2024 ජුලි 20 වන සෙනසුරාදා

මහජන ආධාර (පිංපඩිය) ලබා ගන්නේ කොහොමද?

 2024 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 32

විධිමත් විශ්‍රාම සැලසුම් ක්‍රමවේදයක් නොමැතිකම නිසා පීඩා විඳින මෙරට වැඩිහිටි ප්‍රජාව ලක්ෂ සංඛ්‍යාතය. රජයේ රෝහල් හරහා ඇවිද යන ඕනෑම මොහොතක මෙම නිරස සත්‍ය අවබෝධ කොට ගැනීම පහසු නැත. මහමගදී මෙන්ම පොදු ප්‍රවාහන සේවා තුළ විවිධ හේතූන් මත හුදෙකලා වූ සහ ආර්ථික පීඩනයෙන් මිරිකී සිටින වැඩිහිටි ප්‍රජාව අප හට හමුවේ. 

මෙම පිරිස් වෙත රාජ්‍ය මට්ටමින් දැනට පවතින ප්‍රතිපාදන අනුව ලබාගත හැකි සහන ඇතත් ඔවුන් අතරින් බහුතරය ඒ පිළිබඳ දැනුවත් නැත. අද අප "ජන මෙහෙවර" තුළින් උත්සාහ දරන්නේ වැඩිහිටි ප්‍රජාව හට ලබාගත හැකි සහන පිළිබඳ යම් දැනුම්වත්භාවයක් ඔබ තුළ ඇති කිරීමටයි. මෙම ප්‍රතිපාදන පිළිබඳ සහ එහි ප්‍රමාණවත්භාවය පිළිබඳ ගැටලු ඇතත් අපි එම සංවාදය පසුවට කල් තබමු. අප අවධානය දැනට පවතින සහන සේවා සහ සහනාධාර පිළිබඳවයි.

පිං පඩිය (මහජන ආධාර) 

මහජන ආධාර නමින් මේ වන විට හඳුන්වන ආධාර වැඩසටහන යටතේ මෙම දීමනාව සඳහා වැඩිහිටි ප්‍රජාව සුදුසුකම් ලබති. මහජන ආධාර වැඩසටහනට වැඩිහිටියන්ට අමතරව තවත් අඩු ආදායම්ලාභී සහ ආබාධිත පිරිස් හිමිකම් කියති. විවිධ පදනම් මත පිරිස් වර්ගීකරණය කර ඇති අතර, ඔවුන්ගේ සුදුසුකම් පිරික්සා බලා අදාළ දීමනා ලබාදීමට කටයුතු සකස් වේ.
මහජන ආධාරවල අරමුණ
අඩු ආදායම් හා විශේෂ සහන අවශ්‍ය පවුල් සඳහා යැපීම් දීමනාවක් ලබාදීම.

අවශ්‍ය සුදුසුකම්

• මාසික ආදායම රු. 1500 ට වඩා අඩුවීම.
• වයෝවෘද්ධ වීම.
• ශාරීරික හා මානසික දුබලතාවයන්ගෙන් පෙළීම.
• වැන්දඹු, ස්වාමියා අත්හල, ස්වාමියා සුව කළ නොහැකි රෝගයකින් පෙළෙන හා ස්වාමියා සිරගත වූ කාන්තාවක් වීම.
• අවු 16 ට අඩු අනාථ හා ශාරීරික මානසික ආබාධ සහිත දරුවන් වීම.

අවශ්‍ය ලිපි ලේඛන

• ආධාර ලබාගැනීමට බලාපොරොත්තු වෙන පුද්ගලයා හෝ ඔහු වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් ලිපිය.
• ආබාධ තත්ත්වයක් සහිත නම් ශාරීරික හා මානසික රෝගීන් සඳහා වන වෛද්‍ය වාර්තාව.

• ග්‍රාම නිලධාරී/ සමාජ සේවා නිලධාරී නිර්දේශය සහිත ස.සේ.ම.ආ. (1)/ (02) ආකෘතිය.

