වර්තමානයෙහි සමාජය, පොලිසිය සහ ජනමාධ්‍ය ආදී ක්‍ෂේත්‍රයන්හි සාකච්ඡා වන ප්‍රධාන සංකල්ප අතර පාතාලය, ඝාතන, පක්ෂ දේශපාලනය, බලය, ආර්ථිකය, ණය ආදී සාධක ප්‍රමුඛ වී ඇති බව පැහැදිලිය. ශ්‍රී ලාංකේය සමාජ ඉතිහාසයෙහි මෙතෙක් සිදු නොවී ඇති අයුරින් පාතාල ඝාතන සහ බල කේන්ද්‍රීය දේශපාලන පක්‍ෂ අතර විවේචන සිදුවන බවත්, එය සමාජ අත්දැකීම් දක්වා වේගයෙන් ගමන් කරමින් පවතින බවත්, ඒ තුළින් අපරාධ සංස්කෘතියකට අදාළ ප්‍රවේශ සම්පාදනය වන බවත් අපට දැකිය හැකිය. මේ පිළිබඳ බුද්ධිමත් විචාර අප සමාජය තුළ ගොඩනැගීම අත්‍යවශ්‍ය වන බවත්, එය විවේචන සහ සරල කියවීම් බවට පත්වන විට අපරාධ සංස්කෘතියක වර්ධනයට එය තවදුරටත් බලපෑම් විය හැකි බවත් දැකිය හැකි වේ. මෙම අවිධිමත් පුළුල් ප්‍රචාරණ ක්‍රියාවලීන් දිගු කාලීන වන විට වර්තමානය පමණක් නොව අනාගත සමාජය ද අක්‍රමවත් සහ අවිධිමත් කිරීමේ ප්‍රවේශ පමණක් නොව, සංවර්ධනය සහ බුද්ධිමය දියුණුව පිළිබඳ ගැටලු ඇති කිරීම දක්වා ද ගමන් කළ හැකිය. අධ්‍යාපනය, ආර්ථිකය, පවුල, දේශපාලනය, ආගම, නීතිය ආදී සමාජ සංස්ථා පද්ධතිකකරණයෙහි බිඳවැටීම් සඳහා එය අනිවාර්ය සාධකයක් බවට පත්වන ආකාරය පැහැදිලි වේ.
වර්තමානයෙහි පොලීසියෙහි කාර්යභාරය වේගයෙන් වර්ධනය වී ඇති බවත්, පොලීසියේ සහ උසාවියෙහි අපරාධ පිළිබඳ කාර්යභාර වර්ධනය වීම යනුම සමාජ අපරාධකාරී චර්යාවන්ගේ වර්ධනය වේගවත් වී ඇති බවට ප්‍රධාන සාක්ෂියක් බවටත් දැකිය හැකිය. පොලිසිය සහ උසාවිය යනු සමාජයෙහි නීතිය සහ සමාජ ආචාරධර්ම නිවැරදිව පවත්වාගෙන යෑමට සමාජ චර්යා සම්බන්ධ සිද්ධි පාලනය කරන ප්‍රධාන ආයතන බවත් පැහැදිලිය.
වර්තමාන ශ්‍රී ලාංකේය පක්ෂ දේශපාලනික මතවාද තුළ ඇත්තේ ද සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික, සංවර්ධන ආදිය සඳහා හේතුවන විචාර නොවන බවත් පැහැදිලිය. ඒවා විවේචන පමණක් බවත්, ඒවා එලෙසින්ම සමාජ සතු වීම ප්‍රබල අපරාධකාරී චර්යාවක් බවත් පැහැදිලි වේ. එය සමාජයෙහි පටු චින්තනකරණයක් සඳහා හේතුවන බවත්, ගැටුම් ප්‍රවේශයනට අදාළ පෙළඹවීම් ඒ තුළ තවද ගොඩනංවන බවත් දැකිය හැකිය. ඒ අනුව සමාජය සකස් කිරීමේදී සමාජයේ සෑම ක්ෂේත්‍රයක් තුළම ප්‍රබල වගකීම් පද්ධතියක් ඇති බවත්, එය සමස්ත සමාජයම නිවැරදිව තේරුම් ගත යුතු බවත්, තේරුම් නොගන්නා තාක් සමාජය නිවැරදි කළ නොහැකි බවත්, නිවැරදි නොවන තාක් කල් ගැටුම් ගොඩනැගෙන බවත් අපට තේරුම් ගැනීමට කාලය පැමිණ තිබේ.
