පසුගිය කාලය පුරාවටම රටේ ජනතාව මත විවිධ බදු පනවමින් රටේ ආදායම වැඩිකර ගැනීමට ආණ්ඩුව පියවර ගත්තේය. එලෙස බදු වැඩි කිරීමට සහ අලුතින් බදු හඳුන්වා දීමට සිදුවූයේ රට බංකොළොත් වීම නිසා යැයි ආණ්ඩුව ප්‍රකාශ කළේය. පසුගිය ජනවාරියේ සිට සියයට 15% ක්ව තිබූ වැට් බද්ද 18 දක්වා වැඩි කළ අතර එතෙක් වැට් බදු අය නොකළ බොහෝ භාණ්ඩ සඳහා ද වැට් පැනවිණි.
බදුවලට අමතරව විදුලි ගාස්තු, ජල ගාස්තු ඉන්ධන ආදි සියල්ලේම මිල වැඩි කළ අතර ජනතාවට සිදුවූයේ කබලෙන් ලිපට වැටීමටය. එදා වේල් තුනක් කෑ පිරිස වේල් දෙකට බැස්සෝය. වේල් දෙකක් කෑ පිරිස එක් වේලකට බැස්සෝය. ආණ්ඩුව ධනවතුන්ගෙන් නිසි පරිදි බදු අයකර නොගෙන සාමාන්‍ය ජනතාවගෙන් බදු අය කර ගන්නා බවට ජනතාව චෝදනා කරයි.
ජනතාව මත කිසිදු බද්දක් වැඩි නොකර රටේ ආදායම සියයට 50 කින් ඉහළ නැංවිය හැකි යැයි පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන පරිදි ව්‍යාපාරිකයන්ට බදු සහන දීම මත මේ වන විට ආණ්ඩුව අහිමි කරගෙන ඇති බදු ප්‍රමාණය බිලියන 978 කි. මෙයින් බිලියන 534ක් වැට් බදුය. බිලියන 335ක් රේගු බදුය. ඉතිරිය පෞද්ගලික ආදායම් බදු සහ ව්‍යාපාර බදුය.
මෙලෙස අහිමිව ඇත්තේ රටේ ඉහළම ආදායම් ලබන 10% ක් වැනි පිරිසකගෙන් අයකර ගැනීමට තිබූ මුදලකි. අහිමි වූ බදු ප්‍රමාණය පසුගිය වසරේ ආණ්ඩුවට හිමිවූ සමස්ත බදු ආදායමෙන් 40% වැනි ප්‍රමාණයකි. ව්‍යාපාරිකයන්ට බදු සහන තවදුරටත් ලබා දිය හැකි දෙයක් නොවේ. එමෙන්ම වසර ගණනක් මුළුල්ලේ බදු ගෙවිය යුතු විශාල පිරිසක් බදු ගෙවීම පැහැර හැර තිබේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව එම බදු අය කර ගැනීමට අසමත්ව සිටියි.
පාකිස්තානය බඳු රටවල බදු පැහැර හරින්නන් හට සිම් කාඩ්පතක් හෝ ලබා ගැනීම දුෂ්කරය. ශ්‍රී ලංකාවේ බදු ගෙවීම පැහැර හරින්නන්ගෙන් බදු අයකර ගැනීම සඳහා නිසි පියවර ගෙන නොමැත. මෙලෙස බදු නොගෙවන පිරිසෙන් ලැබිය යුතු ආදායමද පසුගිය වසරේ හිමි වූ බදු ප්‍රමාණයෙන් 50% කට ආසන්න ප්‍රමාණයකි.
