2024 ජුලි 27 වන සෙනසුරාදා

දවස් 75ක් ඇදුණු සරසවි වැඩ වර්ජනය

 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 22

ලංකාවේ විශ්වවිද්‍යාල වර්ජනවල තෝතැන්නක් බව අපි කවුරුත් දනිමු. හිටි ගමන් ආචාර්යවරු වර්ජනය කරති. තවත් විටක අනධ්‍යයන සේවක වර්ජනය. නැත්නම් සිසු විරෝධතාය. මේ නිසා ලංකාවේ විශ්වවිද්‍යාල විවෘත කර තිබෙනවාට වඩා වසා ඇති බව පොදු වහරේ එන දෙයකි. පසුගිය 16 දා මාස දෙකහමාරක් තිස්සේ පැවති අනධ්‍යයන සේවක වැඩවර්ජනය නිම විය. මේ නිසා ආචාර්යවරුන් එදින දේශන පැවැත්වීමට බලාපොරොත්තුවෙන් විශ්වවිද්‍යාලවලට ගිය ද එය අසාර්ථක විය. මේ ගැන පවසන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර: 

“අපි ගෙදර සිටි කාලේ ඔන්ලයින් හරහා සිසුන්ට ඉගැන්වුවා. නමුත් වඩාත් සාර්ථක වන්නේ සිසුන් ඉදිරියේ කරන ඉගැන්වීමයි. පසුගිය 16 දා නැවත වැඩ පටන් ගැනීමට විශ්වවිද්‍යාලයට ගියත් බොහෝ තැන්වලට විදුලිය නැහැ. ජල සැපයුමත් නෑ. අන්තර්ජාල සබඳතා බිඳ වැටිලා. මේ නිසා එදා සාර්ථකව දේශන පැවැත්වීම අපහසු වුණා.” 

ඉන් අදහස් වන්නේ වැඩවර්ජනය කර ඇත්තේ සේවකයන් පමණක් නොවන බවය. ඔවුහු ජල සබඳතා බිඳ වට්ටවා විදුලිය විසන්ධි කර වර්ජනය කර තිබේ. ඒ වෙනත් ආකාරයකින් විශ්වවිද්‍යාල පවත්වාගෙන යාවි යන සැකයට විය යුතුය. 

මෙසේ වැටුප් විෂමතා ඉවත් කර වැඩි වැටුප් ලබාදෙන ලෙස ඉල්ලා රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක සහ ඒකාබද්ධ පශ්චාත් උපාධි ආයතන 19ක අනධ්‍යයන සේවකයන් 14,600කට ආසන්න පිරිසක් දින 75ක් තිස්සේ වැඩවර්ජනයක නිරතව සිටියහ.වැඩවර්ජනය හේතුවෙන් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයම අකර්මණ්‍ය වී තිබුණි. මේ රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ තරුණියන් 250,000 ජීවිත ව්‍යාකූල වීම සිදුවූ අතර ඇති හැකි අය පිටරට විශ්වවිද්‍යාලවලට යාම සිදුවිය. 

මෙම වැඩවර්ජනය ජූලි 16 දා තාවකාලිකව අවසන් කිරීම හේතුවෙන් විශ්විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත පැවසුවේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී එකඟතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු වැඩවර්ජනය තාවකාලිකව අවසන් කළ බවයි. 2018 සිට පවතින වැටුප් විෂමතා ගැටලුව විසඳීම, හිලව් දීමනා ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම වර්ජනය ක්‍රියාත්මක කර තිබුණි.  

