දිරියෙන් නැගී සිටින ව්‍යවසායකයන්ට කර්මාන්තකරුවන්ට දිරිය ශක්තිය මෙන්ම, ගෞරවය සහ අවස්ථාද සොයා දීම ජාතික යුතුකමක්. ඒ නිසාමයි එවන් චරිත නිරන්තරයෙන් අප ඔබ වෙත සමීප කරන්නෙ. අද අපි නතර වෙන්නේ ව්‍යවසායිකාවක් අද්දර. ඇය නමින් සුභාෂිණී ෆොන්සේකා. සුභාෂිණී තමන්ගේ ව්‍යාපාරය නම් කරලා තියෙන්නේ The Flavoured Cake Wold නමින්.
මේ ව්‍යාපාරය හරහා සුභාෂිණී ෆොන්සේකා ප්‍රවේශ වෙලා ඉන්නේ විශේෂ කේක් වර්ග සහ රස කැවිලි වෙළෙඳපොළට. ඒ අනුව ඉහළ ගුණාත්මකභාවයක් සහ වඩාත් සෞඛ්යාරක්ෂිත නිෂ්පාදන වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කිරීම The Flavoured Cake Wold වෙතින් සිදුවෙනවා.
සුභාෂිණී ෆොන්සේකා තොරතුරුතාක්ෂණය ක්ෂේත්රයේ උපාධිධාරිනියක්. ඇත්තෙන්ම ඇගේ වෘත්තීය සුදුසුකම් දිහා බැලුවම, ඇය මෙවන් ක්ෂේත්රයකට ප්‍රවේශ වීම තරමක කුතුහලයක් දනවන කාරණාවක්.
“මම තොරතුරුතාක්ෂණය පිළිබඳ උපාධිධානියක්. උපාධියෙන් පසුව මම එම ක්ෂේත්රයේම පශ්චාත් උපාධියක් හැදෑරුවා. ඒ පාඨමාලාව අවසන් වෙනවාත් එක්කම මම ඒ වෙනුවෙන් වෙන් කරලා තිබුණු කාලය මට ඉතුරුවුණා. මට ඒ කාලය වෙනත් ප්‍රයෝජනවත් දේකට යොදවන්න හිතුණෙ ඒ අවස්ථාවේදී. ඒත් මුලින්ම ව්‍යාපාරයක් කරනව කියලා අදහස තිබුණේ නැහැ. මම බැලුවා මට කරන්න පුළුවන් මොනවද කියලා. පොඩි කාලෙ ඉඳලම මට කේක් සහ රසකැවිලි සකස් කිරීම පිළිබඳ කැමැත්තක් වගේම හැකියාවක් තිබුණා."
තම මවගෙන් ලද ආභාෂය ද ගුරුකර ගනිමින් පෙර අවස්ථාවලදී සුභාෂිණී සිය හිතවතුන්ගේ ඉල්ලීම් පරිදි කේක් නිර්මාණය සිදු කරලා තිබුණා. ඒ නිසා මෙම හැකියාව සඳහා අවස්ථාවක් ඇති බව ඇයට වැටහී තිබෙනවා.
“ආරම්භයක් විදිහට මම කළේ කලින් කරපු නිර්මාණවල ඡායාරෑප හැමෝගෙන්ම එකතු කරගෙන මගේ මුහුණුපොතට එකතු කිරීම. ඒක දැකපු මගේ යාළුවෝ කතා කරලා මට ඇණවුම් ලබා දුන්නා. මගේ නිෂ්පාදන ගැන තවත් අයට කියලා තිබුණා. මෙහෙම තමයි මේ ව්‍යාපාරය ආරම්භ වුණේ."
ඉතිරිවන කාලයෙන් ප්‍රයෝජන ගැනීමේ අරමුණ සහිතව 2018 ඇරඹුණු මේ ව්‍යාපාරය මේ වන විට ඉතා සාර්ථකව වර්ධනය වෙමින් තිබෙනවා. කොහොම නමුත් ආරම්භයේදී මෙවන් ක්ෂේත්රයක් වෙත අවතීර්ණ වීමට ගත් තීරණයට තමන්ගේ පවුලෙනුත් එතරම් කැමැත්තක් නොතිබුණු බව ඇය අප සමඟ සඳහන් කළා. එහෙත් පසුව මේ සඳහා ඇගේ උනන්දුව දැකපු ඇගේ පියා මේ කටයුත්තට විශාල වශයෙන් ඇයට උදව් කරලා තියෙනවා
සුභාෂිණී ෆොන්සේකා සඳහන් කරන ආකාරයට පියවරෙන් පියවර ඉදිරියට එන්න ඇයට අවකාශය උදා වෙලා තියෙන්නෙ, මේ කටයුත්ත සඳහා ඇය තුළ තිබූ කැමැත්ත.
