2024 ජුලි 27 වන සෙනසුරාදා

ජනාධිපතිවරණ ප්‍රධාන අපේක්ෂකයෝ

 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:03 249

ජනාධිපතිවරණය මෙරට ප්‍රමුඛ දේශපාලන මාතෘකාව වී හමාරය. ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් කවුරුන්ද යන්න පිළිබඳ නිර්මාණය වී ඇත්තේ දැවැන්ත සංවාදයකි. කෙසේ වෙතත් මේ වන විට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීම පිළිබඳව අපේක්ෂකයන් කිහිප දෙනකු සිය අභිමතය ප්‍රකාශයට පත් කොට තිබේ. එසේම තවත් අපේක්ෂකයන් කිහිප දෙනකුගේ නම් පිළිබඳ උද්ගතව ඇත්තේ මතභේදාත්මක තත්ත්වයකි. මෙම සියලු‍ අවුල් වියවුල් ඉදිරියේ සති කිහිපය තුළ නිරාකරණය වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. තත්ත්වය එසේ වුවද හුදී ජනයා තුළ පවතින කුතුහලය සංසිඳුවා ගැනීම ගැනීම උදෙසා, මේ වන විටත් සංවාදයට ලක්වන ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ වගතුග සොයා බැලීමට අපි තීරණය කළෙමු.

මේ වන විට ජනාධිපතිවරණය සඳහා ඍජුවම සිය අභිමතය ප්‍රකාශ කර ඇති පිරිස අතරින් ප්‍රධානියා බවට පත්ව සිටින්නේ වර්තමාන විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය. දැනට පවතින තොරතුරු අනුව ඔහු නායකත්වය දරන සමගි ජන බලවේගය ප්‍රමුඛ සන්ධානයක් යටතේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට අවතීර්ණ වීමට සූදානමින් සිටියි. ඔහු ජනාධිපතිවරණය සඳහා දුරකථනය ලකුණ යටතේ තරග කරනු ඇතැයි කියැවේ.

වර්තමානයේදී කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන සජිත් ප්‍රේමදාස මහතා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පුත්‍රයා වන අතර අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලය සහ ආර්ථික විද්‍යාව හා දේශපාලන විද්‍යාව පිළිබඳ ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් වෙතිනි. 1967 උපන් සජිත් ප්‍රේමදාස මහතා මේ වනවිට 57 වන වියේ පසුවෙයි.

2000 වසරේ එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ සජිත් ප්‍රේමදාස මහතා එතෙක් මෙතෙක් කාලය තුළ තනතුරු රැසක් හොබවා තිබේ. 2019 වසරේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අවසන් ජනාධිපතිවරණ සටනට පිවිසි ඔහු පනස්පන් ලක්ෂ හැට හතර දහසක මනාප ලබා ගැනීමට සමත් වූයේය. ඒ අනුව ඔහු එවර ජනාධිපතිවරණයේ දෙවැනි ස්ථානයට පත් විය. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ පසුව හටගත් නායකත්වය අර්බුදය හේතුවෙන් එයින් බිඳී ගොස් සමගි ජන බලවේගය නම් පක්ෂයට නායකත්වය දෙමින් ක්‍රියාකාරී දේශපාලන කටයුතුවල නිරත වීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළ අතර, ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ දෙවැනි බහුතර කණ්ඩායම වීමට සමත් විය.

මේ වනවිට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සිය අභිමතය ප්‍රකාශයට පත් කර ඇති දේශපාලනඥයන් අතරින් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ නම ද ප්‍රමුඛ සංවාදයට ඇතුළත්ය. 1968 වසරේ උපත ලැබූ දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණ සමඟ සිය දේශපාලන ගමන ඇරඹූ දේශපාලනඥයෙකි. වර්තමානයේදී ඔහු  ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායකත්වය උසුලයි. 2000 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන අනුර දිසානායක ද කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු මීට පෙර චන්ද්‍රිකා කුමාරතුංග රජයක කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කැබිනට් අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය.

2014 වසරේ පැවති ජවිපෙ 7 වැනි ජාතික සම්මේලනයේදී දිසානායක මහතා ජවිපෙ නායකයා ලෙස නම් කර කරනු ලැබීය. ජනතා විමුක්ති පෙරමුණේ සාම්ප්‍රදායික දේශපාලනයේ වෙනස්කම් රැසක් සිදු කරමින් ජාතික ජන බලවේගය නම් සන්ධානය පිහිටුවා ගනිමින් 2019 අවසන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අනුර කුමාර දිසානායක කටයුතු කළේය. එහිදී ඔහුට ලබාගත හැකි වූයේ මනාප හාර ලක්ෂ දහඅට දහසක් පමණි. කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින අනුර කුමාර දිසානායක මහතා මාලිමාව ලකුණ යටතේ තරග කරනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සිය අභිමතය ප්‍රකාශ කර ඇති පිරිස අතරින් ඉකුත් සතියේ හඳුනාගත හැකි වූ චරිතය පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂයි. 1959 උපන් විජයදාස රාජපක්ෂ මහතා හැටපස් වියැති දේශපාලනඥයෙකි. කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහ නීති විද්‍යාලයෙන් ඔහු උසස් අධ්‍යාපනය හැදෑරීය.

විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයෙහි සහාය ඇතිව මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සූදානමින් සිටියි. වර්තමානයේ අධිකරණ අමාත්‍ය ධුරය දරන විජයදාස රාජපක්ෂ මහතා පසුගිය වර පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසය.

