2024 ජුලි 27 වන සෙනසුරාදා

ගලෙන්බිඳුණුවැවේ වැවක් හැදූ හාමුදුරුවෝ..

 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 22

වසර ගණනාවක් තිස්සේ කිසිදු ප්‍රයෝජනයක් නොගත් වැවක් නැවත ප්‍රතිසංස්කරණය කොට ගම්මානයේ ජනතාවට බාරදීම නිසා අද වන විට පවුල් තුන්සියයකට අධික සංඛ්‍යාවක් එයින් ප්‍රයෝජනයට ගනිති. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය, පළුගොල්ලාගම ශ්‍රී ඥානිස්සර පිරිවෙනේ ඇලපත්ගම ඥානරතන හාමුදුරුවන්ගේ සිතට දැනුණු සිතුවිල්ලක් මෙලෙස සැබෑවක් විය.

"එක්තරා මාසයක පෝය දවසක රාත්‍රී කාලයක මම අපේ පන්සලේ ඉස්සරහ ඇති වැව් බැම්මේ හෙමින් එහාට මෙහාට ඇවිද්දා. හොඳින් හඳ පායලා තිබුණු ඒ රාත්‍රියේ හඳ එළිය වැවට වැටිලා තිබුණා. වැව් බැම්මට එහා පැත්තෙන් කෙත් යාය හරි ලස්සනට දිස් වුණා. ඒ රාත්‍රියේදී ඒ වැව ළඟ ඉඳගෙන "මටත් මේ වගේ වැවක් හදන්න පුළුවන්කමක් තිබුණා නම්" කියන සිතුවිල්ල මගේ හිතට ආවා." යැයි ඥානරතන හාමුදුරුවෝ දේශයට පැවසූහ.

තමන්ගේ සිතට දැනුණු ඒ සිතුවිල්ල කවදා හෝ සැබෑවක් කරගන්නට උන්වහන්සේ අදිටන් කර ගත්හ. දිනක් ඇමෙරිකාවේ එක්සත් ජනපදයේ සිට සරත් ගුණවර්ධන මහතා හාමුදුරුවන්ට ඇමතීමත් සමඟ උන්වහන්සේගේ සිතේ ඇතිවුණු සිතුවිල්ල සැබෑවක් වන්නට අවස්ථාව උදා විය. ඒ වන විට උන්වහන්සේ "බෝ සෙවණ පදනම" නම් ව්‍යාපෘතියක් ආරම්භ කොට ගමේ අහිංසක මිනිසුන්ට වියළි ආහාර, කිහිලිකරු, රෝද පුටු, අධ්‍යාපන ආධාර ඇතුළු ආධාර උපකාර ලබා දී තිබුණි. ඒ සඳහා උන්වහන්සේට දායක දායිකාවන් පිරිසකගේ උදව් උපකාර ලැබුණි. සරත් ගුණවර්ධන මහතා "බෝ සෙවණ පදනමින්" කරන ලද එවැනි පුණ්‍ය කටයුතු කිහිපයක වීඩියෝ කිහිපයක් නරඹා ඒ පිළිබඳව අවබෝධයත් සමඟ ඒ සම්බන්ධයෙන් සෑහීමට පත්ව තිබුණි. ඒ නිසාම ඔහුට හමුදුරුවන් සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති විය. මේ නිසාම මෙම කතාබහ අතරතුරේදී ඔහු, "හාමුදුරුවනේ මම වැවක් හදන්න කැමතියි" යැයි යෝජනාව හාමුදුරුවන්ට ඉදිරිපත් කළේය. උන්වහන්සේගේ සිතෙහි ඇතිවී තිබුණු බලාපොරොත්තුව එය වුවද ඒ සඳහා අවශ්‍ය මුදල් උන්වහන්සේට තිබුණේ නැත. සරත් ගුණවර්ධන මහතාට ඒ සඳහා දැරිය හැකි මුදලක් තිබුණද එය කරන්නේ කෙසේදැයි අවබෝධයක් තිබුණේ නැත. ඒ නිසාම ඔවුන් දෙදෙනා එක්ව ගමේ වැවක් සාදන්නට කථිකා කර ගත්හ.

ටික කලකට පසුව සරත් ගුණවර්ධන ලංකාවට පැමිණ ඥානරතන හාමුදුරුවන්ව මුණගැසුණේය. ඒ අතරතුරේදිත් ඔහු බෝ සෙවණ පදනම හා එක්ව වෙනත් සමාජ සත්කාර කිහිපයක්ද සිදු කර තිබුණි.

ගලෙන්බිඳුණුවැව ගම්මානයේ ජීවත් වන බහුතරයක් ගැමියන්ය. ඔවුන් තම ජීවිකාව සරිකර ගන්නේ ගොවිතැනෙනි. මෙම වැව යටතේ සාමාන්‍යයෙන් කුඹුරු අක්කර සියයක් පමණ තිබුණද වර්තමානය වන විට එයින් වගා කරනු ලබන්නේ කුඹුරු අක්කර පනහක පමණ ප්‍රමාණයකි. අහස් ජලයෙන් යල කන්නය වගා කළ හැකි වුවද මහ කන්නය වගා කළ හැකි වන්නේ වැව් ජලයෙනි. ඒ නිසාම නැවතත් ගමේ මිනිසුන්ට වැවක් ලැබීම සම්බන්ධයෙන් ඔවුහු විශාල සතුටකින් පසුවෙති. කන්න දෙක පමණක් නොව මැද කන්නය ද කර ගැනීමට ද මෙයින් හැකියාව ලැබීම සම්බන්ධයෙන් ඔවුන් තුළ පවතින්නේ විශාල සතුටකි.

ස්වාමීන්වහන්සේ විසින් එතෙක් භාවිතයට නොගත් වැවක් නැවත සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කොට එය ජනතා අයිතියට ලබාදීමට කටයුතු කළහ. එය "කරුවලගස්වැව" නම් වූ වැවයි. එහි වපසරිය දළ වශයෙන් හෙක්ටයාර විස්සක් පමණ වෙයි. වැව නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ලක්ෂ පනස් හතරක් ඇස්තමේන්තු කර තිබුණි.

"මෙය අලුත් වැවක් නොවේ. මේ ගමේ තිබුණු වැවක් අපිට නැවත ප්‍රතිසංස්කරණය කළා. මෙය වසර ගණනාවකින් මෙලෙස ප්‍රතිසංස්කරණය වෙලා තිබුණේ නැහැ. සාමාන්‍ය හොඳ වැසි දෙක තුනක් ගමට වැස්සොත් මේ වැව උතුරනවා. ඒ තරමට විශාල රොන්මඩ බොහොමයක් මේ වැවේ තිබුණා. ජූලි මාසේ හත්වැනිදා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කළා. වර්තමානයේදී මේ වැවේ ඒ වැඩ කටයුතු අවසන් වෙලා තියෙනවා. මෙහිදී රජයේ තාක්ෂණික නිලධාරීන්ගේ අනුමැතිය හා අධීක්ෂණය යටතේ ගමේ ජනතාවගේ  සහය ඇතිව අපි මේ වැව ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කළා. අද වන විට කරුවලගස්වැව ප්‍රදේශයේ පවුල් තුන්සීයක් පමණ මෙය ප්‍රයෝජනයට ගන්නවා.” යැයි ඥානරත්න හාමුදුරුවෝ වැඩිදුරටත් පැවසූහ.

• දිශානි ජයමාලි කරුණාරත්න

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:04