වැඩවර්ජනය කිරීමේ එක් හේතුවක් ලෙස සඳහන් වූයේ හිලව් දීමනා ලබාගැනීමයි. අනධ්‍යයන සේවකයන් පවසන හිලව් දීමනා කුමක්දැයි පැහැදිලි කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ සහ කළමනාකරණ පීඨයේ මහාචාර්ය සුදත් වීරසිරිය: 

“පසුගිය කාලේ වැටුප්වලට රජයෙන් දැමූ බද්ද නිසා අපේ වැටුප්වලින් සියයට 32ක් කැපුණා. ඒක හිලව් කිරීමට වෛද්‍යවරුන්ට සහ කථිකාචාර්යවරුන්ට අධ්‍යයන දීමනා ලෙස යම් මුදලක් ලබාදීම ආරම්භ කළා. අනධ්‍යන සේවකයන් පවසන්නේ ඔවුන්ටත් එවැනි දීමනාවක් අවශ්‍ය බවයි. ඒකට තමයි හිලව් දීමනා නමින් ඔවුන් ඉල්ලන්නේ. අනධ්‍යයන සේවක වැටුපෙන් බදු අයකිරීම් සිදුවන්නේ නෑ. කාටත් හොඳ වැටුප් ලැබිය යුතුයි. නමුත් අධ්‍යයන දීමනාවට සමාන හිලව් දීමනාවක් ඉල්ලීම අසාධරණයි.  

මෙම වර්ජනය පැවතීම නිසා මේ අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාලවලට තේරුණු ළමයින්ගේ අයැදුම්පත් ලැබීම සියයට 30 කින් අඩුවෙලා. ඒකට හේතු වී ඇත්තේ ඔවුන් පෞද්ගලික විශ්වවිද්‍යාලවල පාඨමාලාවලට ඉල්ලුම් කර තිබීමයි. ඒ වගේම සිසුන්ගේ විභාග කල් යාමත් සිදුවුණා. මේ නිසා ඔවුන්ගේ අධ්‍යයන වර්ෂය තවත් කල් යනවා. මෙය ඉදිරියට විශ්වවිද්‍යාලයට පැමිණීමට සිටින දරුවන්ටත් බලපානවා.” 

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය පැවති කාලයේ ඔවුන්ට වැටුප් ලැබුණේ නැත. මේ නිසා සමහර සේවකයන් කුලී වැඩ පවා කරමින් එදා වේල සරිකර ගන්නට උත්සාහ කළ බව අසන්නට ලැබුණි. මේ සම්බන්ධයෙන්  පසුගිය ජුලි 18 දා පාර්ලිමේන්තුවේදී යොමු කළ ගැටලුවකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍ය   සුසිල් ප්‍රේම්ජයන්ත් පැවසුවේ මෙවන් අදහසකි: 

“දැන් මාස එකහමාරක් තිස්සේ ඔවුන්ට වැටුප පවා ලැබී නැහැ. එම හිඟ වැටුප පවා දෙන්න ලබා දෙන්න අපි සූදානම්. විශ්වවිද්‍යාල අනධ්‍යයන හා අධ්‍යයන කාර්ය මණ්ඩලවලට 2018 වසරේදී වැටුප් වැඩිවීමක් දුන්නා. එතැනදී ආචාර්ය සහ මහාචාර්යවරුන්ට  සියයට 107 කින් වැටුප් වැඩි කළ අතර අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා සියයට 85 කින් වැටුප් ඉහළ නංවා තිබෙනවා. ඒ දෙක අතර සියයට 15ක පරතරයක් ඇති වුණා.

මෙම වැටුප් විෂමතාව 2018 සිට වසර 06ක් තිස්සේ තිබෙනවා. නමුත් ඒ අතර විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලය දීමනාව සියයට 25කින් වැඩි කළා. කුමන දීමනාවක් දුන්නත් භාණ්ඩාගාරයේ අනුමැතිය අවශ්‍යයි. අනධ්‍යන සේවකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර යෝජනා ඉදිරිපත් කිරීමට මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කළා. අපි ඉල්ලීමක් කළා. මෙම කමිටුව හරහා මෙම ගැටලුව විසඳගන්නා ලෙස.”  

