2024 ජුලි 27 වන සෙනසුරාදා

සිනමාහල්වලට මොබයිල් ෆෝන් තහනම්ද?

 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:05 90

සිනමා ශාලාවලට ඇතුළු වීමේදී ජංගම දුරකථන ගෙන යාම තහනම් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් මේ වනවිට කරළියට පැමිණ තිබේ. එසේ යෝජනා කරනුයේ අන් කවුරුවකුත් නොව චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ නියෝජිත පිරිසකි. ඔවුන් පවසනුයේ සිනමා ශාලාවලට ජංගම දුරකථන ගෙන යාම වළක්වාලමින් නව නීතියක් චිත්‍රපට සංස්ථාව ප්‍රතිපාදන සකසමින් පැනවිය යුතු බවයි. එසේම පසුගිය කාලයේදී වූ සමහර සිදුවීම් හේතුවෙන් මෙම යෝජනාව තම සංගමය කරන බවද ඔවුහු පවසති. 

බට පඳුරට ඇවිළුණු ගින්නක් සේ පැතිරුණු මෙම කාරණය සම්බන්ධයෙන් සමාජයේ වැඩි කතාබහක් නිර්මාණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීමට මම උත්සාහ කළෙමි. 

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක මහතාගේ සිංහබාහු චිත්‍රපටයේ අනවසර පිටපතක් යූටියුබ් නාලිකාවක සංසරණය වීම මෙම කථිකාව සැකසීමට ආසන්නතම හේතුව වී තිබෙනු දැකිය හැකිය. 

“සිංහබාහු චිත්‍රපටයේ අනවසර පිටපතක් යූ ටියුබ් නාලිකාවක සංසරණය වන බවට එය මුදාහැර සුළු මොහොතකින් අප දැනුවත් වුණා. ඒ වෙලාවෙම අපි කොළඹ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් යොමු කළා. ඒ  අනුව ක්ෂණිකවම ක්‍රියාත්මක වෙලා සොයා බැලීමේදී සැකකරු මහනුවර ප්‍රදේශයේ පුද්ගලයකු බවට හඳුනාගෙන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කළා. මේ සම්බන්ධයෙන් 24 වැනිදා මෙම නඩුව යළි විභාග කළා. ” 

අප කළ විමසීමේදී සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ විධායක සභික ආචාර්ය සෝමරත්න දිසානායක පැවසූයේ එසේය. ගෝලීයකරණය වූ සමාජයක ජංගම දුරකථනය ජනතාවට අත්‍යවශ්‍ය උපාංගයක් බවට පත් වී හමාර බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එහෙත් දියුණු සමාජයක මිනිසා භෞතික වශයෙන් දියුණු වෙද්දී ආධ්‍යාත්මික වශයෙන් ද දියුණු තත්ත්වයකට පත්විය යුතුමය‍. 

මෙම ගැටලු හේතුවෙන් සිනමා ශාලාවට දුරකථනය, කැමරාව ගෙන යාම තහනම් කිරීමෙන් පමණක් මෙම අනීතික ක්‍රියා වැළැක්වේවිද යන්න සමාජය හමුවේ මතුවන ප්‍රශ්නයකි. විනයවත් සිනමා කර්මාන්තයක් බිහි කරලීමෙහිලා එයට උර දෙන විනයවත් සිනමා නිර්මාණකරුවෝ විශාල පිරිසක් අපේ රටේ සිටිති. 

වර්තමානයේ මතුව ඇති තත්ත්වය ගැන දැනුවත් කිරීම සඳහා පසුගියදා මාධ්‍ය හමුවක් පැවති අතර ශ්‍රී ලංකා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදය නියෝජනය කරමින්  මෙරට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙක්ද එහිදී  අදහස් දැක්වූහ.
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ජයන්ත චන්ද්‍රසිරි මහතා පැවසූයේ මොනම හේතුවක් නිසාවත් සිනමා ශාලාවලට ජංගම දුරකථන ගෙන යාම තහනම් කිරීමට නීතියක් සම්පාදනය කළ යුතු බවයි. ඔහු එහිදී මෙසේද පැවසුවේය.