අපගේ චින්තනය සරල මෙන්ම වගකීම් රහිත වන විට ගැටුම් සහ විවේචන ගොඩනැගීම දැකිය හැකි බවත්, මේ වන විට එය ශ්‍රී ලාංකේය සෑම ආයතනයක් තුළින්මත් දැකිය හැකි බවත් පැහැදිලිය. අපට කිසි දිනෙක සිද්ධිය දෙස බලාම සිද්ධි අවසන් කළ නොහැකි බවත්, සෑම සිද්ධියකටම බලපාන හේතු ඇති බවත් අප එම හේතු නිවැරදිව අවබෝධ කරගැනීම අපගේ ප්‍රබල වගකීම බවත් අප තේරුම් ගත යුතුය. මෙවැනි අපරාධකාරී චර්යා සමාජයෙන් ඉවත් කිරීම සඳහා බලපාන හේතු නිවැරදිව කළමනාකරණය කළ යුතු බවත් තේරුම් ගත යුතුය. එනම් හේතුවට ගැලපෙන සේ නිරන්තර සිද්ධිය හෝ සිද්ධි ගොඩනංවන බැවිනි. හේතුවකින් තොරව කිසිදින සිද්ධි නිර්මාණය නොවන බවත්, හේතුවට ගැලපෙන සේ සිද්ධීන් ගොඩනැගීම සිදුවන බවත් මේ අනුව පැහැදිලිය. ඒ අනුව සෑම සිද්ධියක්ම හේතු මූලිකව අප කියවිය යුතුය.
ශ්‍රී ලංකාව පිළිබඳව ශ්‍රී ලංකාවේ අත්දැකීම් මූලිකවම ගැටලු නිරාකරණය කිරීමට හෝ සමාජ සංවර්ධනය කරා ගෙන යාමට නොහැකි වන්නේම වර්තමානය යනු ගෝලීය සමාජ ක්‍රමවේදය හා සබැඳෙන බැවිනි. වර්තමාන අපගේ චර්යාව හුදෙක් අපගේම නොවන බවත්, එය යුරෝපීය සහ බටහිර සමාජ සංස්කෘතික කරුණු හා සබැඳෙන බවත් අපට තේරුම් ගත හැකිය. ඒ අනුව අපට අප සතු වනවාට වඩා අප අන්සතු වී ඇති බවක් පැහැදිලිය. මේ තුළ අප සමාජ කළමනාකරණය සඳහා ගෝලීය භූ දේශපාලනය සහ එම සමාජ පිළිබඳ අදාළ කියවීම් ඇති පිරිස් අත්‍යවශ්‍ය බවත්, ඒ අනුව ආර්ථිකයෙහි සැකැස්ම ද අප සතු වන ප්‍රබල කාර්යභාරයක් බවත් අපට පැහැදිලි විය යුතුය.
වර්තමානයෙහි දැකිය හැකි වන්නේ නව ලිබරල්වාදී ආර්ථික ආකෘතිකකරණයක් බවත්, එය මුදල සහ බලය මූලික කරගන්නා බවත් පැහැදිලිය. එය නිදහස් වෙළෙඳපොළකරණය සහ මුදල කේන්ද්‍රීයව මිනිසා බැඳ තබා ඇති බවත්, ඒ අනුව මූල්‍ය ආකෘතියෙන් මිනිසාට නිදහස් විය නොහැකි බවත්, මූල්‍ය නිවැරදි නොවන විට සමාජය අපගාමී වන බවත් දැකිය හැකිය. මේ අනුව මූල්‍ය වටා අනෙකුත් බල කාරණාවන් වර්තමානයෙහි එකතු වී ඇති බවත්, එම බල කාරණාවන් සාධාරණ ඒවා නොවන බවත්, එම බල කාරණාවන්ගේ හැඩය මූල්‍යයෙහි හැඩය දක්වා ගමන් කොට ඇති බවත් පැහැදිලිය.