අධීක්ෂණ ක්‍රමවේදය 

එහිදී පිං පඩි ලෙසින් හඳුන්වනු ලැබූ මෙම දීමනා මේ වන විට මහජන ආධාර ලෙසින් හඳුන්වනු ලබයි. මෙම සියලු දීමනා නිලධාරිවරයාගේ සහ ග්‍රාමීය මට්ටමින් සිටින සෙසු ක්ෂේත්‍ර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ තහවුරු කොට ගෙවීම සිදුවේ. අදාළ ලියාපදිංචි වීම සහ ලිපි ලේඛන කටයුතු ග්‍රාම නිලධාරී හමුවී සිදුකොට ගත යුතුය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සුබසාධන අංශය වෙතින් ද වැඩිදුර තොරතුරු ලබාගැනීමේ හැකියාවක් පවතී.

වැඩිහිටි දීමනාව 

වයස අවුරුදු 70 සම්පූර්ණ කරන ලද මාසික ආදායම රු. 3000.00 ට අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ගේ ජීවිතයේ සැඳෑ සමය සවිබලගැන්වීම සඳහා රු. 2000 දීමනාව ලබාදීම සිදුවේ. අස්වැසුම වැඩසටහන හඳුන්වාදීමත් සමඟ ඊට අනුබද්ධව මේ වන විට වැඩිහිටි දීමනාව ලබාදීමට කටයුතු සකස් කොට ඇති බව පසුගිය දිනවලදී බලධාරීන් පවසා තිබුණි.

වැඩසටහනට ඇතුළත් වීම 

ග්‍රාම නිලධාරී හරහා හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මෙම වැඩසටහනට ඇතුළත් වීමේ හැකියාව පවතී. කෙසේ වෙතත් මේ වන විටත් අදාළ ලැයිස්තු පිළියෙළ කොට ඇති අතර, අලුතින් වැඩසටහන සඳහා පිරිස එකතු කර ගැනීමේදී වගකිවයුතු නිලධාරීන් විසින් අවශ්‍ය ඇගයීම් සිදු කරනු ලබති. 

වැඩිහිටියන් සඳහා වන තවත් සහන

ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධ කොට ගනිමින් රුකවරණය රහිත වැඩිහිටියන් වැඩිහිටි නිවාස වෙත ඇතුළත් කිරීමේ හැකියාව පවතී. එසේම ආබාධිත අය සඳහා අවශ්‍ය උපකරණ ලබාගැනීමට ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා නිර්දේශ ලබාගැනීමට හැකියාවක් ඇත. මේ පිළිබඳ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අදාළ නිලධාරීන් හරහා තොරතුරු විමසිය යුතුය. 

විශේෂයෙන් දැනගන්න

පසුගිය කාලයේ මෙම වැඩසටහන් යාවත්කාලීන කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ. මේ හා සම්බන්ධ දත්ත පද්ධතියක්ද පවත්වාගෙන යාමට කටයුතු කරන බව ඔවුහු සඳහන් කළහ. 
මහජන ආධාර වැඩසටහන වැඩිහිටි දීමනාව සහ පිළිකා රෝගීන් සඳහා වන ආධාර ද ග්‍රාම නිලධාරීවරුන්ගේ නිර්දේශය මත නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් තෝරාගත් පිරිස් සඳහා ලබාදීමට කටයුතු සකස් කොට තිබේ. මේ සඳහා ගිණුම් ආරම්භ කොට ඇති අතර මෙම ගිණුම් වෙත අදාළ ආධාර යොමු කිරීමටද කටයුතු සකස් කොට ඇත. අස්වැසුම ලබන පවුල්වල වැඩිහිටියන් වෙත වැඩිහිටි දීමනාව නිරායාසයෙන් ලැබෙන ක්‍රමවේදයක්ද සකස් කරමින් පවතී. ඒ අනුව මෙම වැඩසටහන් සඳහා ඇතුළත් වීමේ අවශ්‍යතාවයක් ඇත්නම් ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධ කර ගනිමින් වැඩිදුරටත් තොරතුරු විමසීම සිදු කළ යුතුය.

• චමිඳු නිසල් ද සිල්වා