පුංචි තැනකින් පටන්ගෙන විසල් කර්මාන්ත ගොඩනැගූ දේශීය ව්‍යවසායකයන් අපේ රටට අභිමානයක්. එවන් ව්‍යවසායකයන් පිළිබඳ තොරතුරු අප ඔබට සමීප කරන්නෙත් ඒ නිසාමයි. අදත් අපට හමුවන්නේ අපේ දේ අගයමින් දේශීය ව්‍යවසායක් නිර්මාණය කළ එවන් ව්‍යවසායකයෙක්. ඔහු නමින් ප්‍රසංග ජයසිංහ.
ප්‍රසංග ජයසිංහ නියැලිලා ඉන්නේ ස්වයංක්‍රීයව කිරි මිශ්‍රිත පාන සැකසීම සඳහා අවශ්‍ය කිරිපිටි ඇතුළු අමුද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සම්බන්ධ ව්‍යාපාරයක. ඔහුගේ ආයතනයේ ව්‍යාපාරික නාමය RR Foods Lanka (Pvt) Ltd ක්. මේ ව්‍යාපාරය යටතේ RR Cafe, RR Tea ආදි නම් වලින් සන්නාම කිහිපයක්ම පවතිනවා.
"අපි සිදුකරන්නෙ සාමාන්‍යයෙන් නෙස්කැෆේ යන්ත්‍ර විදිහට හඳුන්වන ස්වයංක්‍රීය කිරි ඇතුළු පානයන් නිෂ්පාදනය කරන යන්ත්‍ර රටින් ගෙන්නලා අලෙවි කිරීම සහ ඒවාට පවුඩර් එල දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම. සියයට සියයක් දේශීය නිෂ්පාදනයක් විදිහට තමයි අපේ ඒ නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණෙන්නෙ. දේශීය කිරිපිටි සහ දේශීය අමුද්‍රව්‍ය තමයි මෙහිදී භාවිත වන්නේ. අපි ළඟ කොෆී, ටී, කාර්ඩමන් ටී, ස්ට්‍රෝබරි ටී, මසාලා ටී හොට් චොකල්ට් ඇතුළු වර්ග ගාණක නිෂ්පාදන තියෙනවා."
දැනට 75 දෙනකු පමණ සේවය කරන කර්මාන්ත ශාලාවක්ද RR Foods Lanka (Pvt) Ltd ආයතනය සතු වෙනවා. ප්‍රසංග සඳහන් කරන ආකාරයට ප්‍රධාන නිෂ්පාදන අටක් ඔවුන් සතුයි. මෙම සියලු නිෂ්පාදන දේශීයව සකස් කොට බෙදාහැරීම සිදු කරනු ලබන්නේත් මෙම ආයතනය විසින්. දේශීය වෙළෙඳපොළට අමතරව විදේශීය වෙළෙඳපොළ වෙතත් සිය නිෂ්පාදන අපනයනය කිරීම සඳහා RR Foods Lanka කටයුතු කරමින් සිටින බව ප්‍රසංග ජයසිංහ අපිට අනාවරණය කළා. දැනටමත් මාලදිවයින සාහා එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ මේ නිෂ්පාදනවලට හොද ඉල්ලුමක් පවතිනවා.
මේ ව්‍යාපාරය ආරම්භය පිළිබඳ ඇත්තේ බොහොම අපූරු කතාවක්. ප්‍රසංග ජයසිංහ සහ ඔහුගේ බිරිඳ වන රෝෂිණී ෆ්රනෑන්ඩෝ තමා මේ ව්‍යාපාරය ආරම්භ කරන්නට මූලිකත්වය අරගෙන තියෙන්නේ.
"මැෂින් දෙකකින් තමයි ව්‍යාපාරය ආරම්භ කළේ. 2015 දි විතර මේ යන්ත්‍ර දෙකක් අරගෙන කුලී පදනම මත උත්සව අවස්ථාවලට දෙන්න අපි කටයුතු කළා. මේ අතර සමහර අය අපෙන් ඇහුවා මේ යන්ත්‍ර විකුණන්න තියෙනවද කියලා. අපි බහුජාතික සමාගමකින් අරගෙන තමයි මේක කරගෙන ගියේ. ඒ සමාගමෙන් අපි ඉල්ලීම් කළත් ඔවුන් අපිට මැෂින් ලබා දුන්නේ නැහැ. ඒ නිසා මම මැෂින් ඉන්දියාවෙන් ගේන්න කටයුතු කළා. ඊට පස්සේ මැෂින් විකුණනකොට ඒකට දාන්න පවුඩර් එකක් පාරිභෝගිකයෝ ඉල්ලුවා. ඒත් මගේ ළඟ එහෙම පවුඩර් එකක් තිබුණේ නැහැ."
මේ ව්‍යාපාරය සඳහා අදහස ප්‍රසංග තුළ ජනිත වන්නෙ මේ අවස්ථාවේදී. ඔහු තීරණය කරනවා මෙම යන්ත්‍රවල භාවිත කිරීමට සුදුසු කිරිපිටි දේශීය වශයෙන් නිපදවන්න. ආරම්භයේදී කිසිවක් පහසු නොවූ බව ප්‍රසංග ජයසිංහ අප සමඟ සඳහන් කළා.
"2019 මුල කාලෙදී තමයි මේ පවුඩර් වර්ග හදන්න අපි පටන් ගන්නේ. මුලින්ම හදන්නේ ටී සහ කොෆී විතරයි. මුලින්ම පිළියන්දල පොඩි තැනක් අරගෙන වැඩේ පටන් ගත්තා. පස්සේ ඉල්ලුම වැඩිවෙන බව තේරුණු නිසා පානදුරට වැඩේ අරගෙන ආවා. 2019 වෙනකොට අපි පොඩියට කර්මාන්ත ශාලාව පානදුරේදී ආරම්භ කළා. අද වෙනකොට අපි ළඟ වර්ග අටක් තියෙනවා. සේවකයන් 75ක් විතර අපිත් එක්ක වැඩ කරනවා."
