මෙය සම්පූර්ණයෙන් අදාළ නඩුවට සිදු කළ අසාධාරණයකි. මෙවැනි ක්‍රියා හරහා නීතිඥවරැන්ට තර්ක කරමින් මේ සියල්ල කඩා බිඳ දැමීමට හැකිවනු ඇත. කෙටියෙන්ම කිවහොත් පොලීසිය සිදු කළේ කැත වැඩකි.

මේ සියල්ල ඉතාම අද්භූත සහ ඇඟ කිළිපොලා යන අවස්ථා පමණක් නොව රටම හිනස්සන වැඩ බව කිව යුතුය. වෙඩි තැබූ දෙදෙනා හොඳම වෙඩික්කරැවන් වන අතර ඔවුන් එම වෙඩි තැබීම ඉතාම අවබෝධයකින් යුතුව සිදු කළ බව වැටහෙයි. එපමණක් නොව සැකකරැවන් පැන ගිය ආකාරය පවා සාක්ෂි වසන් කරමින් ඉතා සැලසුම් සහගතව සිදු වූ බව දක්නට ඇත. ඒ සියල්ල එසේ සිදුවන විට පසුගියදා පොලීසියේ ආරංචි මාර්ග මාධ්‍යයට දන්වා සිටියේ සැකකරැවන් රටින් පැන ගොස් ඇති බවට සැක කරන බවයි. පොලීසිය එසේ සැක කරන්නේ කෙසේද? ඔවුන් පැන ගිය බවට පෙන්වන සාක්ෂි මොනවාද? මෙවැනි හිතලු මෙවන් අවස්ථාවක පැවසීම සුදුසු නොවේ.

මේ සිදුවීම්වලින් ගම්‍ය වන්නේ මෙහි ඇත්තේ වෙනත් අරමුණක් බවය. සැබෑ ගැටලුව එසේ තිබියදී වෙනත් ප්‍රශ්න මව මවා වෙනම භීතිකාවක් ඇති කිරීමට ඉතාම ශූර ලෙස කණ්ඩායමක් සූදානම් වන බව බැලූ බැල්මට පෙනී යයි. එම කණ්ඩායම සූදානම් වන්නේ අපරාධ ලෝකයේ නමක් දිනාගන්නටද? එසේ නොමැති නම් අපරාධකරැවන් සඟවා තබාගන්නටදැයි සැකයක් පවතී.

කැරොකේ වසන්ත යනු පොඩි පහේ අයකු නොවන අතර ඔහු සමීපයේ රහස් කතා රුසකි. ඒ ඔහු හා ප්‍රභූවරැන් අතර පැවති ඍජු ඇසුර හේතුවෙනි. මේ නිසා අවස්ථා කිහිපයකදීම වසන්ත ප්‍රසිද්ධියේ කීවේ කට්ටියගේ හැටි දන්නා බවත් තමන් මොහොතකින් ඒවා සියල්ල හෙළි කරන බවත්ය. එසේ නම් මේ ගැටලුව මත වසන්තව ඝාතනය කළාද? ඒ ඝාතනය පිටුපස සිටින්නේ කංජිපානිලාද? නැතහොත් වෙනත් ආයුධ සන්නද්ධ කණ්ඩායමක්දැයි සැකයක් හට ගනියි. 

මේ රටේ සිදුවූ අබිරහස් ඝාතන සමඟ බැලූ කල මෙයද ඒ ගොඩට තල්ලු වෙමින් ඇත. කේ.පී.අයි යනුවෙන් නම් තැබීමත්, ඉන් පසුව කේ.පී.අයි යනුවෙන් පෙනී සිටිමින් මරණයේ අයිතිය බාරගැනීමට පොරකෑමත් සිනහ උපදවන සිදුවීම්ය. එහෙත් අපි එලෙස සිනහ නොවන්නෙමු. අප හිනා වෙන්නේ අපටම බැවිනි. මෙහිදී අප අපරාධ පරීක්ෂණයට ඉදිරියෙන් නොව, අපරාධ පරීක්ෂණයට පිටුපසින් යා යුතුය. එසේ ගිය කල සැබෑ අපරාධකරැවන් අත්අඩංගුවට ගැනීමටත්, ඒ අයගේ අරමුණ කුමක්දැයි තීරණය කිරීමටත් හැකිවනු ඇත. එසේ නොමැතිව පොලීසිය සමඟ එකට වාඩි වී තරගයට පොලිසිය දෙන දේවල් ඔලුවේ තබාගෙන එක් අන්තයක් නියෝජනය කිරීම හරහා ඇත්ත යට යනු ඇත. විශේෂයෙන් මැතිවරණ සමයේදී මේවා සුලබ දසුන් වන බැවිනි.

• ගයාන් ගාල්ලගේ