“2018 – 2019 කාලයේ මුහුණුපොත හරහා ව්‍යාපාරය කරගෙන ගියා. 2019 දී තමා ව්‍යාපාරය නමින්ම මුහුණුපොතේ ව්‍යාපාරික පිටුවක් නිර්මාණය කළේ. ක්‍රමයෙන් ඉදිරියට එමින් ඉන්දැද්දි තමා 2020 දී කොවිඩ් වසංගතය ආවේ."
ශ්‍රී ලංකාවේ බොහෝ ව්‍යාපාර වෙත ඉතා අයහපත් ලෙස බලපෑම් කළ මෙම වසංගත සමය සුභාෂිණී ෆොන්සේකා හට ද එතරම් සුබදායක වූයේ නැහැ. ව්‍යාපාරය ලියාපදිංචි කර නොමැති නිසාම සංචරණ සීමා හමුවේ බෙදාහැරීම් දුෂ්කර වූ බව ඇය සඳහන් කරනවා. ඒත් ඒ වන විටත් ඇයට යම් පාරිභෝගිකයන් පිරිසක් ගොඩනැගී තිබුණා. ඒ නිසාම බෙදාහැරීම් සඳහා අවශ්‍ය අවසර ලබාගැනීමේ අරමුණු සහිතව ඇය සිය ව්‍යාපාරය ලියාපදිංචි කරන්න පෙළඹුණා. අභියෝග හමුවේ වුණත් එය අනාගතය කෙරෙහි තීරණාත්මක තීන්දුවක් බවට පත්වුණා.
ව්‍යාපාරික ලෝකයට මේ විදියට ක්‍රමයෙන් අවතීර්ණ වුණත් තොරතුරුතාක්ෂණ ක්ෂේත්රයේ ඉහළ සුදුසුකම් සහිත මෘදුකාංග ඉංජිනේරුවරියක් විදිහට සුභාෂිණී ෆොන්සේකා සේවය කොට තිබෙනවා. පළමුව වැඩ කළ ආයතනයෙන් ඉවත් වෙලා නිදහස් වෘත්තිකයෙක් ලෙස සේවය කරන්න තීරණය කිරීමත් අලුත් ව්‍යාපාරයට ඇයට ශක්තියක් වූ බව කියැවෙනවා. කොහොම නමුත් අදටත් ඇය මේ ව්‍යාපාරයට සමගාමීව සිය වෘත්තිය කටයුතුවලත් නිරත බව අප සමඟ සඳහන් කළා.
“පහුගිය කාලේ මේ හා සම්බන්ධ මගේ දැනුම වර්ධනය කරගන්න මම කාර්මික සංවර්ධන මණ්ඩලයත් එක්ක එකතු වුණා. විෂය සම්බන්ධ මට තිබුණේ මූලික දැනුමක්. ඒ නිසාම විවිධ වැඩසටහන්වලට එකතු වෙමින් මම දැනුම එකතු කරගත්තා. ගන්නෝරුව ආහාර පරීක්ෂණ ඒකකය, හදබිම අධිකාරිය වගේ ආයතනත් ඒ සඳහා උදව් කලා. කේක් විතරක් නෙවෙයි තවත් රසකැවිලි වර්ග නිෂ්පාදනය පිළිබඳ ඉගෙන ගැනීම සඳහා මට අවස්ථාව උදා වුණා."
පියවරෙන් පියවර ඉදිරියට එන ව්‍යවසායිකාවකගේ ලක්ෂණ පෙන්නුම් කරමින් සිය දැනුම වර්ධනය කරගැනීමේ ක්රියාන්විතයකට අවතීර්ණ වීම, ඇගේ කතාව තුළ අප සලකුණු කොට තැබිය යුතු අවස්ථාවක්.
මේ වන විටත් ඇය කාර්මික සංවර්ධන මණ්ඩලය වැනි ආයතන සමඟ එකතු වී සිය ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු රුසක නියැලී සිටිනවා.
“තත්ත්ව සහතික, කලර් කෝඩ් ආදිය ලබාගැනීම පිළිබඳව මේ වෙනකොට මම කටයුතු කරමින් යනවා."
ආරම්භයේදී තමන්ගේ නිවස තුළමයි සුභාෂිණී සිය නිෂ්පාදන කටයුතු සිදු කළේ. පසුව නිවසේම වෙනත් කොටසක් ඇය මේ වෙනුවෙන් වෙන් කරන්න කටයුතු කොට තිබෙනවා. ක්‍රමයෙන් ව්‍යාපාරය දියුණු වීමත් සමඟම ව්‍යාපාරය සඳහා අවශ්‍ය උපකරණත් මිලදී ගන්න තමා කටයුතු කළ බවත් සුභාෂිණී සඳහන් කළා.