2015 දී කුලී පදනම් මත උත්සව අවස්ථා සඳහා කිරිපිටි පාන සකසන යන්ත්‍ර කුලියට දීම ඇරඹූ ව්‍යාපාරය වසර හතරක් තුළ ශීඝ්‍ර දියුණුවක් අත්පත් කරගත් බව මෙහිදී අපට පැහැදිලි වෙනවා. ව්‍යාපාරය පුළුල් කරන විට කොපමණ ආර්ථික අපහසුතා පැමිණියත්, ඒ සියලු අභියෝග ජය ගන්න ප්‍රසංග සහ ඔහුගේ බිරිඳ සමත් වී ඇත්තේ ඔවුන් සතු නොපසුබස්නා උත්සාහය නිසාමයි.
"අපෙන් මේ යන්ත්‍ර මිලදී ගන්නේ කාර්යාල, ව්‍යාපාරික ආයතන සහ කුලියට ලබා දෙන අය. ඇත්තටම මේ යන්ත්‍ර හරහා අපි ස්වයංරැකියා විසි දහසකට ආසන්න සංඛ්‍යාවක් දැනටත් බිහි කරලා තියෙනවා."
රට පුරා ස්වයංරැකියාවක් ලෙස මෙම යන්ත්‍ර කුලියට ලබාදීම සිදුවෙමින් පවතින බව කාටත් රහසක් නෙවෙයි. ඒ වගේම ලොකු කුඩා ආහාර අලෙවි කරන සෑම ආයතනයකම වගේ මේ යන්ත්‍ර තියෙනවා. RR Foods Lanka හරහා මෙම යන්ත්‍ර ලබාගන්න හැමෝම දේශීය අමුද්‍රව්‍ය සහිත දේශීය කිරිපිටි තමයි තමන්ගේ නිෂ්පාදන වෙනුවෙන් භාවිත කරන්නෙ. ඇත්තෙන්ම එක බොහොම සුවිශේෂී තත්ත්වයක්.
අපිට හමුවුණු සෑම ව්‍යවසායකයෙක් වගේම ප්‍රසංග ජයසිංහත් පසුගිය වසංගත සමයේ විශාල අභියෝගවලට මුහුණ දුන් බව සඳහන් කළා.
"හැමදාමත් කිරි තේ එකක් බීපු අය පවා ඒ කාලෙ කිරි තේ බොන එක නතර කරලා තිබුණා. ඒ වගේම කිරිපිටි සොයා ගැනීම පවා ඉතාම දුෂ්කර වුණු කාලයක් ඒක. මේ කාලෙදි විකල්පයක් විදිහට අපි අපේ යන්ත්‍ර හරහා සකස් කරගන්න පුළුවන් ත්‍රී ඉන් වන් ටී එකක් අපි හඳුන්වා දුන්නා."
අභියෝගවලට අභියෝග කරන ව්‍යවසායකත්වයට, කොවිඩ් සමයේ ප්‍රසංගගේ ක්‍රියාකාරීත්වය අපූරු උදාහරණයක්.
"මැෂින් දෙකකින් පටන් ගත්ත මේ ගමන මේ තරම් සාර්ථක කර කරගන්න හැමදේකදීම හෙවණැල්ල වගේ හිටියේ මගේ බිරිඳ. මේ වගේ ව්‍යාපාරයක් අලුතින් පටන් අරගෙන ඉස්සරහට යද්දී අපි වැටෙන තැන් ගොඩක් තියෙනවා. ඒ හැම තැනකදීම පිටුපසින් කවුරු හරි ඉඳලා ලබාදෙන සහයෝගය ගොඩක් වටිනවා."
තමන් පැමිණ ඇත්තේ හුදෙකලා ගමනක් නොවන බව ප්‍රසංග ජයසිංහ නිහතමානීව සඳහන් කළා.
බහුජාතික සමාගම්වල වෙළෙඳ ඒකාධිකාරියට නතු වූ ව්‍යාපාරයකට පූර්ණ දේශීය මුහුණුවරක් ලබාදීමේ ගෞරවය RR Foods Lanka ආයතනය සතුයි. ඔවුන් සිය නිෂ්පාදන කටයුතු සඳහා මුළුමනින්ම දේශීය අමුද්‍රව්‍ය භාවිත කරන බව සහතික කර සිටිනවා. ශ්‍රී ලංකාවේ පවතින පිළිගත් ප්‍රමිති සහතික රැසක් මේ වන විටත් තමන් සන්තක කරගන්නට ප්‍රසංග සහ කණ්ඩායම සමත් වී අවසන්.
ඒ නිසාම අවස්ථා කිහිපයකදී කර්මාන්ත ක්ෂේත්රයේ විවිධ ඇගයීම්වලට RR Foods Lanka පත්ව ඇති බවත් සිහිපත් කළ යුතුයි. ඉකුත් වසරවලදී කාර්මික සංවර්ධන මණ්ඩලයේ කර්මාන්ත සම්මාන උළෙලේදී රිදී සම්මානයෙන් පවා පිදුම් ලබන්නට මේ ආයතනය සමත් වුණා. සැබවින්ම දේශීයත්වය ගරු කරන ආයතනයක් ලෙස RR Foods Lanka සහාය නිර්මාතෘ ප්‍රසංග ජයසිංහ අපගේ ගෞරවාදරයට පත් වෙනවා.
• චමිඳු නිසල් ද සිල්වා