“සිනමා ශාලාවට ප්‍රේක්ෂකයන් ඇතුළු කරගද්දී ජංගම දුරකථන ගෙන යාම සම්පූර්ණයෙන් තහනම් කරන්න ඕනෑ. ඒ වගකීම සිනමා ශාලා දරන්න වෙනවා. ඒ පිළිබඳ නිල නිවේදනයක් සංස්ථාවෙන් නිකුත් වෙන්න ඕනෑ. මම මේ කියන්නේ මේ අවස්ථාවේ කරන්න පුළුවන් පිළියම. මේ චිත්‍රපට සේරම අනතුරකට ලක්වුණොත්  අපේ රටේ නිෂ්පාදකවරුන් කියලා පිරිසක් නැතුවම යයි. මෙතරම් අවදානමක් තියෙන කර්මාන්තයකට ආයෝජනය කරන්නේ මොකටද කියලා ඔවුන් සිතනවා.” 
චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංසදය නියෝජනය කරමින් අනුරාධ බී. රැකව මහතා එහිදී මෙසේ පැවසුවේය.

“වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වය මීට පෙරත් කිහිප අවස්ථාවකදීම ඇතිවෙලා තියෙනවා. අවම තාක්ෂණය තිබුණු යුගයේදීත් විශාල කැමරා ගෙන ගොස්  චිත්‍රපට ශාලා ඇතුළේ වීඩියෝ කර ඩීවීඩි කර විකුණන තත්ත්වයක් අපේ රටේ තිබුණා. ඒ අවස්ථාවලත් ඒ ක්‍රියා මැඩපැවැත්වුවා. වර්තමානයේ අපි සතුටු වෙන්න ඕනෑ තාක්ෂණය දියුණු නිසා මෙවැනි අවස්ථාවල ක්ෂණිකව සැකකරුවන් අත්අඩංගුවට ගන්න හැකිවීම ගැන. එක්තරා කාලයක මගේ චිත්‍රපටයක් ඩීවීඩි ගහලා මල්වත්තේ වැහි වැහැලා තිබුණා. මම ඒ කාලයේ කොටුව පොලිසියට ගිහින් පැමිණිලි කළා. ඒ දවස්වල අනුර සේනානායක මහතාගේ අංශයක් තිබුණා පොලිසියේ. ඔහු මට කිව්වා ඔබතුමා ගිහින් ඒ කඩවල නම් ටිකයි අයිතිකරුවන්ගේ නම් ටිකයි ලියාගෙන එන්න කියලා. මම මගේ ජීවිතේටයි මගේ පවුලටයි ආදරේ නිසා ඒවා හොයන්නෙ නැතුව ගෙදර ගියා. වර්තමානයේ බුද්ධිමය දේපල නීතිය ඉදිරියට ඇවිත් තියෙනවා. අපි ඒක දියුණු කරලා ඒ හරහා මෙවැනි ක්‍රියා නවත්වන්න කටයුතු කරන්න අවශ්‍යයි. අපිට මේක කරන්න පුළුවන් මිනිසුන් දැනුවත් කිරීමෙන්ම පමණයි.” 

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරයකු වන උදයකාන්ත වර්ණසූරිය මහතා පැවසූයේ නීතිවිරෝධී ක්‍රියා නැවැත්වීමට හැකි වන්නේ ජනතාව නිවැරැදි දේ ගැන දැනුවත්වීමෙන් බවයි. 

මෙම නව යෝජනාව සම්බන්ධයෙන් ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරයකු වන ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාගේ අදහස මෙසේයඃ 

“චිත්‍රපටයක් බලන්න සිනමා ශාලාවකට යන ප්‍රේක්ෂකයකුට  තමන්ට අවශ්‍ය පරිදි චිත්‍රපටයක් බලන්න නිදහස තියෙන්න ඕනෑ. දුරකථන තහනම් කරලා නීති රීති දාලා ප්‍රේක්ෂකයන් ගෙන්වා ගන්න හදනවා නම් එහෙම නීතිරීතිවලට එකඟවෙලා ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවලට එයිද කියලත් මට සැකයක් තියෙනවා. නීතිරීති යටතේ සිනමා ශාලාවලට එන්න අපි කැමති වෙන්නේ නෑනෙ. මගේ අදහස එහෙම නීතිරීති දාන්න හොඳ නෑ කියලයි. ඒ වගේම තමයි සිනමා ශාලාවලට පැමිණෙන  ප්‍රේක්ෂකයන්ට ස්වයං විනයක් තියෙන්න ඕනෑ. ඒක අනිවාර්යයි‍.”