2016 දී ඉන්දියාව යූපීඅයි ක්‍රමය (Unified Payment Interface) හඳුන්වා දුන්නේ පුද්ගල ආදායම හා වියදම නිසි පරිදි වාර්තා කර ගැනීමේ අරමුණිනි. මේ ක්‍රමවේදය අනුව සියලු පුද්ගලයන් ගනුදෙනු කළ යුත්තේ බැංකු ගිණුම් හෝ කිව්ආර් හෝ ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් වැනි ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයකටය. මෙවැනි ක්‍රමවේදයක් තුළින් පුද්ගලයන්ගේ ආදායම් වියදම් යම් පමණකින් වාර්තාකරණයකට ලක් කළ හැකිය. මෙම ක්‍රමය තුළින් ඉන්දියානු රජය තම ආදායම තුන් ගුණයකින් පමණ ඉහළ දමා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාවේද පුද්ගලයන්ගේ ආදායම හා වියදම එලෙස නිවැරදිව වාර්තාගත වුවහොත් අනිවාර්යයෙන්ම රටේ ආදායම දෙගුණ කරගත හැකි යැයි පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා දේශයට ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ බදු ගෙවිය යුතු පිරිසෙන් සියයට 50ක් වැනි පිරිසක් බදු නොගෙවති. ඊට ප්‍රධාන හේතුව ඔවුන්ගේ ආදායම් වියදම් නිසි පරිදි වාර්තා නොවීමය. සෑම පුද්ගලයකුටම බැංකු ගිණුමක් පවතී නම්, සියලු ගනුදෙනු බැංකු හරහා සිදුවන්නේ නම්, පුද්ගලයන්ගේ ආදායම සහ වියදම වාර්තාගත වීමක් සිදුවන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
දැනට පවතින බදු ලිපිගොනු සංඛ්‍යාව ලක්ෂ 10ක් පමණ වේ. මේ පිරිස අතුරින් රුපියල් කෝටියකට අධික බදු ප්‍රමාණයක් ගෙවීම පැහැර හැර ඇති පිරිස 4200ක් පමණ සිටිති. මෙම තොරතුරු අනාවරණ වූයේ පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව මගින් කළ විමර්ශනවලදීය. සුරාබදු දෙපාර්තමේන්තුවට බදු ගෙවීමට ඇති සමාගම්වලින් තවමත් බදු අය කර ගැනීමට අපොහොසත් වී තිබේ. 2023 වසරට අදාළ රුපියල් බිලියන 1.1 ක හිඟ බදු මුදල් සම්පූර්ණයෙන්ම අය කරගන්නා ලෙසට ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව විසින් කරන ලද නිර්දේශය සුරාබදු දෙපාර්තමේන්තුව පැහැර හැර ඇති බව පසුගියදා පැවති පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණ විය.
එසේ වීමට හේතු ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව දක්වා ඇත්තේ ඒවා අයකර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයෙන් විමසා සිටියද මේ වන තෙක් එයට ප්‍රතිචාරයක් ලැබී නොමැති බවටය.
එලෙස සුරාබදු නොගෙවන ලද සමාගම් අතර ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සමාගමෙන් 2024 ජුනි 15 දින දක්වා අයවිය යුතු හිඟ බදු රුපියල් මිලියන 1659 කි. හිඟුරාන ඩිස්ටිලරීස් සමාගමෙන් අයවිය යුතු හිඟ බදු මිලියන 102 කි. සිනර්ජි ඩිස්ටිලරීස් සමාගමෙන් අයවිය යුතු හිඟ බදු ප්‍රමාණය රුපියල් මිලියන 38 කි. වයඹ ඩිස්ටිලරීස් රෝයල් සිලෝන් සමාගමෙන් අයවිය යුතු හිඟ බදු මුදල රුපියල් මිලියන 69 කි.
මෙවැනි ආයතනවලින් අයකර ගැනීමට ඇති විශාල බදු ප්‍රමාණය අය කර ගැනීමෙන් තොරව සාමාන්‍ය ජනතාවගේ පාරිභෝගික ද්‍රව්‍යවලින් අධික ලෙස බදු අය කිරීම අසාධාරණ නොවේද? මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ රටේ බදු ප්‍රතිපත්තිය සමාජ සාධාරණ බදු ප්‍රතිපත්තියක් විය යුතු බවටය. ඒ සඳහා සියලුම පුද්ගලයන්ගේ ආදායම් සහ වියදම් වාර්තා කරගත හැකි ක්‍රමවේදයක් සැකසිය යුතු බවටය.