“පටන් ගත්තේ කේක්වලින් වුණාට මේ වන විට තවත් රසකැවිලි වර්ග අපි නිෂ්පාදනය කරනවා. මේදය සීනි අවම ඉහළ ප්‍රමිතියකින් යුතු සෞඛ්යාරක්ෂිත නිෂ්පාදනවලට තමා දැන් අපි ප්‍රමුඛතාවය ලබා දෙන්නේ. අපි හැම නිෂ්පාදනයක්ම සිදු කරන්න යන්නේ නැහැ. යම් ප්‍රමිතියක් ස්ථාවරව පවත්වාගෙන යන්න තමයි උත්සාහ කරන්නෙ. ඒ නිසාම අපේ නිෂ්පාදන සඳහා විශේෂිත පාරිභෝගික පිරිසක් ගොඩනැගිලා තියෙනවා."
The Flavoured Cake Wold මේ දිනයට වෙළෙඳපොළ කරා ගමන් කරන්නේ "Ceylon Famous" නම් සන්නාමය යටතේ. සුභාෂිණී ෆොන්සේකා අප සමඟ සඳහන් කළේ, දැනට පවතින තත්ත්වය තුළ ස්ථාවර වෙමින් පියවරෙන් පියවර ඉදිරියට යාම වඩාත් සුදුසු බවයි.
“පසුගිය කර්මාන්ත ප්‍රදර්ශනයටත් මම සහභාගි වුණා. ඒ හරහා අලුත් වෙළෙඳපොළවල් වෙත ප්‍රවේශ වෙන්න වගේම, සබඳතා ඇතිකර ගන්නත් අවස්ථාව ලැබුණා."
මේ වන විටත් IDB “ලක් අම්මා" වැනි වෙළෙඳපොළවල් වෙත ප්රවේශව සිටින සුභාෂිණී නව වෙළෙඳපොළවල් සොයා යමින් පාර්ශ්ව කිහිපයක් සමඟ සාකච්ඡා කරමින් සිටින බව අප වෙත සඳහන් කළා. දැනට ඇගේ ප්‍රධානතම වෙළෙඳපොළ තිබෙන්නේ සමාජ මාධ්‍ය අවකාශය තුළ. එහෙත් ඒ වෙළෙඳපොළ ඉදිරියේදී වඩාත් පුළුල් වීමට නියමිතයි.
“ව්‍යාපාරය ගොඩනැගෙද්දි විවිධ බාධා ආවා. තරගකරුවනුත් හිටියා. ඒත් මම ඒවායින් නතර වුණේ නැහැ. මට අවශ්‍ය එකපාරට ඉහළට යනවට වඩා පියවරෙන් පියවර ඉදිරියට යන්න. එතකොට යම් අවස්ථාවක බිඳවැටීමක් සිද්ධ වුණත් මම දන්නවා මම ඉන්න තැන."
ඉදිරි වසරේදී තීරණාත්මක ගමනක් සඳහා මේ වන විටත් "Ceylon Famous" සන්නාමය යටතේ සුභාෂිණී ෆොන්සේකා සූදානමින් සිටිනවා. දැනටත් මෙම සන්නාමය ලියාපදිංචි කොට ඒ හරහා වෙළෙඳපොළ වෙත අවතීර්ණ වීමට ඇය කටයුතු කොට අවසන්. ඉදිරි වසර තුළදී තත්ත්ව සහ ප්‍රමිති සහතික ලබාගනිමින් පුළුල් කර්මාන්තමය ප්‍රවේශයක් සඳහා අවතීර්ණ වීමට සුභාෂිණී ෆොන්සේකා සූදානම්.
ජීවිතයේ විවිධ මාවත් ඇති බවත්, ව්‍යවසායකත්වය යනු ඔබේ ජීවිතය වෙනස් කළ හැකි මාවතක් බවත් මේ කතාව හරහා සුභාෂිණී ෆොන්සේකා අපිට කියා දෙනවා. යමකට ආසා කරනවා නම්, හැකියාව පවතිනවා නම් එය ව්‍යාපාරයක් බවට පරිවර්තනය කර ගැනීමට ඔබට අවශ්‍ය වන්නේ නිසි සැලසුමක් සහ මගපෙන්වීමක් පමණයි. එය ප්රායෝගිකවම අවබෝධ කරගන්නට මේ කතාව අපූරුආදර්ශයක්.
• චමිඳු නිසල් ද සිල්වා