මේ දිනවල ලෝක දේශපාලනය පිළිබඳ ප්‍රබල කියවීම් අතර මැතිවරණ වර්ෂයක් බවට පත්වීම ද දැකිය හැකිය. ඒ අතර ඝාතන සැකසුම් ද පැහැදිලිය. ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තබා තුවාල කිරීම ලෝකයෙහි ජනමාධ්‍යය තුළ කියවන ප්‍රබල මාතෘකාවක් බවටද පත්ව තිබේ. මෙය ඇමෙරිකානු මැතිවරණය උණුසුම් කරනවා පමණක් නොව එහි අත්දැකීම් ලෝකයෙහි අනෙකුත් කලාප දක්වාද ගමන් කිරීමකි. මේ පිළිබඳ වර්තමාන ඩිමොක්‍රටික් පාක්ෂික ජනාධිපති ජෝ බයිඩ්න්ට මෙවැනි ක්‍රියා ඇමෙරිකානු ඉතිහාසය තුළ සිදු වී ඇති බවට අවබෝධය ද අඩු බව පැහැදිලිය. එහෙත් එය ඉතිහාසය පිළිබඳ කියවීමේ ගැටලුවක් බවත්, මෙවැනි දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා ඇමෙරිකානු ඉතිහාසය තුළ දැකිය හැකි බවත් අපගේ කියවීම් තුළ පැහැදිලිය. 1865 වසරෙහි 16 වෙනි ඇමෙරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්, 1881 වසරෙහි 20 වැනි ජනාධිපති ඒබ්‍රහම් ගාර්ෆීල්ඩ්, 1901 වසරෙහි ඇමෙරිකානු 25 වැනි ජනාධිපති විලියම් මැකින්ලී, 1961 වසරෙහි බලයට පත්වූ 35 වැනි ජනාධිපති ජෝන් එෆ්. කෙනෙඩි 1963 වසරෙහි ඝාතනය කිරීමත්, 1912 දී තියඩෝ රූස්වෙල්ට් වෙඩි තබා තුවාල කිරීමත්, 40 වැනි ජනාධිපති රොනල්ඩ් රේගන් 1981 වසරෙහි වෙඩි තබා තුවාල කිරීමත්, 45 වැනි ජනාධිපතිවරයා වූ ඩොනල්ඩ් ට්‍රම්ට් ඔහුගේ ඊළඟ ජනාධිපතිවරණ රැලියෙහිදී එනම් 2024 ජූනි 13 වැනි දින වෙඩි තබා තුවාල කිරීමත් දැකිය හැකිය. ඒ අනුව ඇමෙරිකානු දේශපාලනඥයන් ඝාතනවලට මෙන්ම වෙඩි ප්‍රහාරවලට ලක් වූ ඉතිහාසයක් එහි ඇති බවක් දැකිය හැකිය.
ලෝක දේශපාලනයෙහි අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන් ඝාතන අතර 1981 වසරෙහි බංගලාදේශය, 1981 වසරෙහි ඉරානය, 1981 වසරෙහි ඊජිප්තුව, 1984 වසරෙහි ඉන්දියාව (ඉන්දිරා ගාන්ධි), 1986 වසරෙහි ස්වීඩනය, 1989 වසරෙහි ලෙබනනය, 1989 වසරෙහි රොමේනියාව, 1990 වසරෙහි ලිබියාව, 1992 වසරෙහි ඇල්ජීරියාව, 1993 වසරෙහි ශ්‍රී ලංකාව (රණසිංහ ප්‍රේමදාස - තුන්වැනි ජනාධිපති), 1993 වසරෙහි බුරුන්දි රාජ්‍ය, 1994 වසරෙහි රුවන්ඩාව, 1995 වසරෙහි ඊශ්‍රායලය, 1999 වසරෙහි නයිජර්, 1999 වසරෙහි ආමේනියාව, 2001 වසරෙහි කොංගෝව, 2001 වසරෙහි නේපාලය, 2006 වසරෙහි ඉරාකය, 2021 වසරෙහි චැඩ් රාජ්‍ය, 2021 වසරෙහි හයිටි රාජ්‍ය ආදිය පිළිබඳ මෑත ඉතිහාසයක සිට දැකිය හැකි වුවත් ක්‍රිස්තු පූර්ව යුග ගණන් දක්වා මෙම ඝාතන ඉතිහාස ගමන් කරන බව පැහැදිලිය.