දැනට මෙරට ක්‍රියාත්මක ඩිජිටල් සේවාවලින් මෙන්ම ඌබර් වැනි ප්‍රවාහන සේවාවලින් බදු අයකර ගැනීම අපහසු යැයි රණවක මහතා පෙන්වා දෙයි. වෙනත් රටවල ඩිජිටල් සේවාවලින් 15% ක බද්දක් අය කරනු ලැබුවද මෙහි එය නිසි පරිදි ක්‍රියාත්මක නොවන අතර ශ්‍රී ලංකාවේ ද ඉන්දියාවේ මෙන් ඒකාබද්ධ ගෙවීම් ක්‍රමවේදය ක්‍රියාත්මක කළහොත් මේ සියලු බදු අය කරගත හැකි බවද ඔහු සඳහන් කරයි.
රේගුවට අයවිය යුතු බදුවලින් වැඩි ප්‍රමාණයක් රජයේ ආයතන මගින් ගෙවීමට ඇති බදු යැයි මන්ත්‍රීවරයා සඳහන් කරයි. එමෙන්ම රේගුව හරහා සිදුකෙරෙන ගනුදෙනුවලදී සිදුවන සාවද්‍ය ඉන්වොයිසි හේතුවෙන් වර්ෂයකට ඩොලර් බිලියන 4ක පමණ අහිමිවීමක් ආණ්ඩුවට සිදුවන අතර ඇතැම් ආනයනකරුවන් තාවකාලික බලපත්‍ර මත ආනයනය කිරීම මත ද බදු අහිමිවීමක් සිදුවන බව ඔහු සඳහන් කරයි.
ආදායම් වැඩි කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මෙන්ම රටේ බොහෝ ආයතන සඳහා ඩිජිටල් යටිතල පහසුකම් හඳුන්වා දිය යුතු බවට නිර්දේශ වී ඇති අතර ඒ සඳහා ප්‍රධාන ක්‍රමවේද තුනක් යෝජනා වී තිබේ. ඉන් පළමුවැන්න යූපීඅයි හෙවත් ඒකාබද්ධ ගෙවීම් ක්‍රමවේදයයි. දෙවැන්න මෙරටට ආනයනය කෙරෙන ආහාර, ඖෂධ, ඉන්ධන සහ පොහොර ආනයනය කිරීමේදී එය ප්‍රසම්පාදන වේදිකාවක සිදු කළ යුතු බවටය. එවිට ඒවායේ මිල ගණන් මහජනතාවට අනාවරණ වේ. තෙවැන්න රාජ්‍ය සේවාවන්ය. පුද්ගලයන්ට රාජ්‍ය සේවාවන් තුළින් ලබාගැනීමට අවශ්‍ය උප්පැන්න සහතික, ග්‍රාමසේවා සහතික, ඔප්පු, ගමන් බලපත්‍ර, ජාතික හැඳුනුම්පත ආදී අවශ්‍යතා ඔන්ලයින් ක්‍රමයට ලබා දීමට කටයුතු කිරීම එහි අරමුණය. එවිට විවිධ පුද්ගලයන් හට අල්ලස් දීමට අවශ්‍ය නොවන අතර නිසි වේලාවට තමන්ගේ අවශ්‍යතාව ඉටු කරගත හැකිය. එමෙන්ම රාජ්‍ය අංශය ද පිරිසුදු වීමක් සිදු වේ.
ශ්‍රී ලංකාවේ සමස්ත බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව මුළු ජනගහනයෙන් 3% කි. නමුත් රටේ මූල්‍ය ක්‍රියාවලියට අයත් නොවන, අවිධිමත් අංශය (බැංකු ප්‍රකාශන, රිසිට් පත් ආදිය නොමැතිව ගනුදෙනු කරන පිරිස) 45% ක් බවට හඳුනාගෙන ඇත. ඔවුන් ද බදු ක්‍රමයට ඇතුළත් කරගත යුතු බවට ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව නිර්දේශ කර තිබේ.
• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා