2024 ජුලි 20 වන සෙනසුරාදා

අරක්කු මිල බස්සන්න පරක්කු ඇයි?

 2024 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 02:05 193

“ඈත ධූලින් වැසී ගිය ඇත් රජය. මෑත සවණක් රුසින් වැසී ගිය බුදුරජාණෝය. ඈත කෝපයෙන් රත්ව ගිය යවට වැනි ඇස් ඇති ඇත් රජය. මෑත කරුණාවෙන් තෙත්ව ගිය මහනෙල් මල් පෙති පරයන ඇස් ඇති බුදුරජාණෝය..”
බුදුන් පිළිබඳ ද්වේෂයෙන් පසු වූ දේවදත්තයන් නාලාගිරි හස්තියාට රා පොවා බුදුන් ඉදිරියට එවූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ය. ඉහතින් සඳහන් කළේ බුත්සරණේ එන නාලාගිරි දමනයේ එන එකී අවස්ථාවයි. ඇතුන්ටත් රා පෙවූ අතීතයක එදා මිනිසුන් රහමෙර පානයට යොමු වී සිටි බවට මෙවැනි නිදර්ශන ඕනෑ තරම් තිබේ.

සෑම වසරකම පාහේ මත්පැන් මිල සම්බන්ධයෙන් විවිධ කථිකා ඇතිවුවද මේ ගැන වැඩි අවධානයක් යොමුවන්නේ මත්පැන් මිල සම්බන්ධයෙන් මෙරටදී ඇසුණු ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙනි. මෙම ප්‍රකාශකයා හිමිනමක් වීම මෙහි සමාජ කථිකාවේ ආන්දෝලනාත්මක බව තීව්‍ර කළේය. මෙම ප්‍රකාශය සිදු කරනු ලැබුවේ ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් විසිනි. උන්වහන්සේ පවසනුයේ නීත්‍යනුකූල මත්පැන්වල මිල අඩු කර දෙන්නේ නම් රටේ ජනතාවට වටිනා බවය. එසේම මත්පැන්වල මිල අඩු කිරීමෙන් රටේ මත්ද්‍රව්‍ය උවදුර සම්පූර්ණයෙන්ම නතර කිරීමට හැකි බවත් ඒ මගින් මිනිසුන් යහමගට ගැනීමට ක්‍රමයක් සාදා ගැනීමට හැකි බවත් උන්වහන්සේ පැවසූහ. මෙලෙස රාහුල හිමියන් පවසන මිනිසුන් යහමගට ගැනීමේ මෙම ක්‍රමවේදය සම්බන්ධයෙන් වැඩිදුර දැනකියා ගැනීමට අපි වනවාසී රාහුල හිමියන්ගෙන් විමසුවෙමු.

“අද බැලුවොත් ගමක් ගමක් පාසා හැම තැනම නීත්‍යනුකූල නොවන මත්පැන්, ගංජා, අයිස් යන බොහෝ දේ තියෙනවා. මගේ පන්සල තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත ප්‍රදේශයක. මේ වනවිට මේ මත්ද්‍රව්‍ය උවදුර නගරවලින් ඔබ්බට ගම්මාන දක්වා පැතිරී තියෙනවා. ඒ වගේම ගම්වල අධ්‍යාපනය ලබන දරු දැරියන් වගේම තරුණ පරපුරත් ගොදුරු කර ගැනීමට තරම් මත් රකුසා ප්‍රබල වෙලා තියෙනවා. මෙවැනි මත්ද්‍රව්‍යවලට ගම්වල ජනතාව නැඹුරු කරවන්නට වෙනම සංවිධානාත්මක කණ්ඩායම් පවා සැකසී සිටිනවා. මේ සමාජයේ මිනිසුන්ගෙන් සියයට 75 කට වැඩි පිරිසක් මත්පැන් පාවිච්චි කරනවා. මගේ පෞද්ගලික අදහස වන්නේ මත්පැන් මේ සමාජයේ මිනිසුන් භාවිත කරනවා නම් ඒකට රජයේ නිෂ්පාදනයක් තියෙද්දී මිනිසුන් අනීතික දේට යොමුවෙලා තියෙන්නේ නීත්‍යනුකූල මත්පැන් මිල වැඩි නිසා. 