ශ්‍රී ලංකාවෙහි මේ හා සම්බන්ධ දේශපාලන ඝාතන අත්දැකීම් අතර එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ලක්ෂමන් කදිරගාමර්, ගාමිණී දිසානායක, ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී අතුකෝරාල, ආර්. ප්‍රේමදාස ආදින් දැකිය හැකිය.
ඇමෙරිකාවෙහි තුවක්කු සංස්කෘතියක් දැකිය හැකි බවත්, එහි ජනගහනය මිලියන 336 ක් පමණ වුවත්, තුවක්කු භාවිතයෙහි ප්‍රමාණය මිලියන 370 ද ඉක්මවා ඇති බවත් පැහැදිලිය. තමාගේ ආරක්ෂාවට ගිනිඅවි තබා ගැනීම ඇමෙරිකාව තුළ දැකිය හැකි වේ. රාජ්‍ය සංවිධානය තුළ මෙපමණ ගිනි සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්දැයි යන්නද ගැටලුවකි.
එක් එක් රටවල සමාජ සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කිරීමේදී රාජ්‍ය ක්‍රමවේදය හා සබැඳි පුද්ගල චරිත ප්‍රබල කාර්යභාරයක් සිදු කොට ඇති ආකාරය ද දැකිය හැකි වේ. ඔවුන් අතර මහත්මා ගාන්ධි, මාවෝ සේතුන්, හී ජින් පිං, පුටින් ආදී වශයෙන් ප්‍රමුඛ වන බවත් පැහැදිලිය. එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි අන්තර්ජාතික සංවිධාන විසින් රටවල සහ ගෝලීය රාජ්‍යය ක්‍රමවේදයන්ගේ වෙනස්කම්ද නිර්මාණය කොට ඇති ආකාරය පැහැදිලි වන විට වර්තමානයෙහි අන්තර්ජාතික සංවිධානයන්ගේ බලපෑමෙන් අපට මිදිය නොහැකි බවත් පැහැදිලි කර ගැනීම අත්‍යවශ්‍ය වේ. රටක සමාජ ක්‍රමවේදයෙහි වෙනස්කම් සඳහා දේශපාලන සංවිධාන ද ප්‍රබල මෙහෙයක් සිදු කරනු ලබන ආකාරය තවද පැහැදිලිය. ශ්‍රී ලාංකේය සමාජය දෙස අවධානය යොමු කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ සිට ලාංකේය සමාජයේ වෙනස්කම් සඳහා ප්‍රබල බලපෑම් සිදුකොට ඇති ආකාරය පැහැදිලිය. එමෙන්ම ඉන්දියාවෙහි භාරතීය ජනතා පක්ෂයෙහි ක්‍රියාකාරීත්වය ද සරල නොවන බවත් ඉන්දීය සමාජ දිශානතිය තුළ වෙනස්කම් සඳහා ප්‍රබල බලපෑම් එය සිදුකොට ඇති බවත් දැකිය හැකිය.
මේ අනුව රාජ්‍ය පාලනතන්ත්‍ර නිවැරදිව ක්‍රියාත්මක කිරීම සඳහා සෙනෙට් හෙවත් පාලක සභාවක් පිහිටුවමින් බුද්ධිමත් ප්‍රවේශ සහ තීරණ ක්‍රියාත්මක කිරීම වැදගත් වන බවටත් අදාළ යෝජනා කළ හැකි වේ. ඒ තුළ ගැටලු සහ ප්‍රශ්න අවම කරමින් සමාජ සංවර්ධන දිශානතියට අවතීර්ණ වීමේ හැකියාව පවතිනු ඇත. ශ්‍රී ලංකාව වැනි රටවලට බුද්ධි මණ්ඩල අත්‍යවශ්‍ය බවත් එම බුද්ධි මණ්ඩලවල ක්‍රියාකාරීත්වය සහ දැනුම් කලාප ග්‍රාමීය පොදු සමාජ දක්වා විසරණය වීම අත්‍යවශ්‍ය බවත්, ඒ තුළ සමාජ දියුණුවට අවශ්‍ය ප්‍රවේශ සම්පාදනය කරගත හැකි බවත් පැහැදිලි වේ.