වැටුප් විෂමතා විශ්වවිද්‍යාලවල පමණක් නොව රජයේ බොහෝ තැන්වල සේවක පීඩනය ඉහළ දමන හේතුවකි. පෞද්ගලික ආයතනවල ද බොහෝ සේවකයන් ඉන් බැටකෑවත් ඒවා ගැන වර්ජන කිරීමට නිදහසක් නැත. පෞද්ගලික විශ්වවිද්‍යාලවල ද ඒ තත්ත්වය දකින්නට ලැබුණත් ඒවායේ සේවා කොන්ත්‍රාත්තු අනුව වැඩවර්ජන තහනම්ය. චීනය වැනි රටවල විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වැඩවර්ජන බාධා කරන්නේ දැයි මම විමසුවේ චොංචිං සාමාන්‍ය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන තිළිණ ජයරත්න සිසුවාගෙනි: 

“අපිට උගන්වන සමහර කථිකාචාර්යවරු ලංකාවේ සිංහල ඉගෙනගත් අය. ඔවුන් නම් ලංකාවේ විශ්වවිද්‍යාලවල වර්ජන නිතර වර්ජන තිබෙනවා නේද කියලා අපෙන් අහනවා. චීනයේ නම් විශ්වවිද්‍යාලවල වැඩවර්ජන ගැන අහන්න ලැබෙන්නෙ නෑ. නියමිත කාලසටහනකට අනුව දේශන සියල්ල සම්පූර්ණ කරනවා. යම් විදිහකින් සති මැද නිවාඩුවක් ලැබී දේශනවලට පාඩු වුණොත් ඒවා සතිඅන්තයේ පවත්වනවා. පාඨමාලාව නිසි පරිදි සම්පූර්ණ කිරීමට තමයි විශේෂ අවධානයක් ලබා දී තිබෙන්නේ. මේ නිසා සැලසුම් කළ අධ්‍යාපනය ඒ විදිහටම සිසුවාට ලබාගන්න පුළුවන්. ලංකාවෙ වගේ ලොකු නිවාඩු සංඛ්‍යාවක් එහේ නෑ. මැයි දිනය වගේ විශේෂ නිවාඩු විතරයි තිබෙන්නේ. නියම වෙලාවට සැමදාම දේශන පටන් ගන්නවා. දේශකයන් ප්‍රමාද වෙලා එන්නෙ නෑ. අනධ්‍යයන සේවක වර්ජන වගේ දේවල් නම් ඒ රටේ අහලවත් නෑ.”  

ලංකාවේ සෑම අංශයකම ඇත්තේ සැලසුමක් නැති පැලැස්තරය. වැටුප් වැඩි කිරීමත් එසේය. එක් අංශයක වැටුප් වැඩි කළ විට වෙනත් ක්ෂේත්‍රයක වැටුප් ලබන අය ඉන් පීඩාවට පත්වෙති. ඒ වැටුප් විෂමතා නිසාය. මේ නිසා වැටුප් වැඩි කිරීම විසඳුමක් නොව තවත් ගැටලු රැසක ආරම්භයක් වී තිබේ. පසුගිය දිනවල විධායක නිලධාරින්ගේ දීමනාව රු. 25000 දක්වා ඉහළ නැංවීය. එවිට අනෙක් අංශවල රජයේ නිලධාරින් විරෝධතා සිදු කළේ බඩගින්න දැනෙන්නේ විධායක නිලධාරින්ට පමණක් දැයි අසමිනි. කෙසේ වුවත් අධ්‍යාපන ක්ෂේත්‍රවල මෙවැනි වැඩවැරීම්වලට ඉඩ සැලසීමෙන් ඉගෙන ගන්නා දරු පරපුරට සිදුවන අවැඩ ගැන ඡන්දය දිනාගැනීම ගැන පමණක් සිතන බලධාරින්ට නම් වගේවගක් නැති බව අපි දනිමු.  

සේයාරූ අන්තර්ජාලයෙනි

• කුසුම්සිරි විජයවර්ධන