2024 ජුලි 27 වන සෙනසුරාදා

කොළඹ වරාය නගරෙට උඩින් යන අධිවේගය

 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 30

මහාමාර්ග පද්ධතිය යනු රටක හදවත බඳුය. එමගින් රටේ ඕනෑම ප්‍රදේශයක් වෙත ගමන් කළ හැකි වන අතර ජනතාවගේ ගමන් බිමන් පහසුවෙන් සිදු කරගත හැකිය.  වර්තමානයේ කොළඹ නගරයේ පවතින්නේ අධික වාහන තදබදයකි.  විශේෂයෙන් උදය කාලයේ කොළඹ නගරයට ඇතුළු වන වාහන හා සවස ඉන් පිටවන වාහන සංඛ්‍යාව අධික බැවින් මේ වේලාවන්හි අධික වාහන තදබදයක් පවතී. ඉන් රටට විශාල මිනිස් ශ්‍රමයක් ද අහිමි වේ. කොළඹ වාණිජ නගරයට ප්‍රවේශ වීමේදී පවතින අධික රථවාහන තදබදයට ස්ථාවර පිළියමක් ලෙස ඉඟුරුකඩේ මංසන්ධියේ සිට වරාය නගරයට පිවිසීමට කුලුනු මතින් අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් සකස් කරන ලදී. ඒ අනුව ඉදිකෙරෙන කොළඹ වරාය පිවිසුම් අධිවේගී ගුවන් මාර්ගයේ ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරයේ පවතින අතර එය ලබන ඔක්තෝබර් මාසයේ විවෘත කිරීමට නියමිතය. මෙම අධිවේගී මාර්ගය ඉඟුරුකඩේ මංසන්ධිය අසලින් නව කැලණි පාලමට සම්බන්ධ වන අතර එතැන් සිට කුලුනු මතින් ගාලු මුවදොර සහ අභිනව වරාය නගරය දක්වා පැමිණෙයි. 

පෙරසවි කොන්ක්‍රීට් පාලම් කොටස් 3279ක් යොදාගනිමින් කුලුනු මත ඉදිකෙරෙන මෙම මාර්ගය එවැනි නව තාක්ෂණයක් භාවිත කරමින් ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන ප්‍රථම ගුවන් මාර්ගය වේ. කොළඹ ඉඟුරුකඩේ මංසන්ධියේ සිට ගාලු මුවදොර දක්වා කිලෝමීටර 5.3ක් ඔස්සේ එම මාර්ගය වැටී තිබේ. මංතීරු 4කින් සමන්විත මෙම අධිවේගී මාර්ගය මීටර් 35ක පළලින් යුතුය. මෙම අධිවේගී ගුවන් මාර්ගය නිමවීමෙන් පසු කොළඹ වරායේ සිට හෝ ගාලු මෝදර සිට හෝ දැනට ඇති අධිවේගී මාර්ග සියල්ලටම ප්‍රවේශ වී රටේ ඕනෑම තැනකට මාර්ග තදබදයකින් තොරව ගමන් කළ හැකිය. එමෙන්ම කොළඹ වරායට වෙනම අන්තර් හුවමාරුවක් යොදා ඇති බැවින් කොළඹ වරායේ කන්ටේනර් ප්‍රවාහනය ද ඉතා පහසු වනු ඇත. එය මංතීරු 6කින් සමන්විත වන අතර එය කිලෝමීටර් 4.14ක දිගින් යුතු වේ. මෙමගින් කොළඹ වරායේ සිට අධිවේගී මාර්ගයට සහ අධිවේගී මාර්ගයේ සිට කොළඹ වරායට කන්ටේනර් ප්‍රවාහනය සිදු කළ හැකිය. නව මාර්ගය ඔස්සේ කටුනායක ගුවන් තොටුපළේ සිට කොළඹ වරාය නගරය වෙත පැමිණීමට ගත වන්නේ විනාඩි 20 ක පමණ කාලයකි. අධිවේගී මාර්ගය සඳහා පිවිසුම් 5 ක් ඇත. ඒවා නම් ඉඟුරුකඩේ පිවිසුම, පිටකොටුව විමලධර්ම ආයතනය අසල පිවිසුම, අලුත් මාවතේ පිවිසුම, ගාලුමුවදොර පිවිසුම සහ වරාය නගරයට ඇතුළු වන පිවිසුමය. 

මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ වන මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන කොන්ත්‍රාකරු වශයෙන් චීන සිවිල් ඉංජිනියරින් කන්ට්‍රක්ෂන් කෝපරේෂන් ආයතනයයි. මෙහි ඉදිකිරීම් ආරම්භ වූයේ 2019 වසරේය. රුපියල් බිලියන 28.002 ක පමණ මුදලක් මෙම මාර්ගය ඉදිකිරීම සඳහා වැය කර ඇති අතර ඒ අනුව ආසන්න වශයෙන් කිලෝමීටරයක් ඉදිකිරීම සඳහා වැය කෙරෙන මුදල් ප්‍රමාණය බිලියන 05 කි. මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකිකයන් විශාල පිරිසකට රැකියා අවස්ථා සැලසී තිබේ .මෙහි ශ්‍රම දායකත්වය 70% ක් පමණ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ය.

වරාය පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වූ මුල් වසර දෙක ඇතුළත එහි ඉදිකිරීම් ඉතාමත් මන්දගාමී අයුරින් සිදු වූ අතර, ඉදිකිරීම්වල ප්‍රගතිය 7% ක් වැනි ප්‍රමාණයක් විය. එහෙත් 2022 වසරේ මුල් කාර්තුව වන විට සමස්ත ඉදිකිරීම්වල ප්‍රගතිය 32% දක්වා වර්ධනය විය. මෙම මාර්ගයේ ඇති සුවිශේෂත්වය නම් පරිසර හිතකාමීව කුලුනු මතින් ඉදිකිරීම් සිදු කිරීමයි.

ඉදිවෙමින් පවතින වරාය පිවිසුම් අධිවේගී මාර්ගය පසුගිය ජූලි 18 දා ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිරීක්ෂණයට ලක් විය. එහිදී ඔහු මෙලෙස සඳහන් කළේය. 

“ඉඟුරුකඩේ හන්දියේ සිට ගාලුමුවදොර දක්වා කිලෝමීටර් පහක ප්‍රමාණයක් කනු මත ඉදිකෙරුණු මෙය ලෝකයේ තියෙන නවීනතම තාක්ෂණය පාවිච්චි කරලා තමයි නිම කරලා තියෙන්නේ. මෙම ඉදිකිරීමත් සමඟ අපේ රටේ අධිවේගී මාර්ග ඉතිහාසයේ විශාල පරිවර්තනයක් සිදු වී තිබෙනවා. ඉඟුරුකඩේ හන්දියේ සිට කොළඹ නගරයට සහ ගාලුමුවදොරට කිසිදු වාහන තදබදයකින් තොරව ලංකාවේ ඕනෑම අධිවේගී මාර්ගයකට පිවිසුම් හා පිටවීම් ඇතිවන ආකාරයකට තමයි මෙය සැලසුම් කරලා තියෙන්නෙ. ව්‍යාපෘතියට ණය ආධාර සපයා තියෙන්නේ ආසියානු සංවර්ධන බැංකුව. ඒ සඳහා ඔවුන්  ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක දැවැන්ත ණය ආධාරයක් ලබා දුන්නා.