වර්තමාන ජීවන බරත් එක්ක මිනිසුන්ට නිත්‍යානුකුල නිෂ්පාදනය ගන්න සල්ලි නැති නිසා ඔවුන් සුළු මුදලක් එදිනෙදා වියදම් කරලා කසිප්පු ආදියට යොමුවෙලා තියෙනවා. ගම්වලත් පෙරනවා. ගෙවල් ඇතුළෙත් පෙරනවා. හැමතැනම මිනිස්සු කසිප්පු පෙරනවා. නීත්‍යනුකූල මත්පැන් මිලදී ගන්න තරම් මිනිසුන්ගේ ආර්ථිකය ශක්තිමත් නෑ. මම කියන්නේ මේ හැමදේකින්ම ලෙඩරෝග ඇතිවෙනවා. ඒත් අනීතික දේට යොමුවීම ඒකෙ වැඩි අනතුරුදායක බවක් තියෙනවා. කසිප්පු බෝතලයක් බොන පුද්ගලයා ගල් අරක්කු තිබ්බොත් කාලක් බීලා නවත්තනවා. සාමාන්‍යයෙන් මඳ පමණට ගත්තොත් ශාරීරික වශයෙන් අගුණයක් නෑ. ළමයකුට බේත් ටිකක් ගන්න ගියත්, ගෙදරට බඩුමුට්ටු ගන්න ගියත් මිනිසුන්ගේ ජීවන වියදම ඉහළයිනෙ. ගොඩක් පැතිවල මිනිස්සු බොන වතුර ටික පවා සල්ලිවලටනෙ ගන්නේ. ඒකයි මම කියන්නේ අනෙක් දේවල්වලට සහනයක් සලසනවා වගේම නීත්‍යනුකූල මත්පැන් කියන දෙයටත් සහනයක් දුන්නොත් මිනිස්සු කසිප්පු පෙරන්නේ නෑ. 

සාමාන්‍ය මනුස්සයෙක් දවසකට උපයන්නේ උපරිම රුපියල් 2500 ක් 3000 ක් වගේ ගාණක්. ඒ මනුස්සයා ගෙදරට හාල් තුනපහ බඩුමුට්ටු ටික අරගෙන ඉතුරු වෙන්නේ සොච්චමක්. ඉතින් එතකොට ඒ මිනිහා බලනවා ළඟම තැනට ගිහින් කසිප්පු පැකට් එකක් අරන් බොන්න. ඒ වගේම තමයි කසිප්පු පෙරලා පොලිසියට ඔත්තුව දුන්නාම පොලිසියෙ පිරිසක් ඉන්නවා ආයෙ කසිප්පු මුදලාලිට කියනවා ඔත්තුව දුන්නේ අන්න අරෑ කියලා. පොලිසිය ගැන විශ්වාසය බිඳවැටිලා තියෙන නිසා මිනිස්සු දැන් අනීතික දේ දැක්කත් ඒ ගැන පැමිණිලි කරන්න යන්නේ නෑ.”

වනවාසී රාහුල හිමියන් පැවසූයේ එහෙම කතාවකි. හිටපු සංචාරක අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පසුගියදාක පාර්ලිමේන්තුවේදී පැවසූයේ බොන මනුස්සයා කොහොමත් මත්පැන් පානය කරන බවත් යථාර්ථයට මුහුණ දිය යුතු බවත්ය. ගල් අරක්කු හෝ අරක්කු බෝතලය ගණන් වැඩි නිසා මිනිසුන් ගෙවල්වල කසිප්පු පෙරන බවත් ඇය පැවසුවාය. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසූයේ 2023 දී පමණක් බදුවලින් මත්පැන් මිල සියයට 108 කින් වැඩිවී ඇති බවත් මත්පැන් බලපත්‍ර ගාස්තුද මේ වනවිට වැඩිකර ඇති බවත්ය. පසුගිය කාලයේ මෙරට රජයේ මණ්ඩලයක හිටපු සභාපතිවරයකු සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් පවසා තිබුණේ කසිප්පු යනු මෙරට ගම්වල සංස්කෘතික අංගයක් බවයි. 

ඒ කෙසේ වෙතත් වැඩිදුරටත් අදහස් දක්වමින් වනවාසී රාහුල හිමියෝ මෙසේද සඳහන් කළහ.

“මේක පොදු ප්‍රශ්නයක්. භික්ෂුවක් විදිහට මම මේක කතා කරන එක නොගැලපෙනවා කියා කාටහරි කියන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. මේක සමාජ කථිකාවක් දක්වා එන්න ඕනෑ. මම භික්ෂුවක් වුණාට මේ රටේ පුරවැසියෙක්. අපි සමාජය යහමගට ගන්න තමයි මේ හැමදේම කරන්නේ. දියවන්නාවෙ පොඩි මිනිස්සුන්ගෙ ප්‍රශ්න කතා කරන්නේ නෑ. නීත්‍යනුකූල මත්පැන් භාවිතය ඉහළ යන්නත් අනීතික මත්පැන් මත්ද්‍රව්‍ය නවතින්නත් මේ නීත්‍යනුකූල මත්පැන් සාධාරණ මිලක් නියම වෙන්න ඕනෑ. ඒකට ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕනෑ. රටක ආගමික සංස්කෘතික කවරාකාර කේෂ්ත්‍රය ගත්තත් ජාතික ප්‍රතිපත්ති අද දකින්නට නෑ. සෞඛ්‍ය, අධ්‍යාපනය වගේ හැමදේම ජාතික ප්‍රතිපත්ති හැදෙනවා වගේම සුරාබදු පනතට වුණත් ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕනෑ. මා කියන්නේ ඒකයි.”

මත්පැන් මිල අඩුවීමත් වැඩිවීමත් දෙයාකාරයකින් දෙපිරිසකට ප්‍රශ්නයකි. එහෙයින් මේ සම්බන්ධයෙන් තීරණය අපි පාඨක ඔබට බාර කරමු.

• සසංක චලන ගිම්හාන