මෙරට නීති ක්ෂේත්‍රයේ කීර්තිමත් චරිතයක් වන විජයදාස රාජපක්ෂ මහතා 2004 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන පක්ෂ හරහා ඔහු ක්‍රියාකාරී දේශපාලනයේ නිරත විය. ඒ අනුව අවස්ථා කිහිපයකදීම ආණ්ඩු කිහිපයක ද ඔහු විසින් අමාත්‍ය ධුර හොබවා ඇත. ඉකුත් කාලසීමාවේදී මෙරට පැන නැගි ව්‍යවස්ථා අර්බුද රැසකදී තීරණාත්මක භූමිකාවක් ඔහු විසින් රඟදක්වා ඇති බව පැහැදිලිය.

ආසන්න කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අර්බුදයට මැදිහත් වූ විජයදාස රාජපක්ෂ මහතා එහි සභාපතිවරයා ලෙසින් මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ කටයුතු කළේය. කෙසේ වෙතත් නීතිමය කටයුතු හේතුවෙන් එම පත්කිරීම අර්බුදයට ලක් විය. තවදුරටත් ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් දරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කොට තිබීම සුවිශේෂී තත්ත්වයකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අර්බුදය හමුවේ එම පක්ෂයෙන් තරග කිරීමට ලැබුණද නොලැබුණද මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය පෙරටු කොටගෙන වෙනත් ලකුණක් සහ පක්‍ෂයක් යටතේ ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි කියැවේ.

තවදුරටත් ස්ථීර ලෙස අපේක්ෂකත්වය ප්‍රකාශ කොට නොමැති නමුත් වර්තමාන ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා ජනාධිපතිවරණ අපේක්ෂක සංවාදයේ ප්‍රමුඛ චරිත බවට පත්ව සිටිති. මෙම චරිත ද්විත්වයම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය අපේක්ෂා කරන අතර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට ඔවුනට එම පක්ෂයේ සහයෝගය තීරණාත්මක සාධකයක් වී තිබේ.

මේ වන විට ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරය හොබවන රනිල් වික්‍රමසිංහ මහතා 75 වියැති දේශපාලනඥයෙකි. ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරය සිව්වරක් හොබවා ඇති රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තනතුර හැර යාම සමඟ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය විසින් තෝරා ගන්නා ලදී.

කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවකු වන රනිල් වික්‍රමසිංහ මහතා පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට තේරී පත්වී නීතිඥායක් ලෙස දිවුරුම් දුන්නේය. ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා මෙරට අග්‍රාමාත්‍ය ධුරය ඉසිලූ එකම පුද්ගලයා ද වන්නේ ඔහුය. 1977 දී පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අඛණ්ඩ පාර්ලිමේන්තු ඉතිහාසයේ කීර්තිමත් මන්ත්‍රීවරයෙක් වෙයි. ජේ.ආර්. ජයවර්ධන රජයේ කැබිනට් මණ්ඩලයේ සිටි ලාබාලතම අමාත්‍යවරයා වූයේ රනිල් වික්‍රමසිංහ මහතායි. එහිදී ඔහු දැරුවේ තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍ය ධුරයයි.

2005 ජනාධිපතිවරණයේදී අවසන් වරට අපේක්ෂකයකු ලෙස තරග කළ වික්‍රමසිංහ මහතාට එහිදී ලබාගත හැකි වූයේ දෙවැනි ස්ථානයයි. මෙවර ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ඇතුළු තමාට හිතවත් කණ්ඩායම් කිහිපයක සහයෝගය සහිතව ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි කියැවේ. ඉකුත් සමයේ ඔහු නමින් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ වී තිබුණද තවමත් ඔහු නිල වශයෙන් අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත්කොට නොමැත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වන ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසි ඔහු මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකි. 1967 දී උපන් ධම්මික පෙරේරා මහතා මේ වනවිට 56 වැනි වියේ පසුවෙයි. හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය හැදෑරීමෙන් පසු වයස අවුරුදු 19 දී එනම්, 1986 දී ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කර තිබේ. ධම්මික පෙරේරා කටුබැද්ද, මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉලෙක්ට්‍රොනික විද්‍යාව හැදෑරූ නමුත් එය ඔහුගේ ව්‍යාපාරික අවශ්‍යතා අනුව හැදෑරූ බව කියැවෙයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ සිය අභිමතය කල් ඇතුවම ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කොට ඇති නමුත්, ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහයෝගය අපේක්ෂා කරයි. මේ වන විට ඔහුට එම සහයෝගය ලැබෙනු ඇතැයි කියැවෙන අතර ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඔහු කරළියට පැමිණෙනු ඇතැයි විශ්වාස කෙරෙයි.

මෙම අපේක්ෂකයන්ට අමතරව ව්‍යාපාරික දිලිත් ජයවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආදී චරිත කිහිපයකගේ නම් ද ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සමඟ සංවාදයට ලක්වෙයි. ඉදිරියේදී මෙම පිරිස් වෙතින්ද අපේක්ෂකත්වය පිළිබඳ තහවුරු කිරීම් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

කෙසේ වෙතත් සුදුස්සා පිළිබඳ මනාව සිතා බලා සුදුසු තීරණය ගැනීම පුරවැසියන් ලෙස ඔබ සතු වගකීමකි. ජනාධිපතිවරණයේදී ඔබ තීරණය කළ යුත්තේ තවත් පුද්ගලයකුගේ අනාගතය නොව ඔබ සහ ඔබේ දරුවන්ගේ අනාගතයයි.

• චමිඳු නිසල් ද සිල්වා

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:04