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරයෙක් මෙන්ම ප්‍රවීණ රංගධර ගිරිරාජ් කෞෂල්‍ය මහතා මෙසේ පැවසුවේයඃ

“මගේ අදහස නම් මේ ප්‍රශ්නයට ඒක සාර්ථක විසඳුමක් නෙමෙයි. අපි හැමෝම මිනිස්සුනෙ. අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. මිනිස්සු නිතරම විවිධ ප්‍රශ්නවල ඉන්නේ. නිවසේ කාටහරි හදිසි කරදරයකදී අවශ්‍යතාවකදී වුණත් සිනමා ශාලාවකට යන පවුලේ කෙනකුට ක්ෂණිකව කතා කරන්න පුළුවන් වෙන්න ඕනෑ. කලා නිර්මාණයක් රසවිඳින්න නිදහසක් තියෙන්න ඕනෑ. ඒ වගේම තමයි කලා නිර්මාණයක් රස විඳිනවා වගේම ඒ රසවිඳින්නාට ස්වයං විනයක් තියෙන්නත් ඕනෑ. ඒ විනය අපේ රටේ හැදෙන්න වැඩපිළිවෙළක් සැකසෙන්න අවශ්‍යයි‍.” 

මෙරට සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයකු මෙන්ම සිනමාව සම්බන්ධයෙන් ආචාර්යවරයකු වන සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය.

එසේම තවත් එක්තරා සිනමා අධ්‍යක්ෂවරයකුගෙන් කළ විමසීමකදී ඔහු පැවසූයේ අපේ රටේ මීට වඩා ප්‍රශ්න ඇති බවත් ඒ නිසා මේක මහා ලොකු ප්‍රශ්නයක් කර නොගත යුතු බවත් මේවාට උත්තර දීමට තමන්ට නොහැකි බවත්ය. ඔහු දුන් පිළිතුරේ කිසිදු ගැටලුවක් මට නොවීය. එහෙත් එසේ පැවසූ ඔහු මාගේ ඇමතුම මට නොදන්වාම විසන්ධි කර දැමුවේය. ඒ අවස්ථාවේදී මට දැනුණේ සිනමා ප්‍රේක්ෂකයන්ගේ විනය සැකසීමට එහා ගිය දේ තවත් ඇති බවයි.

කෙසේ වෙතත් සිනමාවේ උන්නතිය උදෙසා සිනමා කර්මාන්තය ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය සාධකයකි. ඒ සඳහා රාජ්‍ය මට්ටමින් මැදිහත් වී විධිමත් වැඩපිළිවෙළක් අනුව ක්‍රියා කළ යුතු බව මගේ අදහසයි. එමෙන්ම 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත අනුව නිර්මාණයක ප්‍රකාශන අයිතිය අහිමි කරමින් එහි අනුපිටපත් ව්‍යාජ ලෙස සකස් කර බෙදාහැරීම දඬුවම් ලැබිය හැකි බරපතළ වරදක් ලෙස නීතියේ සඳහන් වන්නේය. එහෙයින් උසස් සිනමා රසවින්දනයක් උදෙසා විනයවත් පරපුරක් බිහිකිරීම කඹ දමා බැඳ තබා කළ නොහැකි අතර එය කලාවට ආදරය කරන සංවේදී විනයවත් මෙන්ම වගකීම්සහගත රසික පරපුරක් නිර්මාණය කිරීමකින් පමණක්ම කළ හැකි යැයි මම විශ්වාස කරමි.

• සසංක චලන ගිම්හාන