රාජ්‍ය අයවැයේ වර්ධන ගිණුමේ පවතින හිඟය නිසා මේ සියල්ල කෙරිලා තියෙන්නේ විදේශ ණය ආධාර මතයි. අපි අධිවේගී මාර්ග සඳහා ලබාගෙන තියෙන ණය මුදල බිලියන 800 යි. අධිවේගී මාර්ගවලින් මුදල් අය කරලා වර්ෂයකට ලැබෙන ආදායම බිලියන 5 යි. බිලියන 5 ගානේ මේ ණය ගෙවන්න අවුරුදු එකසිය හැටක් යනවා. මේ අමාරු කාලය තුළ ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය සපයන්නේ ඉතාම දීර්ඝ කාලීන සහනදායි පොලිය මතයි.” යනුවෙන් සඳහන් කළේය.

ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍යංශයේ ලේකම්  වරලත් ඉංජිනේරු රංජිත් ගංගානාත් රූබසිංහ මහතා මෙම අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය. 

“මෙය ඉතා සුවිශේෂී මාර්ගයක්. මේ මාර්ගය හරහා දැනට ලංකාවේ තියෙන සියලුම අධිවේගී මාර්ගවලට ප්‍රවේශවීමේ හැකියාව පවතිනවා. මල්ටි ලේන් ෆ්‍රී ෆෝ ටොලිං නමැති ක්‍රමවේදය හෙවත් අධිවේගී මාර්ගයට වාහනයක් ප්‍රවේශ වූ පසු එය ස්වයංක්‍රීයව හඳුනාගෙන ගාස්තු අය කිරීමේ ක්‍රමය මේ සඳහා හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව මේ මාර්ගයේ ගාස්තු අය කෙරෙන්නේ ස්වයංක්‍රීය ක්‍රමයකටයි. එවැන්නක් සිදුවන්නේ පළමු වතාවටයි.” යනුවෙන් සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා වන්නේ වරලත් ඉංජිනේරු විමල් කණ්ඩම්බි මහතාය. ඔහු මේ සම්බන්ධයෙන් පැවසුවේ මෙවැන්නකි.

“මෙම මාර්ගය ඉදිකිරීමේ අරමුණ වූයේ මෙරට තියෙන අධිවේගී මාර්ග පද්ධතිය කොළඹ නගරයට ගෙන ඒමයි. මෙමගින් අපි තවත් විශේෂයක් කළා. ඒ තමයි ලංකාවේ ප්‍රධාන වරාය වන කොළඹ වරායට වෙනම පිවිසුමක් ලබා දීම. කන්ටේනර් රථ සාමාන්‍ය මාර්ගයක ගමන් ගන්නා විට විශාල වාහන තදබදයක් ඇතිවෙනවා. නව මාර්ගය හරහා වරායේ සියලුම කන්ටේනර් එහා මෙහා ගෙන යෑමට හැකි බැවින් කොළඹ නගරයේ අතුරු මාර්ග භාවිත කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. එමෙන්ම ගාලු මුවදොරින් මේ අධිවේගී මාර්ගයට ඇතුළුවීම සහ පිටවීම සිදු කළ හැකියි. එමගින් වරාය නගරයට සහ කොළඹ නගරයටත් ප්‍රවේශ විය හැකියි.”

පෙර කාලයේ දුර බැහැර ගමනක් යන්නට පැය හත අටක් ගත කළ ජනතාවට නව අධිවේග මාර්ග පද්ධති ඉදිකිරීම නිසා ඉතා සුළු කාලයකින් රටේ එක් කොණක සිට අනික් කොණට ගමන් කළ හැකිය. රටක සංවර්ධනයේ එක් කැඩපතක් වන්නේ ජනතාව තෘප්තිමත්ව ජීවත් වීමය. රට පුරා රටට අනවශ්‍ය ඉදිකිරීම් සිදු කොට ඒවා වල්වදින්නට ඉඩ හැර ඇති සමයක මෙවැනි අත්‍යවශ්‍ය ඉදිකිරීම් වෙනුවෙන් ජනතාවගේ ප්‍රණාමය ඒවායේ නිර්මාණකරුවන්ට හිමිවනු ඇත.

• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා