2024 ජුලි 27 වන සෙනසුරාදා

නෙතන්යාහු ඇමෙරිකාවත් කළඹයි!

 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 18

ගාසා හිතවාදී යුද විරෝධතාකරුවන් වොෂින්ටන් ඩීසී නගරයට කඩා වදිද්දී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කොංග්‍රසය අමතා උණුසුම් දේශනයක් පැවැත්වීය. ගාසා යුද විරෝධීන්ට දරුණු වාග් ප්‍රහාරයක් එල්ල කළ ඔහු “ඇමෙරිකාව සහ ඊශ්‍රායලය තවදුරටත් එක්ව සිටිය යුතු බව අවධාරණය කළේ, හමාස් මුළුමනින්ම වනසා දමා තමන් යුද්ධය දිනන බවට පුරාජේරු කියමිනි.

මැදපෙරදිග ඉරානය විසින් මෙහෙයවනු ලබන "ත්‍රස්තවාදී අක්ෂයට" එරෙහිව එක්සත් ජනපදය, ඊශ්‍රායලයට සහාය නොදක්වන්නේ නම් "ඊළඟට ඉලක්කය ඇමෙරිකාව" බවට මෙහිදී නෙතන්යාහු දැඩි අනතුරු ඇඟවීමක් ද කළේය. "අපේ සතුරන් ඔබේ සතුරන් වන අතර අපගේ සටන ඔබේ සටනයි. අපගේ ජය ඔබේ ජය වනු ඇත." යැයි ඔහු කියා තිබුණි.

එරට පාර්ලිමේන්තුව වූ කැපිටල් ගොඩනැගිල්ල අසල රැස්වූ දහස් ගණන් විරෝධතාකරුවන්ට කැරලි මර්දන පොලිසිය ගම්මිරිස් ඉසින අතර අනෙකුත් විරෝධතාකරුවන් යුනියන් ස්ටේෂන් අසල ඇමෙරිකානු ධජ පුළුස්සා දමනු දක්නට ලැබුණි.

ඇමෙරිකාවේ 47වැනි ජනාධිපති ධුරයට නම කියැවෙන උප ජනාධිපති කමලා හැරිස් සහ වත්මන් ජනපති ජෝ බයිඩෙන් ඒ අවස්ථාව මඟහැර තිබුණා මෙන්ම ඩෙමොක්‍රටික් පක්ෂ නියෝජිතයන් 86කට ආසන්න පිරිසක් මෙහිදී නෙතන්යාහුගේ යුදවාදී ප්‍රකාශ මඟහැර ගොස් තිබුණි. ඉකුත් වසරේ ඔක්තෝබර් 7 වැනි දින හමාස් විසින් ඊශ්‍රායල ජාතිකයන් 1,000 කට අධික සංඛ්‍යාවක් ඝාතනය කළ දා සිට ඊශ්‍රායලය ගාසා තීරයේ ඇරඹි සිය යුද්ධය දිගටම කරගෙන යයි. නෙතන්යාහුගේ ගාසා යුද්ධය හැසිරවීම සම්බන්ධයෙන් රට තුළ ද විරෝධතා-පීඩනය උග්‍ර වෙමින් පවතී. ගාසාවේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන පරිදි පලස්තීනුවන් 40,000 කට ආසන්න පිරිසකගේ ජීවිත මේ වනවිට අහිමි වී තිබේ.

හමාස් සංවිධානය විනාශ කර ගාසා තීරයේ සිර කරගෙන සිටින ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 116 දෙනා නිදහස් කරන තුරු සිය සටන දිගටම කරගෙන යන බවට ඊශ්‍රායලය ප්‍රතිඥා දී ඇත.